Nov 01, 2016

'ජනතා කලකිරීම ප්‍රජාතන්ත්‍රවාදයට භයානකයි'

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ජනතාව සහ රාජ්‍යය අතර ඇති ගිවිසුමය. එය ඇති විය යුත්තේ ජනතා අපේක්ෂා පදනම් කරගෙන මිසක් රාජ්‍යයේ හුදු අත්තනෝමතික ලෙස නොවේ. මෙරටට අදාළව අලු‍ත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සම්බන්ධ කාරණයේ දී මහජන අදහස් විමසීමේ කමිටුව නමින් දීපව්‍යාප්ත කාර්යයක් ආරම්භ වූයේ ඒ අදහස ඇතිවය. එම කමිටුව මෙරට දිස්ත්‍රික්ක 25ක ජනතා අදහස් සහ යෝජනා, අපේක්ෂා ගොනුකර එහි අවසන් ලියවිල්ල මේ වන විට වගකිවයුතු පාර්ශ්ව වෙත ලබා දී අවසන්ය. මේ, එම කමිටුවේ තීරණාත්මක කාර්යයක් ඉටු කළ ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ‘සත්හඬ’ සිදු කළ කතා බහයි.

අලු‍ත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් ඔබලා රට වටා ගමනක් ගියා. ඒ ගමනේ දී අලු‍ත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනතාව අතර ඇති උනන්දුව මොන වගේද කියන තැනින් අපි මේ කතාබහ ආරම්භ කරමු?

Dr.Harini Amarasooriyaඇත්තටම අපිට තිබුණේ සීමිත කාලයක්. නමුත් සමස්තයක් ලෙස කියන්න පුළුවන්, මිනිස්සු මේ කෙරෙහි ලොකු උනන්දුවකින් සහ උවමනාවකින් යුතුව කටයුතු කළා කියලා. මුලින් අපි වෙත ජනතාව ඒමේ අඩුවක් තිබුණා. විශේෂයෙන් කොළඹ. පළමු අවස්ථාවේ දී සහභාගීත්ව අඩුවක් තිබුණා. නමුත් නව ව්‍යවස්ථාව වෙනුවෙන් ජනතා අදහස් ගැනීමට රට වටා යාම පිළිබඳ මාධ්‍ය හරහා සැලකිය යුතු ප්‍රචාරයක් ලැබුණා. මං හිතන්නෙ ඒ හරහා මිනිස්සු ගොඩක් අපි වෙත ඒමට බලපෑවා. එතැන ඉඳලා අපි අනෙකුත් දිස්ත්‍රික්ක වෙත යනකොට ඉතාම හොඳ මහජන සහභාගිත්වයක් තිබුණා. ඇත්තටම අපි කොළඹ හැර දිවයිනේ අනෙක් දිස්ත්‍රික්කවලට දවස් දෙකක වගේ කාලයක් තමයි වෙන් කළේ. එතන දී වුණත් අපි දැකපු දෙයක් තමයි මිනිස්සු යෝජනා ඉදිරිපත් කිරීමට අමතරව ඒ අප සිටි කාලය තුළ එහි රැඳී සිටීම. එය ඉතාම වැදගත්.

කාන්තා සහභාගීත්වය මොන වගේ මට්ටමකද තිබුණේ?

මුලින් පොඩි අඩුවක් තිබුණා. නමුත් කල්ගත වීමත් එක්ක අපට දැනුණ දෙයක් තමයි කාන්තාවන් තනිව ඉදිරිපත් වෙනවාට වඩා සංවිධාන වශයෙන් අප සමඟ සම්බන්ධ වුණ බවක්. අවම වශයෙන් සංවිධාන දෙකක් වත් අපි ගිය සෑම තැනකදීම පාහේ අප සමඟ සම්බන්ධ වුණා. ඒ අතින් ඔවුන් අප සමඟ සක්‍රීයව සම්බන්ධ වුණා කියන්න පුළුවන්.

ව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනතා අදහස් විමසීමේ දී ඒ වෙනුවෙන් ඔවුන් තුළ වූ සූදානම ගැන කතා කළොත්?

