Apr 10, 2017

යශෝධට කැම්පස් කොල්ලො කරපුව මාධ්‍යට හෙළිකරලා

යශෝධා විමලධර්ම නම් අපේ කාලයේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියට ශාස්ත්‍ර ගෞරව ප්‍රණාම උපහාරයක් පුදන්නට පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලය පියවර ගෙන තිබිණි. ඒ සම්මානය දිනූ දවසේ ඇය කතා කළේ ජීවිතයේ අමිහිරිම අත්දැකීමක් වුණු “නවකවදය” ගැනය. මේ ඇය සමග කළ කතාබහකි.

Yasodha1ඔබ ලද ගෞරව ඇගයීමෙන් අපි කතාබහ අරඹමු?
මම ළපටි වයසේදීම රංගනයට ආවේ මීට අවුරුදු 31කට කලින්. මම පළමු උපාධිය ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්. රංගවේදිනියක් හැටියට මම කළ මෙහෙවර විශ්වවිද්‍යාලයට කීර්තියක් සේ සලකා ඔවුන් මට සම්මානයක් දුන්නා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් හැම වසරකම විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයින් තුන් දෙනෙක් තෝරලා ඒ අය එහෙම ඇගයීමක් කරනවා. මේ අවුරුද්දෙ මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා, රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන් සහ මාව ඒ විදියට අගය කෙරුණා.

ඒත් යශෝධාට විශ්වවිද්‍යාල ජීවිතය ගැන තියෙන්නේ අමිහිරිම මතකයක් කියන්නෙ ඇත්තද?
ඒක ඇත්ත. නවකවදය නිසා මට ලංකාවේ විශ්වවිද්‍යාල පද්්ධතිය ගැන තියෙන්නේ කලකිරීමක්.

කැමති නැද්ද ඒ අමිහිරි සිදුවීම් ආපහු මතක් කරන්න?
අකමැත්තක් නැහැ. දැන් මේ වෙනකොට මම ඒ කම්පනයෙන් මිදිලයි ඉන්නෙ.
මම විශ්වවිද්‍යාලයට තේරුණේ 1989 අවුරුද්දේදී නවකවදය ගැන අහලා තිබුණු නිසා කොහොමත් මම මුලදීම විශ්වවිද්‍යාලයට යන්න කැමැත්තෙන් හිටියේ නෑ. ඒ කාලයේ මගේ තාත්තා රවිලාල් විමලධර්ම කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳව උගන්වන කථිකාචාර්යවරයෙක්. මම විශ්වවිද්‍යාලයට යනවා දකින්න තාත්තා ආස කළා.

තාත්තාගේ ආසාව වෙනුවෙන් යශෝධා විශ්වවිද්‍යාලයට ගියා?
ඔව්. මුලදී මම කිව්වේ බාහිරව ලියාපදිංචිවෙලා ඉගෙන ගන්නම් කියලයි. ඒත් මම විශ්වවිද්‍යාලය ඇතුළට ඇවිත් නාට්‍යය, කලාව, සාහිත්‍ය වැඩසටහන්වලට සහභාගිවෙලා ජීවිතය විඳිනවා දකින්න තාත්තාට ඕනවුණා. ඒ නිසා මම තාත්තාගේ ඕනෑකමට විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයෙක් හැටියට ලියාපදිංචි වුණා.

ඒ වෙනකොටත් යශෝධා නිළියක් හැටියට ජනප්‍රියයි නේද?
ඕව්. මට නවකවදය දෙන්න ආපු අය මම රඟපෑව නිර්මාණ බලලා තිබුණා. රටේම මිනිස්සු මට ආදරය කළත්, අපේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ළමයින් තුළ මගේ ගැන තිබුණේ වෛරයක්. මම හුඟාක් ධනවත් කෙනෙක් කියලා එයාලා හිතුවා. මම වගේ කෙනෙක් ඇයි තව කෙනෙකුට නොමි‍ලේ ඉගෙනගන්න තියෙන අවස්ථාවක් ලබාගන්නෙ කියලයි ඒ අය ඇහුවේ. ඒක මහ මෝඩ තර්කයක්.

යශෝධාට හිංසා කරද්දී බේරගන්න තාත්තා ආවේ නැද්ද?
නැහැ. තාත්තා හරිම කරුණාවන්ත කෙනෙක්. කොහොමත් ළමයි එහෙම ප්‍රචණ්ඩ විදියට හැසිරෙනකොට ගුරුවරුන්ට මෙල්ල වෙන්නේ නැහැ. ඒ අය මට අසභ්‍ය වචන කියලා බැන්නා. හිංසා කළා. කරපු කියපු සමහර දේවල් මාධ්‍යයක පළකරන්න බැහැ. හරි අශෝභනයි. තාත්තාගේ කීම අහලා විශ්වවිද්‍යාලයට ගියපු මම එහෙම දුක් විඳින හැටි තාත්තාට බලාගෙන ඉන්න බැරිවුණා.

එතුමා රෝගී වුණා?Yasodha3
ඔව්. තාත්තා ඒ කලකිරීම නිසාම ස්නායු රෝගයකට ගොදුරුවුණා. මතකය නැතුව ගියා. ඒ නිසා ඉක්මනින්ම විශ්‍රාම ගන්න තාත්තාට සිද්ධ වුණා.

මට නවකවදය දෙන එකත් මුල් මාස කීපයෙන් ඉවරවුණේ නෑ. මම දේශනවලට ගියපු හැම දවසකම ඒ අය මාව අල්ලගෙන නවකවදය දුන්නා.

