15976 BM WEB BANNER 01
May 16, 2017

''ජනතාව අතර සිටි නිසා පුතාව ඉලක්කයක් වුණා'' - දුමින්දගේ පියා කියයි

කොළඹ දිස්ත්‍රික්කය එක එක විදිහේ පෙරළිකාරයන් දේශපාලනයට එකතු කළ කරළිය වේ. මේ කරළියේ පසුගිය කාලයේ ආන්දෝලනාත්මක භූමිකාවක් රැඟූ ආර්.දුමින්ද සිල්වා, කොළඹ පෙරළියකට මැදිව, එයින්ම චෝදනා ලබා, අද මරණීය දණ්ඩනයට නියම වී, බන්ධනාගාරයේ වෙසෙයි.

Duminda 1ඔහු පෙළන රෝගාබාධ ගැන විවිධ පුවත් අපට විටින් විට අසන්නට ලැබෙතත්, මරණීය දණ්ඩනයට නියම වූ තරුණ දේශපාලකයකුගේ මනෝභාවය ඒ පුවත්වලින් තේරුම්ගත නොහැකිය.

ලාල් ද  සිල්වා යනු, දුමින්ද සිල්වාගේ පියාය. කොයි අම්මාටත් තම පුතා මැණිකක් සේම, කොයි තාත්තාටත් තම පුතා මිල කළ නොහැකි තරම් වටී. එහෙයින් දුමින්ද සිල්වා ගැන අහන්නට සුදුසුම පුද්ගලයා ලාල් ද සිල්වා යැයි අපි සිතුවෙමු. මේ සාකච්ඡාව ඔහු අපට දුන්නේ අපගේ පෙරැත්තය නිසාය.

 පුතු පිළිබඳ මතක අවදි කර හිත රිදවගන්නටත්, අධිකරණය දුන් තීන්දුවක් හා බැඳුණු තත්වයන් ගැන වැඩියමක් කතාකරන්නටත් ඔහු මැලි විය. එහෙත් අපි කතා කළෙමු. එහිදී, ඔහු `සාධාරණයක්` බලාපොරොත්තු වූයේය.

ඔබතුමාගෙ පවුලේ පසුබිම මොන වගේද?

අපි හිටපු ගමන් මුදල් අතපත ගාන්න ගත්තු අය කියන ආන්දෝලනාත්මක කතා ඇති වෙලා තියෙනවා. පියාගේ සහ මවගේ පාර්ශ්වයෙන් ඔවුන්ට උරුම වූ දේපළක් මටත් උරුම වුණා. එපමණක් නොවෙයි මම වෘත්තියෙන් වරලත් ගණකාධි වරයෙක්. දැනට මං රටේ පිළිගත් ආයතන 4ක කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනවා. තවත් ආයතන 5ක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනවා.

මගේ තරුණ කාලයේ දී  ශ්‍රී  ලංකා රග්බි සංගමයේ භාණ්ඩාගාරික ලෙස වසර ගණනාවක් විශිෂ්ට සේවයක් කළා. හැව්ලොක් ක්‍රීඩා සමාජයේ මීට පෙර වසර දෙකක් ද පසුගිය වසර තුන තුළ එහි සභාපතිවරයා ලෙස තේරී පත්වුණා. අද ද කටයුතු කරනවා. මෙම වකවානුවේ කිසිම කාලයක නොතිබුණු පරිදි එම ආයතන ඉහළ තත්ත්වයට දැමීමට හැකි වුණා. ආයතනයට සාපේක්ෂව සෑහෙන මුදලක් ස්ථාවර ගිණුම්වල තැන්පත් කරන්නටත් මට හැකි වුණා.Duminda 3

මීට පෙර මා හෙබවූ පාඩු ලබන ආයතන ප්‍රවර්ධනයට ක්‍රියා කර ලාභාංශ කරා යොමු කරවන්නට හැකි වුණා. දිගු කලක සිට ආදායම් බදු සෑහෙන ප්‍රමාණයක් නීත්‍යනුකූලව ගෙවන අයට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් 2008 වර්ෂයේ දී, රජයේ ආයතනයක සේවයෙන් ප්‍රමුඛත්වය ලබාගත හැකි කාඞ්පතක් ලබා දුන්නා. ඒකෙන් රන් කාඞ්පතක් මටත් තියෙනවා. ඒක බැංකුවලට පිළිගත හැකි හොඳ වාර්තාවක් සහ  ඕනෑම කෙනෙකුට සල්ලිකාරයකු ලෙස පිළිගත හැකි මඟක්.

