Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 13, 2018

'එජාපයට යන අයට ඇමතිකම් ගන්න දෙන්නේ නැහැ' Featured

රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අගමැති ධුරයේ තබා ගනිමින් ඇමතිකම් ගැනීමට අපේක්ෂා කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඇමතිධුර වල දිව්රුම් දීමට ඉඩ නොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

එවැනි ශ්‍රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බව ජනාධිපතිවරයා පවසා ඇතැයි 'බීබීසී සිංහල සේවය' ද වාර්තා කර තිබේ.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙනි.

කෙසේවුවද එවැනි තත්වයක් මතුවුවහොත් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස සලකා කටයුතු කිරීමට සිදුවනු ඇතැයි එජාප අමාත්‍යවරයකු කියා සිටියේය.

තනි ආණ්ඩුවකට සියල්ල සුදානම් !

තනි ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාම සඳහා එක්සත් ජාතික පක්ෂය මේවනවිට තීරණයකට එළඹෙමින් සිටින බව වාර්තාවේ.

ජනාධිපතිවරයා සමග සඳුදා (පෙබරවාරි 12) රාත්‍රී පැවති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ පැවති තවත් හමුවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙක් පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් නොගැනුණු අතර, එවන් තීරණයක් ගැනීමට පළාත් පාලන මැතිවරණයේදී 12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් නොමැති බවත්, එවැන්නක් තීරණය කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂය බවත් අදාළ සාකච්ඡාවේ නිගමනය වී ඇතැයි ද 'බීබීසී සිංහල සේවය' වාර්තා කරයි.

ජනාධිපතිගේ ස්ථාවරය ?

කෙසේවෙතත්, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයෙක් එම තැන ගත යුතු බව ජනාධිපතිවරයා ඉතා ඕනෑකමින් එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් 'බීබීසී සිංහල සේවය'ට තහවුරු කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් තමන් සමග ආණ්ඩුවේ රැදී සිටින්නේ ද, නැතිනම් ඉන් ඉවත්වන්නේ ද යන්න එම පක්ෂය තීරණය කළ යුතු බව ද ඊයේ (පෙබ 12) රාත්‍රී පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයේ අදහස වී තිබේ.

කෙසේවෙතත්, තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් අද (13) රාත්‍රී ජනාධිපතිවරයා හමුවීමට නියමිතය.

ඊට පෙර, ඔවුන් අරලියගහ මන්දිරයේදී හමුවී සාකච්ඡාවක යෙදෙනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top