Mar 10, 2017

වයසක උන්දෑලා තරුණ බිරියන් ගත්තම වෙනදේ

ඕනෑම සමාජයක උණුසුම් ආන්දෝලනාත්මක කතාබහ ඇති වනුයේ එම සමාජයට සෘජුව බලපාන සමාජ, ආර්ථික සහ දේශපාලනික කරුණු මුල් ‍කොට ගනිමිනි. නමුදු එසේ නොවන ආන්‍යයන් ගේ පෞද්ගලිකත්වයන් හා සබැඳුණු කරුණු සම්බන්ධයෙන් ද උණුසුම් ආන්දෝලනාත්මක කතා බහ ඇතිවනු පෙනේ.

kapilaranasinghaඒ මාධ්‍යය මගින් සන්නිවේදනය කරන යම් යම් පුද්ගලයන් සම්බන්ධ‍ කරුණු මුල් කර ගනිමිනි. වයස අවුරුදු හැත්තෑ පහක් වන පිරිමියකු හට වයස අවුරුදු තිස් තුනක කාන්තාවක විවාහ කර ගත නොහැකිද?  යන්නද මේ දිනවල සමාජය පුරා පැතිර යන එවන් විවාදාත්මක මාතෘකාවකි.

එබැවින් අපි ඒ පිළිබඳ පාඨක කුතුහලය සමනය කරනු පිණිස ඒ සම්බන්ධ මනෝ වෛද්‍ය විද්‍යාත්මක පදනම මුල්කොට අංගොඩ, මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ මහතාගෙන් මේ විමසීම කළෙමු.

අවුරුදු හැත්තෑපහක විතර පිරිමියෙක් අවුරුදු තිස් තුනක විතර කාන්තාවක විවාහ කර ගැනීම ගැන මොකද හිතන්නේ?

ඒක ඒ දෙන්නාගේ කැමැත්ත අනුව සිද්ධ වෙනවා නම් මට වත් වෙන කාටවත් ඒ ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. මොකද හොලිවුඩ් තිරයේ කව්බෝයිගේ චරිතයට පණදුන් ක්ලින්ට් ඊස්ට්වඩ් 1996 වසරේ විවාහ කරගත්තේ  තමන්ට වඩා අවුරුදු තිස් පහකින් බාල ඩීනා කියලා කාන්තාවක්.

ඇමරිකාවේ එහෙම ‘කව්බෝයි’ ලා හිටියත් වයස අවුරුදු හැත්තෑපහ කියන්නේ මිනිස් ජීවිතයක අවසන් භාගය නේද?

අප රටේ මිනිසකුගේ පොදු ආයු කාලය (Life expectancy) අවුරුදු හැත්තෑ හතරට ටිකක් වැඩියි. ඒත් කෙනෙකුට අවුරුදු සීයක් හෝ නැතිනම් ඊටත් වැඩි කාලයක් කායික - මානසික වශයෙන් නිරෝගීව ජීවත් වීමට ඇති හැකියාව ඉන් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ.

නමුත් වයස අවුරුදු හැත්තෑපහ කියන්නේ පිරිමියකු වුණත් කායික සහ මානසික වශයෙන් දුබල හා බෙලහීන වන අවදියක් නේද?

ඒක උපකල්පනයක් විතරයි; පිරිමියකුගේ මැදිවයස ඉක්මීමත් එක්ක කායික මානසික වශයෙන් යම් පසුබෑමක් සිදු වුවත් ඒක දුබලතාවයක් හැටියට හඳුන්වන්න බැහැ. මනා කායික මානසික යහපැවැත්මක්, මනා පෞරුෂයක් සහ හොඳ සමාජ තත්වයක් සහිත පිරිමියකුට වයස අවුරුදු හැත්තෑපහේ දී වුණත් කායික හා මානසික වශයෙන් දුබල නොවී ඉන්න පුළුන්.

නමුත් මගේ ප්‍රශ්නය ජීව විද්‍යාත්මක කරුණක් පිළිබඳවයි

පිරිමියකුගේ පෞරුෂය සහ ලිංගික ක්‍රියාකාරිත්වයට මුල්වන ටස්ටස්ටරොන් (Testosterone) කියන හෝමෝනය නිපදවීම වියපත් බවත් සමඟ යම් ප්‍රමාණයකින් අඩු වෙනවා නමුත් ඒක මුළුමනින්ම නතර වන්නේ නැහැ.  ජීවිත කාලය පුරාම යම් ප්‍රමාණයකින් එය නිපදවෙනවා. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන තත්වයක්. නමුත් කොච්චර වයසට ගියත් පිරිමින්ගේ රැවුල වැඩීම නතර වෙන්නේ නැහැනේ. රැවුල වැවෙන්නෙත් ඔය හෝමෝනය නිසා.