විවිධාකාරයේ කාරණා මුල් කරගෙන ජනතාව අප වෙත අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න එකතු වුණා. සමහර අය ඇවිත් තිබුණා ඒ ව්‍යවස්ථාව ගැන ගොඩක් දුරට හදාරලා මේ මේ වෙනස්කම් සිදු විය යුතුයි කියලා යෝජනා කරන්නයි. ඒ අතර සිටි සමහරු තමන්ගේ යෝජනාවලට අදාළව සකස් කළ ව්‍යවස්ථා වගන්ති පවා ලිඛිතව ලබා දුන්නා. මට හොඳට මතකයි සමහර අය අපේ තිබුණු ව්‍යවස්ථා අධ්‍යයනය කර තමන්ගේ යෝජනාවක් ලෙස මුළු ව්‍යවස්ථාවක්ම වගේ ලියාගෙන ආවා. ඔවුන්ට හොඳ දැනුමක් තිබුණා. රටේ ග්‍රාමීය ප්‍රදේශවල දී පවා අපට එවැනි අය මුණගැසුණා.

එහෙත් අප වෙත පැමිණි බහුතරයක් අය රාජ්‍ය පද්ධතිය වෙතින් යම් යම් අසාධාරණවලට ලක් වුණු අයයි. පොලීසිය වෙන්න පුළුවන්. වෙනත් රාජ්‍ය ආයතන වෙතින් විය හැකියි. ඔවුන් අසාධාරණයට ලක් වෙලා. එහෙමත් නැත්නම් ඔවුන්ගේ ප්‍රශ්න විසඳ ගන්න හැකියාවක් ලැබිලා නෑ. ඒ වෙනුවෙන් පිහිටක් පතා ඔවුන් දැනට ඒ සඳහා යන්නට තිබෙන ආයතන, කොමිසම් වෙත පමණක් නෙවෙයි දේශපාලනඥයන් ළඟට පවා ගිහින්. ඒත් ප්‍රශ්න විසඳිලා නෑ. ඒ තුළ ඔවුන් පැමිණියේ මේ පවතින සමස්ත ක්‍රමය ගැනම දැඩි කලකිරීමෙන්. ඔවුන් දැනුවත්ව හිටියා අහවල් අහවල් ප්‍රශ්නයට අදාළව විසඳුමක් ලැබෙන්නෙ නෑ. මේ පවතින ක්‍රමය ඇතුළේ ප්‍රශ්නය විසඳගන්න.

බැරි බව ඔවුන්ට තේරුම් ගිහින් තිබුණා. එතකොට ඔවුන් අප වෙත පැමිණියේ තමන්ට දෛනිකව බලපාන විශේෂ ප්‍රශ්න ව්‍යවස්ථාවට දමා හෝ විසඳා ගන්න ඕන කියන අපේක්ෂාව පෙරදැරි කරගෙනයි.

ජනතාව ඒ විදිහට ගෙන ආ ප්‍රශ්න මොනවද?

ඔබ දන්නවද ජනතාව ඉදිරිපත් කළ බොහෝ කාරණා තුළ තිබුණේ ඔවුන් එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න පවා විසඳා ගන්නට ඇති දුෂ්කරභාවය පදනම වීමයි. මං උදාහරණ කිහිපයක් කියන්නම්, ළමයෙක්ව පාසලකට දමා ගැනීම, යම් රාජ්‍ය ආයතනයකට ගියහම තමන්ගේ භාෂාවෙන් ඒ කාර්යය කර ගැනීමේ දුෂ්කරතාව, තව කෙනෙකුට තමන්ගේ ස්ථාන මාරුව හරි විදිහට සිදු කර ගැනීමට නොහැකි වීම, උසස්වීම් නිසි ලෙස සිදු නොවීම, එක්කෝ කවුරුහරි බලවතෙක් තමන්ගේ ඉඩම පැහැරගෙන. අර තැනැත්තාට සාධාරණය ඉෂ්ට වෙලා නෑ. ඔවුන් කාලයක් තිස්සේ මේ ප්‍රශ්නවලින් මිරිකිලා. ඔවුන්ට විසඳුම් ලැබිලා නෑ. එහෙම වෙලා තියෙන්නෙ ඔවුන් මේ ප්‍රශ්න විසඳා ගැනීමට හැකිවෙයි කියා සිතන ආයතනවලටත් ගිය අතරතුරයි. අනන්ත කාලයක් තිස්සේ මේ ප්‍රශ්න නොවිසඳීම තුළ ජනතාව හිතනවා මේ ක්‍රමය තවදුරටත් අපි වෙනුවෙන් වැඩ කරන්නේ නෑ කියලා. එතැන ඉඳලම වෙනස් වෙන්න ඕන කියන දේ තමයි එතකොට ජනතාවගේ ප්‍රතිචාරවලින් පෙනී යන්නෙ.

