nsb

Dec 05, 2016

තවුහිද් ජමාද් - බොදු බල සේනා එකම පඩි ලැයිස්තුවක Featured

මුස්ලිම්-ඉස්ලාම්  අන්තවාදී සංවිධානයක් වන තවුහිද් ජමාද් සංවිධානයත් සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානයත් ඇතුළුව අන්තවාදී සංවිධාන ගණනාවම රාජපක්ෂ සමයේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත ගිණුමකින් පෝෂණය කරනු ලැබූ සංවිධාන බවට මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව බුද්ධි අංශ විසින් තහවුරු කර ඇති බව  ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවට පැහැදිලි සාක්ෂි හමු වී ඇත.

 2008 වසරේ දී මරදානේ මුස්ලිම් පල්ලියක විදේශ මුල්ලාවරුන් පිරිසක් සිටින බවට තොරතුරු හෙළි කරනු ලැබ ඇත්තේ ද මෙම පුද්ගලයා විසිනි.


මේජර් ජනරාල් ?


සිංහල අන්තවාදීන් සහ මෙම මුස්ලිම් අන්තවාදීන් යන කොටස් දෙකම මෙහෙයවීම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයකු වන මේ වන විට විශ්‍රාමිකව සිටින මේජර් ජෙනරාල්වරයකු විසින් සිදු කරනු ලැබ ඇති බවත් අනාවරණය වේ.

මෙම මේජර් ජෙනරාල්වරයා පසුගිය ජනාධිපතිවරණය සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ විශේෂ ආරක්ෂක මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ද විය.

ජනවාරි 08 බලය පැහැර ගැනීම සඳහා කුමන්ත්‍රණකාරී සැලසුමක් ක්‍රියාවට නැගීමට ද මෙම මෙහෙයුම් කමිටුව සූදානමින් පසුවූ බව ද පසුව හෙළි විය.

එම කුමන්ත්‍රණය ව්‍යර්ථ වූ නමුත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු ද යටපත් විය.


අනුගාමිකයන් බරපතළ රැවටීමක :


පසුගිය දා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි විසින් තමන්ට එරෙහිව ප්‍රකාශයක් සිදු කළාය යනුවෙන් කළ පැමිණිල්ල අනුව මෙම තවුහිද් ජමාද් සංවිධාන ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම සිදු වූ නමුත් මෙම සංවිධාන දෙකම එකම ගෙවීම් ලැයිස්තුවක සිටි කණ්ඩායම් වේ.

ඒ අනුව මෙම කණ්ඩායම් දෙකම තම අනුගාමිකයන් පවා බරපතළ රැවටීමකට ලක් කරමින් මෙරට පුරවැසියන් ජාති සහ ආගමික ගැටුම් සඳහා පොලඹවනු ලැබූ මානව විරෝධී කණ්ඩායම් දෙකක් බවත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කර රටේ සාමය සහ සංහිඳියාව තහවුරු කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී.


(සත්හඬ )

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top