ඒ කියන්නේ කාන්තාව වයසට යනවා.  නමුත් පිරිමියා  මිය යන තුරුම වයස යන්නේ නැහැ?

මම මේ කියන්නේ ජෛවමය කාරණයක් ගැනයි; කාන්තාවක නම් වයස අවුරුදු පනහේ දී විතර ඔසප් වීම නතරවීම හෙවත් ආර්ථවහරණයට (menopause) ලක්වීමෙන් පසුව ලිංගික ජීවිතයේ යම් පසුබෑමකට ලක්වෙනවා; නමුත් ඉන්පසුවත් කාන්තාවකට වුවත් සාර්ථක ලිංගික ජීවිතයක් ගත කරන්න පුලුවන්; නමුත් පිරිමියකුට අඩුම තරමින් එවැනි ජෛවමය කඩ ඉමක් වත් නැහැ. නමුත් පිරිමියකු තුළ වුවත් මේ පෞරුෂය ජවය අඛණ්ඩව පවත්වාගෙන යා හැක්කේ යහපත් කායික මානසික යහපැවත්මක් තිබුණොත් විතරයි. එසේ නැතිව කායික රෝග සහ මානසික බිඳවැටීම් ඔස්සේ මේ තත්වයේ අවනතියක් සිදුවිය හැකියි.

ඒ සම්බන්ධ ජෛව විද්‍යාත්මක පක්ෂය එසේ වුවත් අපේ සංස්කෘතිය ඔවැනි විවාහ අනුමත වන්නේ නැහැ නේද?

ඇත්තටම අප සමාජයෙන් ඔය සදාචාර ලක්ෂණය ප්‍රකටව මතු වුණේ ඉංග්‍රීසි යටත් විජිත පාලනයත් සමඟ අපට උරුම වුණු වික්ටෝරියානු සදාචාරය නිසයි. නමුත් අපේ සැබෑ දේශීය සංස්කෘතිය සම්ප්‍රදාය සහ සදාචාරය තුළ ඔවැනි තත්වයක් දකින්නට තිබුණේ නැහැ. අපේ කන්ද උඩරට රාජධානි සමයේ බොහෝ වියපත් ජන ප්‍රධානීන් තරුණ බිරියන් සමඟ ජීවත් වුණු බවට සාක්ෂි තිබෙනවා. ඔවුන් එය සැලකුවේ තමන් සතු පෞරුෂයේ ජව සම්පන්න බවේ ලක්ෂණයක්  ලෙසයි.

නමුත් අපේ දේශීය ගැමි සංස්කෘතිය තුළත් ඔවැනි ලක්ෂණ දකින්නට තිබුණා ද?

මොකද නැත්තේ? මා දන්නා එක් රෝහල් මුරකරුවෙක් විශ්‍රාම ගියේ මා පාසල් යන දවස්වලමයි; ඔහුගේ පුතෙකුත් මෑතකදී වයස් ගතව මිය ගියා; නමුත් ඔහු තවමත් නිරෝගීව ජීවත් වෙනවා. දැන් වයස අවුරුදු අනූ හයක්. ඒ වගේම කලින් බිරිය මිය යාම නිසා ඔහු මෑතක දීත් තරුණ බිරියක් කැන්දාගෙන ආ බව මට දැන ගන්නට ලැබුණා. ඒක ඔහුගේ මනාපය සහ හැකියාව. ඒකේ කිසිම වරදක් නැහැ.

එතරම් වියපත් වූ ඔහුට තරුණ බිරිඳක් අවශ්‍ය වුණේ ඇයි?