නව ව්‍යවස්ථාවක් යන වචනය ඇසූ සැණින් අපට බොහෝවිට අහන්න ලැබෙන්නෙ “රට බෙදීම, පොලිස් හා ඉඩම් බලතල, රටේ ස්වෛරීත්වය අවදානමේ” වගේ කතා. ජනතාව එවැනි කාරණා ගැන විශේෂ අවධානයක් යොමු කළේ නැද්ද?

ඇත්තටම ජනතාවට තියන ඇත්ත ප්‍රශ්න ඕවා නොවෙයි. නමුත් ඔවුන් දේශපාලනඥයන්ගේ කතා අසා ඇති නිසා ඒ වගේ දේවල් කතා කළ සමහර අවස්ථා තිබුණා. නමුත් ඒ අයගෙන් ඇහුවොත් ඇයි ඔයාලා එහෙම කියන්නෙ කියලා, ඔවුන්ට කියන්න තරම් විශේෂ කාරණයකුත් නෑ. ඇත්තටම මිනිස්සුන්ට බොහොම පැහැදිළිව උවමනා වුණේ සාධාරණව ජීවත් විය හැකි ක්‍රමයක්. එය සෞඛ්‍ය සම්බන්ධව වෙන්න පුළුවන්, අධිකරණය සහ නීතිය ක්‍රියාත්මක වෙන හැටි සම්බන්ධව වෙන්න පුළුවන්, අධ්‍යාපනය සම්බන්ධව වෙන්න පුළුවන් ඒ තුළ ඔවුන්ට අවශ්‍ය වුණේ සාධාරණයක්.

ඇත්තටම මේ වන විට පවතින ක්‍රමය සම්බන්ධව ඔවුන්ට තිබුණෙ දැඩි විරෝධයක්. සමස්තයක් වශයෙන් පවතින දේශපාලන සංස්කෘතිය ගැන ඔවුන් කතා කළේ දැඩි අපුලකින්, වේදනාවකින් සහ කලකිරීමකින්. ඒ කාරණයේ දී උතුරේද දකුණේද කියලා වෙනසක් තිබුණේම නෑ. ඔවුන් හැම දෙනාම කිව්වේ මේ ක්‍රමය මුළුමනින්ම වෙනස් වෙන්න ඕන කියලා. ඒ වගේම එම කාරණයේ දී බලය කියන දේ ජනතාවට තිබිය යුතුයි කියන මතයේ තමයි ඔවුන් හිටියෙ. මටත් දුක කොතැනවත් මේ කාරණා කතා නොවෙන එක. අපි ඉදිරිපත් කළ වාර්තාවේ මේ සියල්ල ඇතුළත් කර තිබෙනවා.

රටේ පවතින දේශපාලන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම ගැන පොදුවේ මිනිස්සු කතා කළේ මොනවද?

ඒ කාරණයේ දී ජනතාව කියූ කතා ඇහුවොත් එතැන දී පැහැදිලිව හොඳ කනේ පාරක් තමයි ජනතාව දේශපාලනඥයන්ට එල්ල කරලා තියෙන්නෙ. මං කියන්නෙ ඒවා ව්‍යවස්ථාවට දාන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ජනතාවගේ ඒ කතා වැදගත්. ඒ අපේක්ෂාව පිටුපස ඇති කාරණා තේරුම් ගැනීම වැදගත් වෙනවා. මිනිස්සු එතැන දී කිව්වේ දේශපාලනයට ඒමට අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම් ගැන, ඉදිරිපත්විය හැකි වාර ගණන ගැන සීමා තිබීම, යමෙකු ජනතා නියෝජිතයෙක් ලෙස පත් කිරීමෙන් අනතුරුව ඔහු ජනතා අපේක්ෂා ඉටු නොකරන්නේ නම් ඔවුන්ව නැවත කැඳවීමට ජනතාවට අයිතියක් තිබිය යුතුයි යන්න, ඒ අයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඉඩක් තිබීම, ඔවුන්ට එරෙහිව පෙත්සම් යොමු කරන්නට ඇති අවස්ථාව. අන්න ඒ වගේ දේවල් තමයි ජනතාව යෝජනා කළේ.