මේ අතරෙදි තාත්තාගේ කල්පනාව සම්පූර්ණයෙන්ම නැතිව ගිහිල්ලා අපිවවත් අඳුනගන්න බැරුව අසාධ්‍ය වුණා.

ඉගෙනීම නතර කරන්න හිතුණේ නැද්ද?
නැහැ. මම උපාධිය සම්පූර්ණ කළේ තාත්තා සිහි විකල්වෙලා ඉඳිද්දියි. මට හින්දි භාෂාව ඉගෙන ගන්න කෙනෙක් නැතුව ගියා. ඉන්දියාවේ ඉන්න තාත්තගේ යාළුවෙක් වෙන මහාචාර්යවරයකුගේ උදව් අරගෙන මම ඉගෙනීම් වැඩ හොඳට කළා. ඊළඟට ශාස්ත්‍රපති උපාධියට ඉගෙන ගන්න ඉන්දියාවටම ගියා. ඒ රටේ නම් මේ වගේ අමානුෂික අය හිටියේ නැහැ.

ගිය සතියේ සම්මානය අතට ගන්නකොට මේ සිදුවීම් ඔක්කොම එක පෙළට මතක් වෙන්න ඇති නේද?
කොහොමත් විශ්වවිද්‍යාලය කියපු ගමන් මට මතක් වෙන්නේ දක්ෂ කථිකාචාර්යවරයෙක් වුණු මගේ තාත්තා. ඒ වගේම අර තිත්ත මතකය. තාත්තාටත් නවකවදයෙන් බැටකාපු හැමෝටමත් උපහාරයක් වෙන්න මම සම්මානය භාරගත්තා.

‘නවක වදය’ කියන්නේ තවම නතර කර ගන්න බැරිවුණ ප්‍රශ්නයක්?
ඔව්. හැමදාම ඔය ප්‍රශ්නය අලුත් වෙනවා. මම නම් කියන්නේ නවකවදයට සම්බන්ධ වෙන ළමයින්ට තදින්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන.

උපාධිධාරිනියක් වුණාට ඒ දැනුමෙන් නිසි ප්‍රයෝජනයක් ගත්තෙ නෑ කියලා හිතිලා තියෙනවද?
කවදාවත් නෑ. මාව හොඳ රංගන ශිල්පිනියක් කළේ මම ලබපු අධ්‍යාපනය, මට රට, ලෝකය, සමාජය ගැන ජීවිතාවබෝධය ලබාදුන්නේ මම ලබපු අධ්‍යාපනය.

නිළියක් හැටියට නිතර පේන්න නැත්තේ ඇයි?
අවරගනයේ නිර්මාණවල රඟපාන්න අකැමැති නිසා තෝරාගත් නිර්මාණවලට විතරයි මම දායක වෙන්නේ.

Yasodha2යශෝධා ඇතුළේ ශක්තිමත් ගැහැනියක් ඉන්නවා නේද?
ඔව්. ගැහැනියක් වුණත් ශක්තිමත්ව ජීවත්වෙන්න මට කියාදුන්න දෙමව්පියන්ට මම පිං දෙනවා.

ලස්සන පෙනුම නිසා සමාජයේ කරදර වැඩි නැද්ද?
මම ඉන්න කලා ක්ෂේත්‍රය හරි විෂම තැනක්. හරිම ‍ලේසියෙන් ඉක්මනින් ගැහැනුන්ව වරදේ බඳවාගන්න බලාඉන්න පිරිමි මට නිතරම හමුවෙනවා. ඒත් ගැහැනියකුට හිතේ හයිය තියෙන්න ඕන. අවබෝධයක් ඇතුව ඉන්න නිසා මම හොඳින් ඉන්නවා.

ඉදිරිය ගැන තියෙන බලා‍පොරොත්තු මොනවාද?
රංගනය මම මියැදෙනකල් මගේ වෘත්තිය හැටියට තියෙනවා. ලංකාවට ලොකු අඩුවක් වුණු රංගන පාසලක් ආරම්භ කිරීම ගැන අදහසක් මට තියෙනවා.

පුද්ගලික ජීවිතය තුළ බලා‍පොරොත්තු මොනවද?
මගේ අම්මා හුඟක් වයසයි. මම මගේම අත් දෙකෙන් සාත්තු කරලා අම්මාව රැකබලා ගන්නවා. ඒක මට ලොකු ආශිර්වාදයක් ඒ වගේම අම්මාට එහෙම සලකන්න ලැබිම මම කරපු පෙර පිනක්.

ඔය ලස්සන පෙනුමට කාගේ හෝ රැකවරණයක් ඕන නැද්ද?
කාගෙන්වත් රැකවරණය බලා‍පොරොත්තු වෙනවා කියන එකට මම කැමති නෑ. කවුරු හිටියත් තනියමයි මම සමාජයට බහින්න ඕන. මාව ආරක්ෂා කරන්න බොඩිගාඩ් කෙනෙක් ඕන නැහැ. මට හොඳ හික්මීමක් තියෙන නිසා හොඳ හැසිරීමක් ඇතුව ජීවත් වෙනවා.

විවාහය ගැන බලා‍පොරොත්තුවක් අතඇරලාද?
විවාහය කියන්නේ ජීවිතේ එක කොටසක් විතරයි. අදටත් මට ගැළපෙන සහකාරයෙක් මුණගැහිලා නෑ. කවදාහරි මම විවාහ වේවිද, නැද්ද කියන්න මමවත් දන්නේ නැහැ. ජීවිතය කියන්නේ කල් ඇතුව සැලසුම් කරන්න පුළුවන් දෙයක් නමෛයිනේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top