ඔබතුමා කොහොමද ව්‍යාපාර කටයුතු පටන් ගත්තේ?

මං ගොඩක් ආයතනවල වැඩ කළා. මගේ පවුලේ ව්‍යාපාර කටයුතුවල තමයි මං ගොඩක් කටයුතු කළේ. මගේ පුතාලගෙ ව්‍යාපාර කටයුතුවලට මගේ දැනුම ලබා දීමක් කළා.

ඔබේ දරුවන් පස් දෙනා අතර රටේ නම ගිය පුත්තු දෙන්නයි. මේ පුත්තු ගැන මොකද හිතෙන්නෙ?

සතුටුයි. එකම කනගාටුව දුමින්ද සිල්වාට අත්වුණු ඉරණම ගැන. බොහෝ දුරට ඒ තීන්දුව ගැන සෑහීමකට පත්වෙන්න බෑ. නීතිය ගැන දන්න සියල්ලන්ම ඒ ගැන පවසනවා. ඒ සඳහා මං ඇපීල් කරලා තියෙන්නෙ. ඔහුට විරුද්ධව චෝදනා බොහොමයක් තියෙනවා.

2004 දී පළාත් සභා මැතිවරණයේ දී ඔහුට එජාපයෙන් තරග කරලා වැඩිම මනාප ලැබුණා. එදා ඉඳලා ඔහුට චෝදනා එල්ල කරමින්,  ඔහුගෙ මේ දේශපාලන ගමන් මඟට අවහිර කරන්න ගත්තා. ඔහුට නඩු දෙක තුනක් තිබ්බා. ඒවා ගැන කතා කළොත්, ඒ සියල්ලම බොරු චෝදනා මත හදපුවා. ඒ  සියලූ නඩුවලින් නිදොස් කොට නිදහස් කර තියෙනවා.

ඔබතුමාට හිතෙන්නෙ නැද්ද දුමින්ද දේශපාලනයට ආව හින්දයි මෙහෙම වුණේ කියලා?

Duminda 5දේශපාලනයට ආව හින්දා විතරක් නෙවෙයි, දේශපාලනයට ඇවිත් මෑත ඉතිහාසයේ කවුරුත්ම නොකරපු විදියට තමන්ගේ පවුලේ ධනය පාවිච්චි කරලා දුප්පත් මිනිසුන්ට උදව් කරපු නිසා. අපේ පවුලේ අය හැමදාමත්ම මිනිසුන්ට උදව් කරපු අය. ඒ ආසාව මටත් තිබුණා. මමත් කළා.

ඒත් දේශපාලනය නොකළ නිසා අපි කරපු උදව් කොතනකවත් කියවුණේ නැහැ. දේශපාලනය නිසා දුමින්ද කරපු දේවල් පත්තරවල, ටී.වී.වල බොහොම ඉස්මතු වෙලා පෙනුණා. ඒ නිසාම ඔහු වටා දුගී දුප්පත් අය බොහොමයක් එකතු වුණා. දවසින් දවස ඔහු ගැන කතා බහ වැඩි වුණා. මේ මනාප ක්‍රමය නිසාම ඔහු ගැන වෛරයක්, ක්‍රෝධයක් ඇති වෙන්න ඇති. ඔහුගේ ප්‍රගතිය කඩාකප්පල් කරන්න බොහෝ දේ කළා. ඒකට එක එක බොරු චෝදනා  කර කර සල්ලි කොහෙන්ද කියන ප්‍රශ්නය නඟලා අභූත චෝදනා කළා. සල්ලි කොහෙන්වත් නෙවෙයි. සල්ලි අපේ.

ඔහු වටා එකතු වුණු පිරිස් පාතාලයේ අය කියලා චෝදනාවක් තියෙනවා. ඔබතුමාට හිතෙන්නේ නැද්ද දුමින්ද වටේ හිටපු මේ පිරිස මේ සිදුවීමට බලපෑවා කියලා?

