Jan 07, 2017

මෛත්‍රී - රනිල් පණ දුන්නෙ අසාධ්‍ය රෝගියකුට !

-මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව 2017 ජනවාරි 08 වෙනදාට වසර දෙකක ගතවේ. එම විප්ලවයට සක්‍රිය දායකත්ව ලබාදුන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි සන්නිවේදන අංශ ප්‍රධානී, ක්‍රිශාන්ත කුරේ මහතා සමග කල සංවාදයකි)

■ ජනවාරි අට වෙනිදා විප්ලවය වෙනුවෙන් සෑහෙන්න කාර්යභාරයක් කරපු කෙනෙක් විදියට එදා මෙදා තුර කාලයේ ඇති වෙලා තියෙන වෙනස ගැන ඔබ සතුටුයිද?

අඩු ගානේ ඔය වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්නවත් නිදහසක් එදා තිබුණද? ජනවාරි 8 වනදට කලින් ඔය වගේ ප්‍රශ්න අහන්න, උත්තර දෙන්න නිදහසක් මේ රටේ තිබුණෙ නෑ. නමුත් මේ වෙද්දි තත්ත්වය වෙනස් වෙලා තියෙනවා.

එදාට සාපේක්ෂව බලද්දි ලොකු වෙනසක් සිදු වෙලා තියෙනවා. අද වෙද්දි මේ සමාජය තුළ, මිනිස්සු තුළ නිදහස කියන දේ තහවුරු වෙලා තියෙනවා. 2015 ජනවාරි 08 වෙනිදායින් පස්සෙ සැබැවින්ම මේ රට අලුත් මාවතකට පිවිස තියෙනවා. නිදහස පිළිබඳ මානයෙන් විතරක් නෙමෙයි.

තවත් බොහෝ දේවල් මහ පොළොවෙ ඇත්තක් බවට පත්වෙලා තියෙනවා. යහපාලන රජය විශේෂයෙන් පොදු අපේක්ෂකයා සමාජගත කළ බොහෝ කාරණා ඇත්තක් බවට පත් වෙලා තියෙනවා. ස්වාධීන කොමිෂන් සභා අද මේ රටේ පිහිටුවල තියෙනවා. ඒ එක්කම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන උනන්දුව ජනාධිපතිතුමා හා අගමැතිතුමා ප්‍රමුඛ රජය පෙන්වමින් ඉන්නවා.ms rw

මේව වැදගත් ලක්ෂණ. මේ විදියට දේශපාලනික වශයෙන් ගොඩක් වෙනස්කම් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමත් එක්ක රටේ වැදගත් පරිපාලන ආයතන, පරිපාලන ව්‍යුහ සියල්ලම පාහේ නිර්දේශපාලනීකරණය වී තිබෙනවා. ඒව වැදගත්. එහෙම බලද්දී ලොකු වෙනසක් එදාට සාපේක්ෂව වෙලා තියෙනවා. මේ වෙනස ගැන කනගාටු වෙන්න තරම් කාරණයක් මට නැහැ.

■ මේ වෙනසත් එක්ක ආර්ථික අර්බුදයක ගිලෙමින් තිබූ රට ඉන් මුදවාගෙන ආර්ථිකය මනා ලෙස කළමනාකරණය කරයි කියලා මිනිස්සු කල්පනා කළා. නමුත් එහෙම වෙනසක් වෙලා නැහැ නේද?

මේ කාරණය අපි ප්‍රවේශමෙන් විග්‍රහ කර බැලිය යුතුයි. ඇත්තටම 2015 ජනවාරි 8 වනදා මෛත්‍රීපාල සිරිසේන දොස්තර මහත්මයා බාර ගත්තේ මරණාසන්න ලෙඩෙක්. ගිලන් වෙච්ච ආර්ථිකයක් තමයි එතුමයි අගමැතිතුමයි බාර ගත්තේ. ඒ වන විටත් ඒ ලෙඩා ඉස්පිරිතාලෙට අරගෙන ගිහින් තිබුණා. ඒ අරගෙන යන විටත් ලෙඩා පණ ඇද ඇදයි හිටියෙ. ගොඩක් දෙනෙක් හිතුවෙ ලෙඩා මැරිල කියලායි.

