Dec 03, 2016

රාජපක්ෂවරු බේරන්න ඇමැතියෙක් බරටම වැඩ Featured

වංචා දූෂණ හා අපරාධ චෝදනා ලබා ඇති රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ එම පවුලේ හිතවතුන් එම චෝදනාවලින් නිදහස් කර දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරයෙක් පොලීසිය සහ අපරාධ විමර්ශන ආයතනවලට අයුතු බලපෑම් සිදු කරන බව එම ආයතන ඉහළ නිලධාරීන් පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා සවස් වරුව තුළ දී ජනාධිපතිවරයා හමුවේ අනාවරණය කර ඇත.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රත්නපුරයේ පැවැති ප්‍රසිද්ධ ජන හමුවක් අතරතුරේ දී දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් නිලමේවරයෙක් අත්අඩංගුවට නොගන්නා බවට කළ ප්‍රකාශයක් පිළිබඳ මාධ්‍යයට වාර්තා කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ඉහළ පෙළේ විමර්ශන නිලධාරීන් රැසක් වෙන වෙනම ගෙන්වාගෙන මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.

එදින උදෑසන පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ජනාධිපතිවරයාගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ද පොලිස්පතිවරයා සිදු කළ ක්‍රියාව වැරැදිසහගත බව ප්‍රකාශ කර තිබිණි.

මේ අනුව පොලිස්පතිවරයා ඉවත් කළ යුතු බවට සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් සහ සමාජ ජාලාවලින් ප්‍රබල පීඩනයක් ජනාධිපතිවරයාට එල්ල විය.

ඉවත් කිරීමේ හැකියාව ?

නමුත් පොලිස්පතිවරයා ඉවත් කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නොමැත.

පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව විසින් නිර්දේශ කර ජනාධිපතිවරයා විසින් පත්වීම් දෙන යම් තනතුරක පුද්ගලයකු ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළින්ම ඉදිරිපත් වන දෝෂාභියෝග යෝජනාවක් අනුව පමණි.

කෙසේ නමුත් මෙම නිලධාරීන් මේ වන විට සිදු වෙමින් පවතින විමර්ශන ගණනාවක දී අදාළ ඇමැතිවරයා තමන්ට කළ බලපෑම් ගැන සවිස්තරව තොරතුරු හෙළි කර ඇත්තේ මෙය තමන්ගේ වරදක් නොවන බවත් දේශපාලන අධිකාරියට යටත්ව තමන්ට රාජකාරී කිරීමට සිදුව තිබෙන බවත් පවසමිනි.


ශ්‍රීලනිපය දෙකඩ කිරීම :

විශේෂයෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඔහුට ඇති චෝදනාවලින් නිදහස් කිරීම සඳහා අදාළ ඇමැතිවරයා දැඩි උත්සාහයක් ගන්නා බව ද මෙහි දී කරුණු අනාවරණය වී තිබේ.

අදාළ ඇමැතිවරයා විපක්ෂයේ සිටිය දී ද ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ ව්‍යාපාරික කටයුතු සඳහා ද විශේෂ සහායක් ලබා දී තිබෙන බවත් ඇමැතිවරයාගේ වැඩිමහල් සොහොයුරා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දීර්ඝකාලීන සමීපතම මිතුරකු බවත් හෙළි වී ඇත.

එම සොහොයුරා ද මේ වන විට වත්මන් ආණ්ඩුවේ මාධ්‍යයට සම්බන්ධ ආයතනයක ඉහළ පුටුවක වැජඹේ.

කෙසේ නමුත් රාජපක්ෂවරුන්ව ආරක්ෂා කිරීමට මෙම ඇමැතිවරයා කටයුතු කරන්නේ ශ්‍රීලනිපය දෙකඩ කිරීම සඳහා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන වුවමනාව ඉටු කිරීමට විය හැකි බවට බරපතළ සැකයක් පවතින බව ශ්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨයන් විසින් මීට පෙර ද ජනාධිපතිවරයාව දැනුවත් කර තිබිණි.


(සත්හඬ -සුභාෂ් ජයවර්ධන)

සබැඳි පුවත් :

'දුරකථන ඇමතුම දුන්නේ සාගල' - පොලිස්පති

සාගල ඉල්ලා අස්විය යුතුයි - ජනපති උපදේශක

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top