මට මතකයි වරක් එක් පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට යන්නට බලාපොරොත්තු වන දේ දේශපාලනඥයින්ට ඒ සඳහා සුදුසුකම් පෙන්වීම සඳහා පෙනී සිට සමත් විය යුතු බවට නිර්දේශ කළ පාඨමාලාවක් පවා සකස්කර ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ඔවුන්ගේ උගත්කම ගැන ජනතාවට ගැටලු ඇති බව ඒ හරහා පෙනී ගියා. ඒ විතරක් නෙවෙයි දේශපාලන පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන වගේම පවුල් පාලනයට නතුවීම, ආගමික ස්ථාන දේශපාලන කටයුතුවලට යොදා ගැනීම, පූජ්‍ය පක්ෂය දේශපාලන කටයුතු වලට මැදිහත්වීම වගේ කාරණා සම්බන්ධව ජනතාව අතර තිබුණේ විරෝධාකල්පයක්.

මෙතැන දී දේශපාලනය කිරීමට යමෙකුට තියන නිදහස සීමා වීම අනුමත කරන්න බෑනෙ. නමුත් මෙතැන දී අපි තේරුම්ගන්න ඕන කාරණය තමයි මිනිසුන් තුළ ඇති කළකිරීම. ඒ වගේම මේ කළකිරීම වර්ධනය වීම ප්‍රජාතන්ත්‍රවාදයට භයානකයි. මොකද මිනිස්සු පවතින ක්‍රමය මත විශ්වාසය නොතැබුවාට පසුව එතැනින් ඒ කළකිරීම යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙත. අන්න එතකොට තමයි මිනිස්සු කියන්න ගන්නෙ ඡන්ද තියන්න එපා, වැඩක් නෑ, මේවට උගත් පිරිස් පත් කරන්න කියලා. 50%ක් පාර්ලිමේන්තුව තුළ උගත් අයට ආසන දෙන්න වගේ කාරණා රැසක් මිනිස්සු කියනවා.

උගත් මිනිස්සු බලය ගත්තා කියලා ඔවුන් හොඳ පාලනයක් ගෙනියයි කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද? මෙතැන දී නැවත වතාවක් පෙන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකින් හොඳ මිනිස්සු පාලනයට එන්නෙ නෑ කියලා විශ්වාසයක් ජනතාව තුළ තිබීම සහ එවැනි විශ්වාසයක් තහවුරු වීම. අපිටත් මේ වගේ යෝජනා ඇවිත් තිබුණා. මේ තත්ත්වය අපි බරපතළව ගන්න ඕන කාරණයක්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය මිනිස්සුන්ට නැති වීම වගේම අපි දැකපු දෙයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය රැකගනීම සඳහා වන වගකීම් මිනිසුන් භාර නොගැනීම. ඔවුන් ඒ වෙනුවට ඒ කටයුත්ත කිසියම් කොමිසමකට හෝ වෙනත් ආයතනයකට දෙන්නයි අදහස් කරන්නේ.

දැන් බලන්න ඒ කාරණයේ තියන අවදානම. මිනිස්සු තමයි ඡන්දය හරහා නියෝජිතයන් පත් කරන්නේ. නමුත් ඔවුන් හරියට ඒ කටයුතු සිදු නොකරනවා නම් කළ යුත්තේ ජනතාව එවැනි අයට බලය නොදී සිටීම. නමුත් මිනිස්සු මෙතැන දී ඒ වගකීමෙන් ඉවත් වෙන්න හදනවා. ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට මිනිසුන්ට තිබෙන අයිතිය ඒ බලය සහ වගකීම මිනිසුන්ට හරියට දැනිලත් නෑ. එයත් අපි දැඩි සැලකිල්ලක් යොමු කළ යුතු කරුණක් කියලයි මං හිතන්නෙ.