අන්න ඒක අප බොහෝ දෙනා නොදන්නා නොසිතන තත්වයක්. බිරිඳගේ මරණයෙන් පසුව බොහෝ පිරිමින් මානසිකව හුදකලා වෙනවා; දරුවන් ලොකු මහත් වී ඔවුන් ගේ පවුල් ජීවිත තුළ කොටු වීම මත  පියාගේ ඒ මානසික හුදකලාව  අසරණ බවක් බවට පත් වෙනවා; නමුත් දරුවන්ට ඒ බවක් හැගෙන්නේ නැහැ. ඔවුන් හිතන්නේ තාත්තාට කන්න බොන්න තියනවා ජීවත්වෙන්න සල්ලි තියනවා, ඒ නිසා ප්‍රශ්නයක් නැහැ කියලයි.

ඉතින් එහෙනම් මොකක්ද ඔවුන් පත්වන අසරණ බව?eldermenlonely

 ජෛවමය වශයෙන් පිරිමින්ට සාර්ථකව කළ නොහැකි බොහෝ දේ කාන්තාවන්ට හැකිවීමේ ජෛවමය පදනමක් තිබෙනවා; මේක විවාහ වී සිටින සෑම පිරිමියකුටම වැ‍ටහෙන දෙයක්. ඉවුම් පිහුම්, ගෘහ පාලනය, ගෙදර දොර අලංකාරණය වගේම තම කායික මානසික අවශ්‍යතා සංතෘප්ත කර ගැනීම පිණිස බිරිඳ අඛණ්ඩව දැක්වූ ඒ උපකාරය ඇගේ මිය යාමත් සමඟ ගිලිහී යාම මත පාළුව, තනිකම, අසරණ බව දරා ගැනීමට යමකුට අසීරු විය හැකියි. එසේ තනිවීම නිසා විශාද තත්වයට පත්වූ බොහෝ වියපත් සැමියන් මනෝ වෛද්‍ය සායන වලදී අපට මුණ ගැසෙනවා.

එවන් තත්වයක් තුළ වුවත් වියපත් පිරිමින් නැවත විවාහවලට යොමු වීම අතීත ගැමි සමාජය හෙළා දුටුවා නේද?

‘නාකි විසේ ගෙටත් උසේ’ ‘සීයා මනමාලයා නාකි ඉලන්දාරියා’ වශයෙන් ප්‍රකට පිරුළු සමාජගත වුණේ එවන් පුද්ගල චර්යාවන් මුල් කරගෙනයි. නමුත් අපේ අතීත සමාජය එවැනි වැඩිහිටියන් අහිංසක සාමකාමී සරදමකට උපහාසයකට ලක් කළා මිස ඔවුන් දෙස ද්වේෂයෙන් බැලුවේ නැහැ. ඒ අනුව බලන කොට අපේ පැරණි  ජන සමාජය අදට වඩා දියුණුයි.

නමුත් වයස අවුරුදු හැත්තෑ පහක පිරිමියකු හා විවාහ වන අවුරුදු තිස් තුනක කාන්තාවකට කවදා නමුත් ජීවිතයේ මැදි වයසේ දී සමාජයීය වශයෙන් අසරණවීමට සිදු වෙනවා නේද?

සැමියාගේ වියෝගයෙන් කාන්තාවක අසරණ වෙනවාය කියන එක එක්තරා උපකල්පනයක් විතරයි; වර්තමාන සමාජ ආර්ථිකය අනුව සැමියාගේ වියෝගයෙන් පසුව ජීවිතයට සාර්ථකව මුහුණ දුන් කාන්තාවන් ඕනෑ තරම් සිටින බව පෙනෙනවා; ඒවගේම යුග දිවියේ පවතින දැඩි අසාර්ථක තත්වයන් යටතේ යුග දිවිය තුළම අසරණ වූ කාන්තාවන් විශාල ප්‍රමාණයකුත් අප සමාජයේ හිඳින බව අප අමතක නොකළ යුතුයි. ඒ අනුව ඔබගේ ඔය ප්‍රශ්නයේ ප්‍රායෝගික සත්‍යයක් තිබේ නම් ඒ බොහොම සුළු වශයෙන් විතරයි.

නමුත් වියපත් පිරිමින් හා විවාහ වන තරුණ කාන්තාවන් දෙස පිරිමි පාර්ශවයේ අවධානය යොමුවීම වැඩියි; ඒ අනුව ඔවුන් වරදට යොමු වීමේ වැඩි නැඹුරුවක් ඇති බවක් පෙනී යනවා.

