Dec 04, 2016

ගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවේත් එකම පිළිවෙතක (වීඩියෝ)

වදහිංසා වැළැක්වීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වැනි සැසිවාරය ජූනි මස 15 හා 16 වන දින වලදී පවත්වන ලදි. එම සැසිවාරයට ලංකාවෙන් ඉහළ මට්ටමේ දූත පිරිසක් සහභාගි වූහ.

එසේ සහභාගි වූයේ නීතිපති ජයත්ත ජයසූරිය, අතිරේක සොලිසිටර් ජෙනරල් සරත් ජයමාන්න සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ, ආචාර්ය රොහාන් පෙරේරා, රවිනාථ ආරියසිංහ තානාපතිවරයා හා ජාතික බුද්ධි අංශයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් හා තවත් අයයි.

වදහිංසා වැළැක්වීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ නිල කාර්යය වන්නේ අදාල රාජ්‍යයන් වදහිංසාව වැළැක්වීම සම්බන්ධයෙන් සම්මුතිය කොපමණ දුරකට එම රාජ්‍යය තුළ ක්‍රියාත්මක කරනවාද යන්න සළකා බලා වඩාත් හොඳින් එය ක්‍රියාත්මක කරවාගැනීම සඳහා උපදෙස් දීමය.

අව්‍යාජ හෙළිදරව්වකට සුදානම් නැහැ :

මෙම සැසිවාරයන් හීදී බලාපොරොත්තු වන්නේ අදාල රාජ්‍යය වදහිංසාව සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය එක්සත් ජාතීන්ගේ මෙම නිල කොමිටුව ඉදිරියේ දී අව්‍යාජව ප්‍රකාශයට පත්කිරීම හා අදාල කොමිටුව ඒ පිළිබඳව අවධානය යොමුකොට රජයට වදහිංසාව වැළැක්වීමේ කාර්යය සඳහා සහාය විය හැකි උපදෙස් ලබාදීමය.

අවාසනාවකට මෙන් පසුගිය සැසිවාරයන් දෙස මෙන්ම මෙම සැසිවාරය දෙස බලන විටද ඉතා පැහැදිලිව පෙනී යන්නේ ලංකාව එවැනි අව්‍යාජ හෙළිදරව් කිරීමක් මෙම එක්සත් ජාතීන්ගේ කමිටුව ඉදිරියේ දී කිරීමට සූදානම් නැති බවය.

සැසිවාරයට සූදානම් වීම සඳහා රජය විසින් ලියා තිබූ වාර්තාවේත් එම වාර්තාව සම්බන්ධයෙන් මතුකරන ලද ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදීත් පැහැදිලි ලෙස පෙනී ගියේ ලංකා රාජ්‍යය වදහිංසා ප්‍රශ්ණය සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය හෙළිකිරීම මගහරින බවයි.

නැගූ ප්‍රශ්න :

සැසිවාරය ඉදිරියේදී ලංකාවේ නියෝජිතයන් විසින් කරන ලද ප්‍රකාශන වලින් පසු ඉතා පැහැදිලි ප්‍රශ්න ගණනාවක් කොමිටියේ නියෝජිතයන් විසින් මතුකරන ලදි. ඒ ප්‍රශ්ණ අතර පහත සඳහන් ප්‍රශ්න කැපී පෙනේ.

රජයේ වාර්තා කුමක් කීවත් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ නිල වාර්තා කරුවන් විසින් නිකුත් කොට ඇති ප්‍රකාශවලට අනුවත් ලංකාවේම මානව හිමිකම් කොමිසම විසින් කර ඇති වාර්තාව අනුවත් වෙනත් සංවිධානවලින් නිකුත්කර ඇති වාර්තාවලට අනුවත් රට පුරා දෛනිකව මෙන් පොලිස් වදහිංසාව සිදුවෙන බව ඉතා පැහැදිලිව පෙනීයයි. මේ ගැන ඔබගේ අදහස්?

වදහිංසා වැළැක්වීමේ පනත එනම් 1994 අංක 22 දරන පනත යටතේ පසුගිය අවුරුදු 3 තුළ නිලධාරීන් කීදෙනෙකුට විරුද්ධව නඩු පවරා තිබේද?

වදහිංසා කිරීම් සම්බන්ධයෙන් කොපමණ ප්‍රමාණයක් පැමිණිලි ලැබී තිබේද, කොපමණ ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ පවත්වා ඇත්ද?