මිනිස්සු එහෙම හිතුවට මෛත්‍රීපාල සිරිසේන මහත්මයයි, රනිල් වික්‍රමසිංහ මහත්මයයි කියන ඒ දොස්තරවරු මේ ලෙඩා පණ අදිමින් ඉන්නවා කියලා පවුලේ අයට කිව්වෙ නෑ. ලෙඩා ජීවිතාධාර යන්ත්‍රවලින් ජීවත් වන බව දැන දැනත් ඔවුන් උත්සාහ කළේ මේ ලෙඩාව සුවපත් කරන්නයි. ලෙඩා මැරුණයි කියල පිළිගන්න ඔවුන් කැමැති වුණේ නෑ. ඒ නිසා එහෙම බලද්දී පණ ඇද ඇද හිටපු ආර්ථිකය නමැති ඒ ලෙඩාව අවදානම් තත්ත්වයෙන් ඔබ්බට මේ වන විට ගෙනැවිත් තියෙනවා.

අපිට මේ කාරණය දිහා බලන්න වෙන්නෙ එතන ඉඳන්. ඉතින් අද එහෙම පණ ඇද ඇද හිටපු ලෙඩාව දැකල සමහරු අහනවා ඇයි මැරතන් එකක් දුවන්න බැරි කියලා. මේක මං හිතන්නෙ සාධාරණ ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන් බාර ගත්තෙ පණ ඇද ඇද හිටපු ආර්ථිකයක්. මැරතන් එකක් දුවනව නම් ඒකට තව ලෑස්ති වෙන්න ඕනෙ. තව කාලයක් ඒකට අවශ්‍යයි.

මං හිතනවා මේ රජයට මේ ජනාධිපතිවරයට අගමැතිවරයට තියෙන දැක්මත් එක්ක මේ මැරතන් එක දුවන තත්ත්වයට අපිට මේ ආර්ථිකය ගේන්න පුළුවන් වෙයි කියලා. ඒකට යම් කාලයක් අවශ්‍යයි. යම් සාධාරණ කාලයක් ඊට දිය යුතුයි. මං හිතනවා ඉදිරි කාලය තුළ දී සියලු කොටස්වල සහයෝගයත් එක්ක මේ ඉලක්ක කරා අපිට යන්න පුළුවන් වෙයි කියලා.

■ මේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂට එරෙහිව බලය ලබා ගනිද්දි ගහපු ප්‍රධාන මිසයිල වුණේ දූෂණය, නාස්තිය වගේ කාරණා. රාජපක්ෂ රෙජීමය දූෂිත රෙජීමයක් කියලා ඔවුන් මත සමාජගත කළා. නමුත් මේ වන විට එම චෝදනාව යහපාලනයට එරෙහිවත් එල්ල වෙමින් තියෙනවා. මේක පාරාවළල්ලක් වෙලා තියෙනවා. ඉතින් මේ ගැන මොකද කියන්නෙ?

z p04 oneඅපි මුල ඉඳලම කිව්වෙ මහින්ද රාජපක්ෂව වෙනස් කිරීමෙන් පමණක් මේ වෙනස යථාර්ථයක් වෙන්නෙ නෑ කියලායි. ඒ වෙනුවෙන් ක්‍රමවේදය, පාලන තන්ත්‍රය ඇතුළු සමස්ත පද්ධතියම වෙනස් කළ යුතුව තියෙනවා. දූෂණයට එරෙහි ක්‍රියාන්විතයේ දී තෝරා බේරා ගැනීමක් කිරීම එහෙමත් නැත්නම් විශේෂීකරණයට ලක් කිරීමක් සිදු කිරීම සම්බන්ධයෙන් විවේචනයක් අපිට තියෙනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිලිව අපි අකැමැත්ත ප්‍රකාශ කරනවා.

පසුගිය රජයේ ඇමැතිවරුන්ගේ දූෂණ වංචා ගැන පමණක් නොවෙයි, මේ ආණ්ඩුව තුළ ඉන්න ඇමැතිවරුන්ගේ දූෂණ වංචා පිළිබඳවත් සොයා බැලිය යුතුයි. ඒවා ප්‍රශ්න කළ යුතුයි. ඒක තමයි යහපාලනය කියන්නේ. නමුත් යමපාලනයක ඉඳලා යහපාලනයට එන ගමන කියන්නෙ මැජික් එකක් නෙමෙයි.

