nsb

May 06, 2017

'මට ආණ්ඩුවේ ලොකු තැන්වලින් ආරාධනා ආවා' - ගීතා

දැන් මොකද වෙන්නේ මන්ත්‍රිතුමී?

මොනවා වෙන්නද, මම ඉතින් බලාගෙන ඉන්නවා මට නීතියෙන්වත් සාධාරණයක් ඉෂ්ට වෙනකන්. මොනා වුණත් මම හරිම ශක්තිමත් ගැහැනියක්. ඒක මට උපතින්ම ලැබුණු දෙයක්. කවුරු කොයි තරම් මාව පහතට ඇදලා දාන්න හැදුවත් කවදාවත් මම දේශපාලනය කරන එක නවත්තත්නේ නැහැ. මම හැමදාමත් ගත්තේ මගේ හිතට එකඟ තීන්දු තීරණ. ඒවා මුදල් මතම එල්බගත් තීරණ නෙවෙයි. ඒක මේ රටේ ජනතාවත් දන්නවා, ගීතා කුමාරසිංහ කියන්නේ කෙළින් කතා කරන, මුදලට ප්‍රතිපත්ති පාවා නොදෙන ගැහැනියක් කියන එක. මම මේ රටේ ජනතා හදවත්වල කොටලා ඉවරයි. ඒක ඔය කාටවත් නැති කරලා දාන්න බැහැ. ඒක කාටවත් මුදලකට ගන්නත් බැහැ.

දැන් කාටද ඕන වෙලා තියෙන්නේ මන්ත්‍රිතුමීව වට්ටන්න, කා ගැනද ව්‍යංගයෙන් කියන්නේ?

ව්‍යංගයෙන් කියන්න දෙයක් නැහැ, මම කෙළින් බය නැතිව කියනවා පියසේන ගමගේ කියන පරාජිත දේශපාලනඥයාට තමයි මාව වට්ටන්න ඕන වෙලා තියෙන්නේ. මේ සේරම පිටිපස්සේ ඉන්නේ එයා. මම ඒක පැහැදිලිව කියනවා. මගේ මන්ත්‍රි ධුරය ඉවත් වෙනකන් එයා ආසාවෙන් බලාගෙන ඉන්නේ එතැනට එන්න. එයා මට වඩා ඡන්ද විසි දහස් ගණන් අඩුවෙන් අරගත්තු කෙනා. ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනා. මම දන්නවා මේ හැමදේම.

හරියටම කොහොමද පියසේන ගමගේ හිටපු ඇමැතිවරයාටම ඇඟිල්ල දිගු කරන්නේ?

එයාට ඇරෙන්න වෙන කාටද ඕනෑ මාව වට්ටන්න. මට විරුද්ධව පෙත්සම ඉදිරිපත් කරපු හතර දෙනා එයාගේ මිනිස්සුනේ.

ඒක ඔප්පු කරන්න පුළුවන්ද?

ඔව්, එක පුද්ගලයෙක් ඔය කියන පැරුදුණු ඇමැතිගේ මස්සිනා. අනික් කෙනා ඒ ඇමැතිගේ කොන්ත්‍රාත් කර කර හිටපු කෙනා. එතකොට තුන්වැනි පුද්ගලයාට ගල් කොරියක් තියෙනවා. ඒකට මොකක්දෝ නීතිමය ප්‍රශ්නයක් තියෙනවා, පැරුදුණු ඇමැති මන්ත්‍රි වුණාම ඒ ප්‍රශ්නය geetha 670විසඳනවා කියලා එයාවත් මේ වැඩේට හවුල් කර ගත්තා, හතරවැනි පුද්ගලයාත් සමුපකාර සම්බන්ධ වැඩකරපු කෙනෙක්. ඉස්සර මේ දෙන්නා ජන්මාන්තර වෛරක්කාරයෝ, දැන් කිරිපැණි වෙලා ඉන්නේ

ඒ අය කියනවා මේ පාර මන්ත්‍රිකමින් ඉවත් වෙලා ඊළඟ පාර ඡන්දෙට ආවොත් ඔබතුමීට සහයෝගය දෙන්න සූදානම් කියලා?

අනේ මොන සුරංගනා කතාද? එයාලා මගේ කකුලෙන් අදින ගමන් මට කොහොමද සහයෝගය දෙන්නේ. එයාලා පියසේන ගමගේගෙ මිනිස්සුනේ.

මේ ප්‍රශ්න මුකුත් නැහැ නේද ආණ්ඩුවට හේත්තු වුණා නම්?

මට ආණ්ඩුවේ ලොකු තැන්වලින් ඕනෑ තරම් ආරාධනා ආවා. මට ඕනෑ නම් ආණ්ඩුවට හේත්තු වෙලා නියෝජ්‍ය ඇමැති පට්ටමකුත් අරගන්න තිබුණා. සමහරු කිව්වා මගේ නඩුවත් බලා ගන්නම් කියලා. මම කවදාවත් ඒ වගේ වැඩ කරන ගැහැනියක් නෙවෙයි, මට තියෙන්නේ මේ වෙලාවෙත් නීතියේ පිළිසරණ විතරයි.