වත්මන් ව්‍යවස්ථාවේ 12 ව්‍යවස්ථාව තුළ කියවෙනවා නීතිය ඉදිරියේ සියල්ලන් සමාන බව. නමුත් ප්‍රායෝගික තලය තුළ එහි ගැටලු ඇති බව පෙනෙනවා. නීතිය ක්‍රියාත්මක වීම සහ අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වීම සම්බන්ධව ජනතාව මොන වගේ අදහසකද ඉන්නෙ?

අධිකරණයේ ස්වාධීනත්වය ගැන වගේම පවතින සමහර අංග වෙනස් විය යුතු බවට ජනතාව වෙතින් යෝජනා ඉදිරිපත් වුණා. සමහර අය යෝජනා කළා මූලික අයිතිවාසිකම් සම්බන්ධ පෙත්සම් විභාග කිරීම දිස්ත්‍රික් මට්ටමෙන් සිදු විය යුතු බවට. අපි අපේ ලියවිල්ල තුළට ඒ යෝජනාව ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම තමයි නීති ආධාර මීට වඩා සක්‍රිය ලෙස ජනතාවට තිබිය යුතුයි යන්න, නීතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම වෙනුවෙන් සංවරණ සහ තුලන නියමය නිසි ලෙස ක්‍රියාත්මක වන පසුබිමක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය කාරණා, ඇතුළත්ව වැදගත් යෝජනා ජනතාව වෙතින් පළවුණා. ඒ හඬට කන්දෙන විට අපිට තේරුම් ගියා ජනතාව අතර අදහසක් තිබෙනවා නීතිය තිබෙන්නෙ තමන්ට යුක්තිය ඉටුකිරීමට නෙවෙයි, බලවතුන්ට පිහිට වීමට කියලා.

අපි මේ ඉන්නෙ ජීවත්වීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් තහවුරු නොවූ පසුබිමක. නමුත් ලෝකය තුළ මූලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධ ක්ෂේත්‍රය බොහෝ පළල් වෙමින් තිබෙනවා. ජනතාව මේ සම්බන්ධව දැක්වූ අදහස් මොන වගේද?

ඇත්තටම අයිතිවාසිකම් සම්බන්ධව හොඳ අවබෝධයක් වගේම වැදගත් යෝජනා රැසක් ජනතාව වෙතින් පළ වුණා. බොහෝ දෙනෙක් අප හමුවේ යෝජනා කළා ජීවත් වීමේ අයිතිය ඇතුළත්ව අපේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය තවත් පුළුල් විය යුතු බවට. එසේම විවිධ කණ්ඩායම් අප හමුවට ඇවිත් මේ සම්බන්ධව යෝජනා රාශියක් ඉදිරිපත් කළා. කාන්තාවන්, ළමුන්, විශේෂ අවශ්‍යතා ඇති පිරිස්, ලිංගික අනන්‍යතා සම්බන්ධව වැදගත් යෝජනා ඒ අතර තිබුණා. අපේ වාර්තාව බැලු‍වොත් ඔබට පෙනෙයි මූලික අයිතිවාසිකම් සම්බන්ධ පරිච්ඡේදය තමයි ඉතාමත්ම දිගු වෙලා තිබෙන්නේ.

මේ වන විට අපි මාධ්‍ය හරහා සහ රටේ ප්‍රධාන ධාරාවේ වාද විවාද තුළ දකිනවා අනෙකාගේ වෙනස්කම් දරාගැනීමට සූදානම් නැති, අනන්‍යතා මත උස් පහත් කොට සලකන, ආගමික ජාතිකත්ව භේද මූලික කරගත් ව්‍යාපාර සහ ඒවායේ ක්‍රියාකාරීත්වයක්. බිම් මට්ටමේ ජනතාව තුළ ඊට අදාළ ප්‍රතිචාර මොන වගේද?

