nsb

Dec 04, 2016

ශ්‍රීලනිප ව්‍යවස්ථාව සංශෝධනයට - නායක බලතල කැපේ Featured

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වඩාත් ප්‍රජාතන්ත්‍රීයකරණයට ලක් කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රීයකරණයට ලක් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයන් වෙත දැනුම් දී ඇත.

ඒ අනුව පක්ෂයේ නායකයාට හිමිව තිබෙන ආඥාදායකයකුගේ තරමින් වන බලතල රැසක් කපා හැර පක්ෂයේ තීන්දු තීරණ ගැනීමේ බලය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සෙසු නායකයන් වෙත බෙදාහැරීම සඳහා නව ව්‍යවස්ථාවක් පිළියෙල කිරීම නුදුරේම සිදු වීමට නියමිතය.

පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නොකර රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීමට නොහැකි බව ජනාධිපතිවරයාගේ මතය වී තිබෙන බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයකු පැවැසීය.


සෙසු පක්ෂවලටත් ආදර්ශයක්:


හිටපු නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කර නායකත්වයට වැඩි බලතල පවරන ලදී.

මහින්ද රාජපක්ෂ යුගයේ දී එම බලතල තවදුරටත් වැඩි කිරීම සිදු කර ගනු ලැබීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී ඇත්තේ පක්ෂයේ තීන්දු තීරණ ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සිදු කර සෙසු පක්ෂවලට ද ආදර්ශයක් සැපයෙන ලෙස කටයුතු කළ යුතු බවය.

ඒ අනුව අනෙකුත් පක්ෂ ව්‍යවස්ථා ද ප්‍රජතන්ත්‍රීය ව්‍යුහයක් මත ගොඩනැගීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කර එම පක්ෂ තුළ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් තිබෙනවාද යන්න ගැන සොයා බැලීමට හැකි ක්‍රමයක් සැකසීම විය යුතු බවට ද මෙහි දී යෝජනා වී තිබේ.

කෙසේ නමුත් ශ්‍රීලනිපය තුළ තීන්දු තීරණ ගැනීම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පැවරීම ජනාධිපතිවරයා විසින් සිදු කොට ඇති බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ සාමාජිකයා පෙන්වා දුන් අතර අද ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය නියෝජනය කිරීමටත් තමන් සම්බන්ධයෙන් කැමැති විවේචනයක් සිදු කිරීමට පවා නිදහස ලබා දීමට තරම් ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉහළම ආදර්ශයක් ලබා දී ඇති බවත් පෙන්වා දෙයි.


(සත්හඬ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top