කවුරුහරි මට "ඔයා ආණ්ඩුවට එකතු වෙන්න ගීතා" කියද්දි, මට ඇත්තටම හිනා යනවා. එහෙම කරනවාට වඩා ඇත්තටම මේ මන්ත්‍රිකම් තනතුරු දාලා යන එක හොඳයි.

සමහරු කියනවා, ගීතා කුමාරසිංහ ද්විත්ව පුරවැසිකම ඉවත් කරගත්තා කියලා කිසිම සාක්ෂියක් නැහැ කියලා?

2015 වසරේදී, මම ඡන්දයට ඉදිරිපත් වෙන්න නාම යෝජනා භාර දෙන්න කලින් තමයි මේක ඉක්මනට අහෝසි කරලා දෙන්න කියලා ඉල්ලුවේ. මට ඉක්මනට ඒක ලැබුණා. ඒක මට ඔප්පු කොට පෙන්වන්න පුළුවන්.

එහෙනම්, ඇයි මේ තරම් චෝදනා කරන්නේ?

ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නය. සමහර විට මම ගැහැනියක් නිසා වෙන්න ඇති. බෙන්තර ඇල්පිටිය කියන්නේ වැඩ කරන්න හරිම අමාරු ආසනයක්. මම අවුරුදු 16ක් ඒ ආසනේ ජනතාව වෙනුවෙන් වැඩ කළා. මොකද අවුරුදු 16ක් ගතවෙනකන් එහේ මන්ත්‍රි කෙනෙක් හිටියේ නැහැ. මම වැඩ කරපු නිසා තමයි වැඩිම ඡන්ද ප්‍රමාණයක් අරගෙන මට පාර්ලිමේන්තු යන්න පුළුවන් වුණේ?

එ.ජා.ප යේ ගයන්තටත් මට වඩා ඡන්ද ලැබුණේ අඩුවෙන්. ඡන්ද 13,000 කින් මම ඔහුවත් පරාද කළා. ඒක මම ළඟා කරගත්තු ලොකු ජයග්‍රහණයක්. දකුණු පළාතටම ඉන්න එකම දේශපාලන කාන්තා චරිතය මම විතරයි. ඒ නිසා වෙන්න ඇති මට මේ තරම් පිරිමි කුහකකම් කරන්නේ.

දැන් හිතෙන්නේ නැද්ද චිත්‍රපටයක රඟපාලා සල්ලි ටිකක් තියාගෙන, ස්විට්සර්ලන්තයේම පදිංචි වුණානම් හොඳයි කියලා?

අපෝ, කවදාවත්, මට හීනෙකින්වත් එහෙම හිතුණේ නැහැ. හිතෙන්නෙත් නැහැ. මොකද මම හොඳට සල්ලි අතගාලා තියෙන, දේපළ තියෙන ගැහැනියක්. මම විවාහ වුණේ ස්විට්සර්ලන්ත ජාතිකයෙක් සමඟ. ඔහුට සල්ලි ඕනතරම්, විවාහයෙන් මට ගොඩක් මිල මුදල්, දේපළ ලැබුණා. ගෙවල් තිබුණා. ඇඟලුම්හල්, ෆෙරාරි, අරවද මේවද, ප්‍රසිද්ධියද, මොනවද මට නොතිබුණේ.

ලංකාවේ දේශපාලනඥයන්ට ජීවිත කාලයට හොරකම් කළත් ඒ සැප සම්පත් ලබාගන්න බැහැ. මම භෞතික සම්පත් පස්සේ දිවේවේ නැහැ. මම ඒ දේවල් කැප කළෙත් මේ දේශපාලනයට, මම කීදෙනෙක්ට රැකියා අවස්ථා දුන්නද, පවුල් ගාණක් මම ජීවත් කෙරුවා. අනෙක මට ස්විට්සර්ලන්තයේ ජීවත් වෙන්න ආසාවකුත් නැහැ. ගියත් ඕන නම් මම මාසයක් ඉඳලා ඇති. පුරවැසිකම තිබුණා කියලා කවදාවත් මම එහේ ජීවත් වෙලා නැහැ.

හැමදේම නැති කරගෙන දේශපාලනය කරලා මොනවද ලැබුණේ?

ආත්ම තෘප්තිය හැම දේටම වඩා ලොකුයි. මම මගේ විවාහ ජීවිතයෙත් ප්‍රශ්න ඇති කරගත්තා දේශපාලනය නිසා. මම ස්විට්සර්ලන්තයේ පුරවැසිකම ඉවත්කරගෙන දේශපාලනය කරනවට මගේ සැමියා පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ. මම ගත්තු ඒ අකීකරු තීරණේට කවදාවත් ඔහුගෙන් මට සමාවක් ලැබුණේ නැහැ. මගේ දුවත් කැමැති වුණේ නැහැ මම ගත්තු තීරණයට.

