15976 BM WEB BANNER 01
Dec 04, 2016

බන්ධනාගාර බුද්ධි අංශ මෛත්‍රීගේ කාර්යාල කඩලා

ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාල විනාශ කිරීම සඳහා මාතර බන්ධනාගාරයේ බුද්ධි අංශ නිලධාරීන් පහළොස් දෙනකු යොදවා තිබූ බව අනාවරණය වී තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ව මැතිවරණ ප්‍රචාරක කාර්යාල විනාශ කිරීමේ නිරත වූ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම රාත්‍රී කාලයේ  මහින්ද රාජපක්ෂ මහතාගේ පෝස්ටර් ඇලවීම ඇතුළු ප්‍රචාරක කටයුතුවල නිරත වී ඇත.

මේ කටයුත්ත සඳහා බුද්ධි අංශ නිලධාරීන් යොදවනු ලැබ ඇත්තේ බන්ධනාගාර අධිකාරීවරයා විසිනි.

මාතර බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් ලෙස කටයුතු කළ පුද්ගලයා එම බන්ධනාගාරයේම බන්ධනාගාර අධිකාරී තනතුරට උසස් කරනු ලැබුවේ හිටපු බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා විසිනි.

එම උසස් වීම ලබා දී ඇත්තේ ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් වීම් ලබා දීමේ පටිපාටිය වෙනස් කරමිනි.

බරපතල චෝදනා රැසක් :

අදාළ බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව දූෂණ සහ අක්‍රමිකතා චෝදනා රැසක් එල්ල වී ඇති තිබේ.

2014/12/14 දින අකුරැස්ස නගරයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරක රැස්වීමක් සඳහා වේදිකාව ඉදිකිරීම ඇතුළු සැරසිලි කිරීම සඳහා සිරකරුවන් 25 දෙනකු හා නිලධාරීන් හතර දෙනකු යෙදවීම, ජනාධිපතිවරණ සමයේ මාතර බන්ධනාගාරයේ රියැදුරු, කම්කරු, මුරකරු යන ශ්‍රේණිවල සේවකයන් ගජධීර අමාත්‍යවරයා සමඟ ඡන්ද ප්‍රචාරක කටයුතුවලට යොමු කිරීම, අංක ඛත්‍ 9810 දරන බොලෙරෝ ජීප් රථය සහ ලලිත් කුරේ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් පහළොස් දෙනකු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාල විනාශ කිරීමට සහ මහින්ද රාජපක්ෂ මහතාගේ පෝස්ටර් ඇලවීම ඇතුළු ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීම, අදාළ ජීප් රථ සඳහා මාතර බන්ධනාගාරයෙන් රුපියල් 4950ක ඉන්ධන ලබා දීම යන චෝදනා මොහුට එල්ල වී ඇත.

මීට අමතරව මාතර බන්ධනාගාර නිලධාරීන්ගේ මරණධාර සංගමයේ මුදලින් රුපියල් 50,000ක් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ක්‍රීඩා සංගමයේ මුදලින් රු.17,500ක මුදලක් බන්ධනාගාර අමාත්‍යවරයාගේ සැණකෙළියක් සඳහා ලබා දීම, බන්ධනාගාර සුළු සේවකයන් දෙදෙනකු අමාත්‍යවරයාගේ නිවසේ කටයුතු සඳහා යෙදවීම, බන්ධනාගාර නියාමක ඩී.එල්.ඩී. ක්‍රිෂාන්ත හිටපු අමාත්‍ය මහින්ද යාපාගේ කාර්ය මණ්ඩලයට මුදාහැරීම, ඉකුත් මහ මැතිවරණ සමයේ දී සාගල රත්නායක මහතාගේ ප්‍රචාරක කාර්යාලයකට පහරදී රිමාන්ඩ් ගත කළ බුද්ධි අංශ නිලධාරී 1334 ලලිත් කුරේ, 1332 එල්. තුෂාර, 1333 එල්.එස්.සී. පෙරේරා යන පිරිස නීති විරෝධී ආකාරයෙන් බන්ධනාගාර රෝහලේ රැඳවීම යන චෝදනා ද බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව එල්ල වී ඇත.


ස්ත්‍රී දුෂකයාගෙන් 'පාටියක්' :
 

ස්ත්‍රී දූෂණ මත බන්ධනාගාරගතව සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභා හිටපු සභාපති එස්.එල්.එස්. සුනිල්ගේ සහෝදරයකුට අයත් අකුරැස්ස ‘වාසනා’ හෝටලයේ 2015/ 12/22 දින ජේලර්වරු සඳහා සාදයක් පැවැත්වීම ද ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවකි.

ඒ වන විටත් සැකකාර සභාපතිවරයා සිටියේ මාතර බන්ධනාගාරයේ රැඳවුම් භාරයේය.

මාතර බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කරන ලද විමසීමකට පිළිතුරු දුන් බන්ධනාගාර අධිකාරිවරයා පැවසුවේ තමන්ට එරෙහිව ඇති චෝදනා කිසිවක් සාධාරණ නැති බවයි.

ලංකාවේ බන්ධනාගාරවලින් හොඳම ආහාර ලබා දෙන්නේ මාතර බන්ධනාගාරයෙන් බවත්, හොඳම විනයක් සහ පරිපාලනයක් තමන් ඇති කළ බවත් මාතර බන්ධනාගාරයෙන් මත්ද්‍රව්‍ය තුරන් කළ බවත් කී අධිකාරිවරයා මේවාට එරෙහි කොටස් තමාට එරෙහිව අසත්‍ය චෝදනා පතුරවන බව ද කීවේය.


(දයා නෙත්තසිංහ)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top