Dec 05, 2016

විදුහල්පතිවරු අමාරුවෙ වැටුන හේතුව පැහැදිලි කරයි Featured

පාසල් දරුවන් සදහා නිල ඇඳුම් තිළිණ පත් ලබාදීමේදී අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති චක්‍රලේඛන දෙකක් නිසා විදුහල්පතිවරුන් අසීරුතාවට පත්ව ඇති බව වාර්තාවේ.

වර්ෂ 2017 සදහා නිල ඇඳුම් තිළිණ පත් ලබාදීම සම්බන්ධයෙන් 2016 සැප්තැම්බර් මස 26 වැනිදා සහ නොවැම්බර් 03 වැනිදා චක්‍රලේඛන දෙකක් නිකුත් කර ඇති බව ලංකා විදුහල්පති සංගමයේ සභාපති පියසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඒ අනුව දුෂ්කර, අති දුෂ්කර හා හුදකලා පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගේ පහසුව සඳහා ලංකා සළුසල ආයතනයෙන් නිල ඇඳුම් සඳහා රෙදි ලබා ගෙන පාසල් දරුවන්ට බෙදාදීම කළ හැකි බව සැප්තැම්බර් 26 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍ර ලේඛනයේ සඳහන් කර තිබේ.

නමුත් සැප්තැම්බර් මස 03 වැනිදා නිකුත් කර ඇති චක්‍ර ලේඛනයේ නිල ඇඳුම් තිළිණ පත් බෙදාදීම පිළිබඳව පමණක් සඳහන් වන අතර එහි නිල ඇඳුම් තිළිණපත් පමණක් දරුවන් ලබාදිය යුතු බව හෝ ඒ වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාගෙන බෙදාහැරිය යුතු බවට සඳහන් කර නොමැති බව පියසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම එකම වර්ෂය තුළ නිල ඇඳුම් තිළිණ පත් ලබාදීම සම්බන්ධයෙන් චක්‍ර ලේඛන දෙකක් නිකුත් කළ ද පෙර නිකුත් කරන ලද චක්‍ර ලේඛනය අවලංගු කිරීමක් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සිදු නොමැති බව ද වාර්තා වේ.

වරද කොතැනද?

කෙසේ වෙතත් නිල ඇඳුම් තිළිණ පත් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට එක් විදුහල්පතිවරයෙකුගේ සේවය අත්හිටුවා ඇති අතර තවත් විදුහල්පතිවරුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් පවතී.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සිදු කර ඇත්තේ තමාගේ අතින් සිදු වූ වරද අනෙකා පිට පැටවීමක් බව සඳහන් කළ පියසිරි ප්‍රනාන්දු මහතා එය නිවැරදි කිරීම සඳහා වගකිව යුතු නිලධාරීන් වහා පියවර ගත යුතු බව වැඩිදුරටත් සදහන් කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top