ඇත්තටම මං පුදුම වුණ දෙයක් මේක. ජනතාවට මේ අය මෙවැනි කාරණා කොටලා පොවන්න හැදුවත් බිම්මට්ටමේ ජනතාව අතර ඒ ගැන අවධානයක් නෑ. ඔවුන්ට ඊට වඩා ප්‍රශ්න තියනවා. කාලයක් තිස්සේ එකම මතුරා ඇති නිසා මිනිස්සු මේ කාරණාවල දී ටිකක් එහා මෙහා වුණත් ඔවුන් සමඟ සමීපව සංවාදයක නිරත වුණාම පේනවා ඒ අයට ඔය කිසිම භේදයක් නෑ කියන එක. එය සතුටුදායී තත්ත්වයක්. ඇත්තටම අපි වෙත ආ අයගෙන් ගොඩක් වෙලාවට ජාතිකත්ව ආගමික වෙනස්කම් දරාගන්න බැරිව යෝජනා ඉදිරිපත් කළ බොහෝ දෙනෙක් සාමාන්‍ය ජනතාව නෙවෙයි. උගත් කියන්න පුළුවන් වෘත්තිකයන් තමයි එවැනි යෝජනා ඉදිරිපත් කළේ. ඔවුන් උත්සාහ කරන්නෙ තමන්ගේ අනන්‍යතාව එකිනෙක වැඩි කර ගනිමින් විශේෂ වරප්‍රසාද ලබා ගැනීමට. උදාහරණයකින් කිව්වොත් සිංහල වෙනවා. ඊට පස්සෙ සිංහල බෞද්ධ කියලා එය තවත් විශේෂ කරගන්නවා. ඊට පස්සෙ සිංහල බෞද්ධ ගොවිගම, සිංහල බෞද්ධ කරාව ඔන්න ඔය වගේ තමයි එයාලගේ අපේක්ෂා. ඔවුන් අතරින් සමහරු ඉදිරිපත් කළ කතා ශිෂ්ට සමාජයකට වටින්නෙ නෑ වගේම අපුල දනවන සුලුයි.

ඔය අතර තවත් පිරිස් හිටියා තමන් පෘතුගීසි අනන්‍යතාව නිසා අසාධාරණයකට ලක් වන බව කියන. තවත් ජාතිකත්ව අතර ඇති බෙදීම් නිසා තමන්ගේ ජාතිකත්වයෙන් වගේම පොදුවේ අසාධාරණයට ලක් වූ බව කියන. ඒ වගේම ප්‍රාදේශීයව විවිධ අසාධාරණයන්ට ලක් වූ අය. කුලය නිසා ආදී ලෙස විවිධ කොටස් පවා අපට ඇවිත් ඔවුන්ගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළා.

ඇත්තටම පොදු ජනතාවට අවශ්‍ය කවුරු කවුරුත් සමඟ සහයෝගයෙන් ජීවත් වීම සහ තමන්ට අසාධාරණයක් සිදු නොවන වටපිටාවක් නිර්මාණය කර ගැනීමයි.

විවිධ ලිංගික අනන්‍යතා ඇති අයගේ අයිතිවාසිකම් සම්බන්ධව අපේ රටේ සමහර අය එළිපිට කතා කිරීම පවා වරදක් ලෙස දකිනවා. මෙවැනි කාරණා සම්බන්ධව ජනතා ප්‍රතිචාර මොන වගේ තලයකද තිබුණේ?

ඔය දේශපාලන නායකයන් බව කියාගන්නා අයට තමයි මේ දේවල් දරාගන්න බැරි. ඒ මිස අනෙක් ජනතාවට මේවා ලොකු ප්‍රශ්න නෙවෙයි. මේ අයගේ අයිතිවාසිකම් රැකදීම සහ ඔවුන්ද මනුෂ්‍යයන් බව ජනතාවට තේරුම් ගැන්වීම කොහෙත්ම දුෂ්කර කටයුත්තක් නෙවෙයි.

ඔය මොන කතා කිව්වත් කොච්චර දියුණු යෝජනා ගෙන ආවත් කවුරුහරි ටිකක් කෑ ගහපු ගමන් ඒ යෝජනා හකුළා ගන්නවා? අඩුම ගානේ ජනතාව තුළ ඊට අදාළ සංවාදයක්වත් මතු වෙන්න දෙන්නේ නෑ?