කමිටුවේ දෙවැනි දිනයේදී උප සභාපතිනි ෆෙලිස් ගෙයර් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ප්‍රධානියාගෙන් ප්‍රශ්න කළ අයුරු

මඟ හැර යාම

මෙම ප්‍රධාන ප්‍රශ්න කමිටුව ඉදිරියේ දී ලංකාවේ නියෝජිතයන් විසින් මගහරින ලදි.

නියෝජිතයන් බොහෝදුරට කියා සිටීමට උත්සාහ කළේ ලංකාවේ වදහිංසාවට එරෙහිව හොඳ නීතියක් පවතින බවත් ලංකාවේ ස්වාධීන අධිකරණයක් පවතින බවත් ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉතිහාසය හා එහි බලතල සම්බන්ධවත් වැනි පොදු කරුණු පිළිබඳව මිස නිශ්චිතවම ඔවුන් වෙත යොමුකරන ලද ප්‍රශ්න ගැන නොවේ.

සැසිවාරය අවසානයේ දී එහි සභාපතිවරයාගේ ප්‍රකාශයෙන්ද කියැවුනේ වූයේ ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් සිසිර මෙන්ඩිස් මහතාගේ අදහස් දැනගැනීමට ලැබුණා නම් එය කමිටුවට ඉතාමත් ප්‍රයෝජනවත් වීමට ඉඩ තිබුණු බවයි.

සිසිර මෙන්ඩිස් මහතා සැසිවාරයට සහභාගි වූ නමුත් කොයිම අවස්ථාවකවත් ඔහුට කථාකිරීමේ අවස්ථාවක් ලංකාවේ නියෝජිත කණ්ඩායම විසින් සළසා දී නොතිබින.

ඇත්තෙන්ම වදහිංසාව වැනි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් එම ලංකාවේ නියෝජිත මණ්ඩලයේ සිටි සියලූ දෙනාටම වැඩියෙන් වැඩි දැනුවත් කමක් ඇතිව කථාකළ හැකි නියෝජිතයා වූයේ සිසිර මෙන්ඩිස් මහතායි.

එපමණක් නොව ඔහුට විරුද්ධව නගා තිබූ සමහර ප්‍රසිද්ධ ප්‍රශ්න කිරීම්වලට උත්තර දීමට අවශ්‍යකමක් තිබුනා නම් ඒ සඳහා ද මෙම අවස්ථාව ප්‍රයෝජනවත් එකක් වන්නට ඉඩ තිබුණි. කමිටුව විසින් ඒ මහතාගේ නිහඬ භාවය පිළිබඳව අවධානයක් යොමුකරවන ලදී.

නිර්දේශ ප්‍රකාශයට:

සැසිය අවසානයේ දී සැසිවාරයේ වැඩ කටයුතු සාරාංශගත කරමින් කමිටුව විසින් වාර්තාවක් නිකුත් කොට ඇත.

එම සාරාංශයේ කමිටුව විසින් මතුකරන ලද ප්‍රශ්න ද ඉතා පැහැදිලිව සටහන් කොට ඇත. ඉදිරි දින කීපය තුළ දී කමිටුව විසින් ලංකාවේ වදහිංසාව වැළැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ නිර්දේශ ප්‍රකාශයට පත්කරනු ඇත.

සැකයෙන් තොරව බලාපොරොත්තු විය හැක්කේ ලංකාව පුරා පොලිස් වදහිංසාව පැතිර පවතින බවත් එය වැළැක්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම සිදුවන බවක් පෙනෙන්නට නැති බවත් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවය.

කොමිටියේ නිර්දේශ ජාත්‍යන්තර අවධානයට යොමුවනු ඇත. එසේ අවසානයට පත්වන සාකච්ඡාවකට සහභාගි වීමේ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනයක් ගත හැකි ආකාරයට විවෘත මට්ටමේ සාකච්ඡාවක් ඇති කර ගැනීමට ලංකාවේ නියෝජිතයන් සමත් නොවූ බව ඉතා පැහැදිලිය.

සමහර විට එය ඔවුන් වෙත ලැබී තිබූ ඉහළ පෙලේ උපදෙස් අනුව ක්‍රියා කිරීම නිසා සිදුවන්නට ඇත.

කෙසේ වූවත් ජාත්‍යන්තර වශයෙන් මුලු ලෝකයටත් ලාංකික ජනතාවටත් ඉතා පැහැදිලිව පෙනී යන්නේ පසුගිය ආණ්ඩු මෙන්ම දැන් පවතින ආණ්ඩුවද ලංකාවේ පොලිස් වදහිංසාව වළක්වාගැනීම සඳහා පියවරක් ගැනීමට සූදානමක් පෙන්නුම් නො කළ බවය.


(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top