කොහොමටත් ඒක එක පාරට ක්ෂණයකින් කරන්න බැහැ. ඒක ක්‍රමානුකූලව කළ යුතු දෙයක්. අංශක 180ක් වෙනස් කිරීමේ දී ඊට යම් සාධාරණ කාලයක් අවශ්‍යයි.

අනිවාර්යයෙන්ම 2020 වෙද්දී ආපහු ඡන්දයකට යද්දි මම හිතනවා බොරුකාරයෝ කවුද වැඩකාරයෝ කවුද කියලා හෙළි වෙයි කියලා. 2020 මැතිවරණයේ දී මේ රටේ මිනිස්සු බොරුකාරයන්ට තිත තියයි කියලා බොරුකාරයන්ව එළවයි කියල මට ලොකු විශ්වාසයක් තියෙනවා. බොරුවට වංචාවට තවදුරටත් තවදුරටත් ලොකු ඉඩක් නෑ.

අද අපි අපේක්ෂා කරන වේගයෙන් රෝද කරකැවෙන්නෙ නැති වුණාට හොරු ගැන බය නැතිව කතා කරන්න හරි නිදහසක් මේ රටේ මිනිස්සුන්ට දැන් තියෙනවා. එහෙම කළා කියලා සුදු වෑන් පස්සෙන් එන්නෙ නෑ. එහෙම බලද්දි තිබුණ තත්ත්වයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ තහවුරු වී තිබෙනවා.

ඒත් අපි එයින් පමණක් සෑහීමකට පත් වෙන්නෙ නෑ. තව දුර යා යුතුයි. මිනිස්සු බලාපොරොත්තු වුණේ මේ තිබුණු තත්ත්වයෙන් 30%40%ක් වෙනස් වෙන්න නෙමෙයි. මුළු මනින්ම වෙනස් වෙන්නයි මිනිස්සුන්ට ඕන වුණේ. මුළුමනින්ම මේ හොර මැරකම් වංචා දූෂණ නතර වෙනව දකින්නයි මිනිස්සු සිහින දැක්කෙ.

ඒ එක්කම තවත් කාරණයක් මම සිහිපත් කරන්න කැමැතියි. මේ ආණ්ඩුවේ දුර්වලතා වැරැදි පෙන්නල දෙද්දි ආපහු රාජපක්ෂල ගෙන ආ යුතුයි, ආපහු මේ රට රාජපක්ෂලට බාර දිය යුතුයි කියලා නම් මිනිස්සු හිතන්නෙ නෑ. මිනිස්සු එදා තිත තිබ්බෙ පවුල්වාදයකට ඒකාධිපති පවුල්වාදයකට. ජනවාරි 8 වෙනිද මිනිස්සු වැළලුවෙ පවුල්වාදී රජයක්. මේ වන විට තියෙන පොඩි පොඩි අඩුපාඩු කම්, තියෙන නිශේධනාත්මක තත්ත්ව තුළ රාජපක්ෂලට ආපහු අවස්ථාවක් ලැබෙයි කියලා කවුරු හරි හිතනවා නම් ඒක මුළාවක්.

■ නමුත් ඔබ කොහොම කිව්වත් රාජපක්ෂවරුන්ට ලොකු ඉල්ලුමක් තියෙන බවක් පෙනෙන්නට තියෙනවා?

මේ යුද ජයග්‍රහණය ගැන කතා කරද්දි සමහරු ඒකෙ පේටන්ට් අයිතිය තනියෙන් ලියා ගන්න හදනවා. ඒක මහා අසාධාරණ හිරිකිත වැඩක්. ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙමෙයි මේ යුද්ධ ජයග්‍රහණයට සරත් ෆොන්සේකා, ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, ජානක පෙරේරා යනාදී දැවැන්ත පෞරුෂ ගණනාවක් සම්මාදම් වෙලා තියෙනවා.

රගර් ක්‍රීඩාවෙ දී අන්තිමට උත්සාහක දිනුම තිබ්බ එක්කෙනා ගැන විතරයි කතා කරන්නේ. මේකත් ඒ වගේ දෙයක්. උත්සාහක දිනුම ලබා ගැනීම සඳහා මුලපිරීම් කරපු ක්‍රීඩකයො ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. පපුවට ගහගෙන, රටින් පැනල ගිහිල්ල, හමුදාවෙන් අයින් වෙලා මේ යුද්ධය ගැන කතා කිරීම තුළ රටෙන් පැන ගිහිල්ල වෙන රටවල පුරවැසි භාවය අරන් අමාරු කාලෙ මේ රටේවත් නොහිටපු පුද්ගලයො ගැන තවත් මොනවද කතා කරන්නෙ?