ඕකත් සමාජමය උපකල්පනයක් විතරයි; එහෙම නැතුව ඔය කතාවෙත් ප්‍රායෝගික සත්‍යයක් නැහැ. ඒවගේම සම වයසේ හෝ තමන්ට වඩා අවුරුදු කිහිපයක් වැඩිමල් පිරිමින් කොතෙකුත් සිටියදී තමන්ට වඩා දෙගුණයකටත් වැඩිමල් පිරිමියකු සමඟ විවාහවීමට යම් කාන්තාවක් කැමති වෙනවා නම් ඊට කුමක් හෝ විශේෂිත කරුණක් මුල් විය හැකියි; විවාහ ජීවිතයේ නොයෙකුත් ගැටළු අර්බුදවලින් පීඩාවට පත්ව ඊට වඩා නිහඬ නිසංසල යුග දිවියක් අපේක්ෂා කරන කාන්තාවන් ද විවාහය සඳහා මෙවැනි වියපත් පුද්ගලයන් තෝරාගන්නා අවස්ථා තිබෙනවා; එවන් සුවිශේෂ තෝරා ගැනීමකින් පසු ඔවුන් යළි වෙනත් ගමන් මඟක් වෙන යොමු නොවීමේ වැඩි නැඹුරුවක් පවතින බවයි මට නම් කිව හැක්කේ.

නමුත් වියපත් බවට පත්ව සිටින මහා ධන කුවේරයන් ගේ ධනයට ඔවුන්ගේ  මරණයෙන් පසු උරුමකම් කීම සඳහා ද සමහර තරුණ කතුන් එවන් පුද්ගලයන් සමඟ විවාහ වන අවස්ථා තිබෙනවා.

අපරාධ, වංචා, දූෂණ වගේ දේවල් වලින් සහමුලින් අත්මිදුණු සමාජයක් මේ මිහිපිට කොහේවත් නැහැ. ඒ අනුව උපායශීලී ලෙසින් එවැනි වියපත් ධන කුවේරයන් ගේ සිත් දිනා ගනිමින් තමන්ගේ යටි අරමුණු ඉටුකර ගැනීමට මාන බලන කාන්තාවන් ද සිටිය හැකියි. නමුත් කිසියම් පුද්ගලයකු එවැනි රැවටීමකට වුව ලක්වන්නේ තමන් තුළ පවතින කායික මානසික අවශ්‍යතා සංතෘප්ත කර ගැනීමේ මඟක් නොමැතිව අසරණ වී හිඳින නිසාය යන සත්‍යයත් අප අමතක නොකළ යුතුයි.

ඒ අනුව ඔබ පවසන්නේ බිරිඳ මියගිය පසු සෑම පිරිමියකුම නැවත විවාහයක් කර ගත යුතුය කියාද?

ඒක යම් පුද්ගලයකුගේ කායික, මානසික නිරෝගීතාවය, සමාජ ආර්ථිකය අනුව තීරණය කළ යුතු දෙයක්. යමෙකුට තම බිරිඳගේ මරණයෙන් පසු එවැනි දරාගත නොහැකි කායික මානසික හුදකලා බවක් දැනෙනවා නම් ඒ තැනැත්තා යළි විවාහයක් කර ගැනීමේ වරදක් නැහැ. ඒ වගේම ඒ වයසේ දී තමන් තුළ නැගෙන ජෛවමය අවේගයන් දිගු කාලයක් ආයාසයෙන් යටපත් කරගෙන සිටියහොත් තවත් වියපත් වීමේ දී ඒවා පාලනය කර ගත නොහැකිව සදාචාර විරෝධී අයුරින් එම ආවේග පිටතට පැමිණිය හැකියි; තමුන් ගේ මිනිපිරියන් හෝ එම වයසේ දැරියන් දූෂණය කළ සීයලා පිළිබඳ ප්‍රවෘත්තිත් අද පුවත්පත් පාඨකයන්ට සාමාන්‍ය සුලබ අත්දැකීමක් වී ඇත්තේ ඒ තත්වය නිසයි.  නමුත් මෙසේ ප්‍රසිද්ධියට පැමිණෙන්නේ එබඳු සිදුවීම් වලින් ඉතා සුළු ප්‍රතිශතයක් බවත් අප දැනගත යුතුයි. ඒ නිසා ඉහත සඳහන් මාතෘකාව දෙස වඩාත් නිදහස් සහ සහනශීලී අයුරින් බැලීම තමයි අප කවුරුත් කළ යුත්තේ.
 

දමයන්ති ගමගේ
(ලක්බිම)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top