අපි මෙහෙම හිතමු. මොනම කෙනෙක්වත් මැතිවරණ වේදිකාවට නැගලා කියනවද, කුඩුකාරයො මට ඡන්දෙ දෙන්න එපා කියලා. බොන අය මට ඡන්දෙ දෙන්න එපා කියලා. ජාවාරම්කරුවො ඡන්දෙ දෙන්න එපා කියලා. හැමෝම බලන්නෙ එක ඡන්දයක් හරි එකතු කර ගන්න. දුමින්දට විතරක් ඔය චෝදනාව යන්නෙ, ඔහුව දුර්වල කරන්න තියෙන එකම මඟ ඒක නිසා.

ඔහු වටා ඇත්තටම එකතු වුණේ දුප්පත් අය. ඔය කියන කල්ලිය සමහරක් විට ඔය අය අතරෙන් ආව අය. මෙතන වැඬේ දුප්පත් මිනිහට හැමෝම කතා කරන්නෙ පාතාලයා කියලනෙ. දාහක් ගත්තොත් දෙන්නෙක් එහෙම අය ඇති. ඒක  ඕනම තැනක ඉන්න පුළුවන්.

දුමින්දට මරණීය දණ්ඩනය නියම වුණු වෙලාවෙ තාත්තා කෙනෙක් විදියට මොන වගේ හැඟීමක්ද ඇති වුණේ?Duminda 13

ඒ හැඟීම කියන්න අමාරුයි. බොහොම සිත් කම්පා වෙන සිදුවීමක්. ඒත් තීන්දුව දීගෙන යනකොට නීතිය ගැන තිබුණු දැනුමට අනුව මට හිතුණා මෙයාට මරණ `ද`ඩුවම දෙන්න තමයි හදන්නෙ කියලා. ඒක අපට මිනිත්තු පහකට හයකට කලින් දැනෙන්න ගත්තා.

අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා නේද, ඒකෙ තත්ත්වය කොහොමද?

සුප්‍රිම් උසාවියට ඇපීල් කරලා තියෙනවා. ඔවුන් අන්ත දෙකක ඉඳලයි මේ තීරණය ලබා දුන්නෙ. පැරණි සමාජය නියෝජනය කරන අයෙක් විදියට මං අධිකරණය ගැන දැඩි සේ විශ්වාස කරනවා. සත්‍යය හරි හැටි විමර්ශනය කර අධිකරණයෙන් සහනයක් ලැබේවි යැයි මට දැඩි විශ්වාසයක් තියෙනවා.

දෙන ලද අධිකරණ තීන්දුව සම්බන්ධව අපගේ නීතිඥයන්ගේ මත වගේම මේ නඩු තීන්දුව පෙන්වූ අනෙක් විද්වතුන්ගේ මත අනුව තර්කානුකූලව ද නීත්‍යනුකූලව ද, මූලධර්ම වශයෙන් ද සිද්ධාන්තමය වශයෙන් ද විශේෂාත්මකව ද පවතින දෝෂ ද නීතිය අර්ථකථනය කිරීමේ දී මූලික න්‍යායන් අනුගමනය කර නොමැති අවස්ථාවක සියල්ල ඉස්මතු කරමින් සුප්‍රිම් උසාවියට අභියාචනයක් ඉදිරිපත් කළා.

මේ ගැන දීර්ඝව විග්‍රහ කළ හැකි වුව ද මෙම කරුණු අධිකරණයේ දී සාකච්ඡුා කර ඇති බැවින් ගරු අධිකරණයට දක්වන ගරු කිරීමක් ලෙස මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වීමෙන් වැළකී සිටිනවා. දුමින්දගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා මෙම ඇපෑල් නීතිමය ක්‍රියාමාර්ගය කඩිනම් කරන ලෙස සුප්‍රිම් උසාවියෙන් ඉල්ලීමක් කළා. එය පිළිගත් ගරු අධිකරණය ඉක්මන් කර මේ නඩුවට අදාළ ලිපි ලේඛන එවන ලෙස මහාධිකරණ රෙජිස්ටාර්ට 2016 නොවැම්බර් 04 වන දින නියෝග කළා. මම විශ්වාස කරනවා මෙම ඇපෑලෙන් ඉක්මන් සාධාරණයක් ලැබිය හැකි වෙයි කියලා.

දුමින්දගෙ වර්තමාන තත්ත්වය කොහොමද?