දැන් මේ රටේ යුද්ධෙ ගැන කතා කළා ඇති. යුද්ධෙ වෙනුවට මේ රටට අවශ්‍ය කරල තියෙන්නෙ දීර්ඝ කාලීන සාමයක්. ආපහු මේ රටට යුද්ධ අවශ්‍ය නෑ. යුද්ධයෙන් මේ රටට සමාජයට කළ විනාශය හොඳටම ප්‍රමණවත්. ඩොලර් බිලියන 200කට වඩා විනාශ කළ මේ සාප ලත් යුද්ධයේදී දෙපාර්ශ්වයෙන්ම මිය ගියේ අපේ රටේ මිනිස්සු.

සදාකාලික සාමයක් ගෙන ඒම වෙනුවෙන් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට සැබෑ උනන්දුවක් තියෙන බව පේන්න තියෙනවා. ඒක ඉතාමත් සාධනීය තත්ත්වයක්. අද මේ රටට අවශ්‍ය යුධ වීරයන් වෙනුවට සාම වීරයන්. මම හිතනවා වත්මන් නායකයො දෙදෙනාගේ මේ සුසංයෝගය තුළ ඒ සඳහා ස්වර්ණමය අවස්ථාවක් ලැබී තියෙනවා.

ජාතිවාදය අවුස්සමින් යුධ මානසිකත්වය විකුණමින් මේ රට දියුණු කරන්න බෑ. අපේ රටේ මිනිස්සු අන්දපු හා පාගපු යුගය දැන් ඉවරයි. අද මිනිසුන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ ඉතිහාසයේ අවතාර අත ගගා ඉන්න නෙමෙයි. එ අය කැමති ඉස්සරහට යන්න. යුද්ධය වගේ පුස්කාපු යල් පැන ගිය මතවාද පෙරටු කරගනිමින් අපිට ඉදිරියට යන්න බෑ.

අපි දැන් සාකච්ඡා කරන්න ඕනෙ සුළුතරයේ අභිමානය රැක ගනිමින් සියලු දෙනා තුළ විශ්වාසය ගොඩනගා ගනිමින් පොදුවේ ජාතියක් හැටියට ඉදිරියට යන්නෙ කොහොමද ගැනයි.

■ ඔබ ඉස්සරහට යන්න කතා කරද්දී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂයෙන් ඒ දෙපාර්ශ්වයේ නියෝජනය කරන මැති ඇමැතිවරු කඩු මුවහත් කරන හඬ මේ දිනවල ඇසෙනවා. ගැටුමක ලකුණු පහළ වෙමින් තියෙනවා. මේ ගැන මොකද ඔබ කියන්නෙ?

මම හිතන්නෙ මේක තමයි යහපාලනය. මේකත් යහපාලනයේ එක්තරා ස්වභාවයක්. මේ රටේ මිනිස්සු පුරුදු වෙලා හිටියෙ එක තැනකින් එන විධානයන් ක්‍රියාත්මක කරන්න. රජ කෙනෙකුගේ අණ ක්‍රියාත්මක කරන්න පහළ මට්ටමේ අය බැඳිල හිටිය වගේ එහෙම තත්ත්වයකට තමයි අපි හුරු වෙලා හිටියෙ.

ඒ කාලෙ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු කටයුතු කළේ රොබෝල වගේ. අද එහෙම නෑ. ඒ තුළ සංවාදයට විසංවාදයට ඉඩක් තිබෙනවා. ඒ තත්ත්වය තුළ කිසිම කෙනෙකුට ඉස්සර වගේ සෙල්ලම් දාන්න බෑ, තමන්ට අභිමත දේ පමණක් කරන්න බෑ. ඒක හොඳ දෙයක්. rw ms 2සාධනීය තත්ත්වයක්. මිනිස්සු අපේක්ෂා කළ මේ සංවාදය රටේ මතු පැවැත්ම වෙනුවෙන් යහපත් ලෙස යොදා ගැනීම තමයි අවශ්‍ය. ඒ සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තුවක් මට තියෙනවා.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top