මම සිනමාවට ආවෙත් කාගෙවත් උපකාර නැතිව මගේ හැකියාවෙන්, මම ගමේ ඉපදුණු, ගමේ හැදුණු, ගමේ ඉගෙනගත්තු කෙනෙක්, දේශපාලනයට ආවෙත් එහෙමයි. මගේ අම්මා සහ මගේ මල්ලී විතරයි මට දේශපාලනයට එන්න උදවු කළේ. අනෙක් සේරගෙම විරෝධය මැද තමයි මම මේ ගමන ආවේ. ඇවිත් හිතට එකඟව, අවංකව පිරිසුදුව දේශපාලනය කළා. ඒ නිසා වෙන්න ඇති මට මෙහෙම වුණේ.

කලකිරීමෙන්ද ඉන්නේ?

geeethaඔව්, ලොකු කලකිරීමක් තියෙනවා. මට කරන දේ ගැන. මේක කාන්තා දේශපාලන නියෝජන සියල්ලටම ගහපු අතුල් පහරක්.

දැන් මන්ත්‍රිතුමී විතරද මේ වගේ ද්විත්ව පුරවැසිකම් තියෙන එකම දේශපාලන චරිතය?

මොන පිස්සුද, තව බොහෝ දෙනෙක්ට තියෙනවා. සමහර අය ආණ්ඩුවේ ඇමැතිකමුත් කරනවා. දෙමළ සන්ධානයේ දෙන්නෙක් ඉන්නවා. මම දන්න එක ඇමැති කෙනෙක් ඉන්නවා, ස්විට්සර්ලන්තයේ පුරවැසිකම අරගෙන ඉන්න, නමුත් මෙහේ ඔහුට පුරවැසිකම නැහැ. නීති ප්‍රකාරව එහේ පුරවැසිකම ගත්තම මෙහේ අහෝසි වෙනවා. ඒ තත්ත්වය මීට වඩා දරුණුයි නේද? හැබැයි කොයි තරම් හංගන් හිටියත් ඒවා එළියට එනවා. මම එහේ ගිහින් හරි මේක හොයලා එළියට දානවා, හොර වැඩ කර කර මෙහේ සිංහ නාද දෙනවා. මටත් ඕන නම් තිබුණා එහෙම හොර වැඩක් කරලා ඉන්න නමුත් මම එහෙම කළේ නැහැ.

මන්ත්‍රිතුමීගේ මන්ත්‍රි ධුරය අහෝසියි කියලා එහේ අය රතිඤ්ඤා පත්තු කරනවා කියන්නේ ඇත්තද?

ඒක මොන තරම් ලැජ්ජා නැති නින්දා සහගත වැඩක්ද? මේක වුණේ තුන්වැනිදානේ, එතකොට දෙවැනිදා හවස් වෙනකොට අර පැරැදුණු ඇමැති මුළු ගමේම ගෙවල්වලට රතිඤ්ඤා බෙදලා පත්තු කරන්න කියලා. මම ඉවත් වෙලා, එයා එදා දිවුරුම් දෙනවා කිලා තමයි එහෙම කරලා තියෙන්නේ. මේ ගම් වල ඉන්නේ අහිංසක මිනිස්සු, ඒ මිනිස්සු මගෙන් අහනවා එහෙම කොහොමද දිවුරුම් දෙන්නේ කියලා. ඒ මිනිස්සු බැනලා එළවගෙන. මේවා හරිම පහත් වැඩ.

පැරැදුණු කෙනෙක්ට කොහෙන්ද ඒ තරම් බලයක්?

එයා ඉතින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කරේ එල්ලුණානේ. එයා කොහොමද මෙතැනට ආවේ කියලා මම දන්නවා. එයා තේ දලු එකතු කරපු මනුස්සයෙක්. හරිම අමාරුවෙන් ජීවත් වුණු කෙනෙක්. දේශපාලනයට ආවට පස්සේ එයාට හැමදේම ලැබුණා. ගෙවල්ද, යාන වාහනද, හෝටල්ද මොනාද දැන් නැත්තේ?

මොනව කළත් එයාගේ හදවත දන්නවා එයාව ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් කියලා. එයා මොන කුමන්ත්‍රණ කළත්, මාව ඉවත් කරන්න නින්දිත විදියට සැලසුම් හැදුවත් මම අහනවා එයාගෙන් ඔබට පුළුවන්ද කණ්ණාඩිය ඉදිරියට ගිහින් මම නිර්දෝෂී මිනිහෙක් කියලා කියන්න. ඒ වගේම මම අහනවා මාව කකුලෙන් ඇදලා දාලා ඔබට පුළුවන්ද අර පාර්ලිමේන්තු පඩිපෙළ දිගේ හිතට එකඟව උඩට නඟින්න කියලා. හෘද සාක්ෂිය තරම් ප්‍රබල දෙයක් තවත් නැහැ. ඇත්ත ජයගන්නවා, මම හිතනවා මට නීතියෙන් පිළිසරණක් ලැබේවි කියලා.

(මව්බිම -අරුණි මල්ලවආරච්චි)


සබැඳි පුවත් :
'ස්විස් පුරවැසිභාවය නැතිකර ගත්තේ කෝටි ගණනක දේපල එක්ක' - ගීතා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top