ඔව්. මං එතැන දී වගකීම පවරන්නෙ මේ පාලනය හොබවන උදවියට. ඉතා හොඳ දියුණු යෝජනා ඒ විදිහට හකුලා ගතයුතු නැහැ. නමුත් අදටත් එය සිදුවෙමින් පවතිනවා. දැන් බලන්න අනාගමික රාජ්‍යයක්‌ ගැන යෝජනාව. එහි තියෙන්නෙ මොනවද? ජනතාව ඒ ගැන දක්වන්නෙ මොනවගේ අදහසක්ද ? එවැන්නක් අපේ වගේ රටකට ගැළපෙනවද? මේ කිසිම දෙයක් සාකච්ඡා කරන්නෙ නැතුව යෝජනාව හකුලා ගත්තා. ඒක අනුමත කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.

අපි උතුරු නැගෙනහිර දෙසට යොමු වෙමු. දකුණට සාපේක්ෂව උතුරේ ජනතාවගෙන් නැගුණු විශේෂ යෝජනා තිබුණද? අලු‍ත් ව්‍යවස්ථාවක් හමුවේ ඔවුන්ගේ මූලික අපේක්ෂා මොනවද?

ඇත්තටම දකුණට සාපේක්ෂව බලය බෙදා හැරීම සහ යුද්ධය ආශ්‍රිත ගැටලු තමයි එහි දී විශේෂයෙන් මතු වුණේ. දකුණ තුළත් බලය බෙදා හැරීම වගේ කාරණා කතා වුණා. නමුත් සමාජ ආර්ථික ප්‍රශ්න උතුරුනැගෙනහිර වගේම දකුණේත් එකවගෙයි. කිසිම වෙනසක් නෑ. ඔබ දන්නවද ඉඩම් අහිමිවීම, කුළ ප්‍රශ්න, මිනිසුන් දරාගත නොහැකි ආකාරයට ණයකරුවන් වී තිබීම වගේ උතුර කේන්ද්‍ර කරගත් ප්‍රශ්න රැසක් තියනවා. බලය බෙදා හැරීම වගේ දේවල් කතා කරන අතර තුර ඔවුන් ඒ ගැනත් විශේෂයෙන් කතා කළා.

තමන්ගේ සමීපතමයන් අතුරුදන් වීම. ඔබ දන්නව ද උතුරේ විතරක් නෙවෙයි, දකුණේත් තාම 89 අතුරුදන් වූවන් ගැන යෝජනා ගෙන එනවා. ඉතින් හිතන්න උතුරේ තත්ත්වය කොහොම තියෙන්න ඕනද? ඇත්තටම එය අමුතුවෙන් කතා කළ යුත්තක්වත් නෙවෙයි. නමුත් අපිට පේන්න තියෙන්නෙ මේ ප්‍රශ්න තමන්ගේ දේශපාලනය කරගෙන තිබෙන අය ඒවා විසඳන්න නොදී පවත්වාගෙන යාම. මොකද ප්‍රශ්න විසඳුවොත් ඒ අයට කරගන්න දෙයක් නැති වෙනවා. ඔබ දන්නව ද දකුණේ වගේම උතුරේත් ඉඩම් ප්‍රශ්නය ප්‍රධාන ප්‍රශ්නයක් වී තිබෙනවා. ඔය සියලු‍ කාරණා පදනම් කරගෙන තමයි අපි අපේ ලේඛනයේ සඳහන් කරන්නේ මූලික අයිතිවාසිකම් යටතේ සමාජ සංස්කෘතික සහ ආර්ථික අයිතිවාසිකම් ඇතුළත් විය යුතු බවට.

ඒ වගේම අපේ State Directive Policy නිසි ලෙස නිර්වචනය වෙලා නෑ. මිනිස්සු අතරින් ඒ සඳහාත් යෝජනා ඉදිරිපත් වුණා. අපි කියනවා නම් රට සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් කියලා ඒ ගැන නිර්වචනය වෙලා තියෙන්න ඕන. අපි ඒ ගැනත් ජනතා යෝජනා අපේ ලියවිල්ලට ඇතුළත් කළා.

- සංජය ලියනගේ

ඡායා - ගිතේන්ද්‍ර ලියනගේ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top