Duminda 10දවස් 20ක් පමණ සිරගෙදර අනිත් සිරකරුවන් සමඟ සිටියා. නමුත් වෛරස් උණක් උත්සන්න වී බන්ධනාගාර රෝහල්ගත කළා. පසුව විටින් විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නට ගත්තා. සිංගප්පූරුවේ දී ශල්‍යකර්මය කළ විශේෂඥ වෛද්‍යවරයා 2013 දී දුමින්දට ලංකාවට රැගෙන එද්දි දීපු වාර්තාවෙන් කියවෙන්නෙ බැක්ටීරියා ආසාදන සිදු විය හැකි පරිසරයක් ඔහුට නුසුදුසු බවයි.

වෛද්‍ය මතයට අනුව ඔහුගෙ ජීවිතය බේරුණේ ප්‍රාතිහාර්යයකින්. එහි දී කළ ශල්‍යකර්මයේ දි වර්ග සෙන්ටිමීටර 30 x 30 පමණ වූ කොටසක කෘතිම හිස් කබලක් බද්ධ කරලයි තියෙන්නෙ. පසුව රෝග ලක්ෂණ උත්සන්න වූ විට දි සුළු ශල්‍යකර්ම කිහිපයක්ම කළා. ඔහුගේ මොළයට සිදු වූ මෙම තුවාලය ගැන ගරු මහෙස්ත්‍රාත් ජී. ඒ. ආර්. ආටිගල මහත්මියගේ ඉල්ලීමකට අනුව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් අධිකරණය වෙත වෛද්‍යවරු 9 කගෙන් සමන්විත වෛද්‍ය සභාවක වාර්තාවක් ලබා දුන්නා. එතනදිත් අවදානම පෙන්වා දුන්නා.

බොරු වාර්තා ඉදිරිපත් කර ඇතැයි පැවසූ අයට දැන්වත් සත්‍ය තත්ත්වය තේරුම්ගත හැකි මානසිකත්වයක් ඇති වන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.

මාධ්‍ය වාර්තාවල පළ වුණු උපන්දින පාටියක් ගත්තු එක සම්බන්ධ කතාව සත්‍යයක්ද?

ඒ ඔක්කොම බොරු. එයාගෙ උපන්දිනයට අපි හැමෝම ගියා. අපේ ආගමේ හැටියට කතා කරලා ඉඹලා ආවා. ඒත් එදත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක හිටියේ නෑ. අපේ මුළු පවුලම ගියත් කේක් එකක්වත් අරගෙන යන්න අවසර නෑනෙ. ඒ ගිහින් බලලා ආව එකට වෙන්න ඇති උපන්දින සාදයක් පැවැත්වූවයි කියන්නෙ.

මේ සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා ගැන මොකද කියන්නෙ?

මාධ්‍ය සම්ප්‍රදායන් සහ සමහර දුර්ජන කොටස් තාක්ෂණ අවභාවිතා කරන බව පේනවා. සමාජ ජාලා වෙබ් අඩවි ක්‍රියා කරන ආකාරය හරිම හානිකරයි. ඒ අය ජනමතය කෘති‍මව නිමවලා තමන්ගෙ වාසියට ක්‍රියා කරනවා. ඒ වගේ භාවිතා වඩ වඩා ප්‍රචලිත වුණොත් සිවිල් සාමාජය කඩා වැටෙන්න පවා ඉඩ තියෙනවා.

දුමින්දට නිදහස ලැබේවි කියලා ඔබ හිතනවද?

මං තරයේ විශ්වාස කරනවා, මං කියපු හේතු නිසා ඔහුට සුප්‍රිම් උසාවියෙන් සාධාරණයක් ඉටු වෙයි කියලා. මෙම නඩුවේ බොහෝ සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවලට අනුව දුමින්දට වෙඩි වදින්නෙ පළමු වෙන්ම. ඔහුගේ නළලට වෙඩි වැදී ලේ ගලමින් උඩු අතට වැටී සිටිද්දී ඔහු දෙස බලා වෙඩි තියපු අය ආපසු හැරී දුව ගොස් තියෙනවා. ඒ  සාක්ෂි අනුව මෙම ක්‍රියාවලිය දුමින්දව ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කිරීමක් සේ අර්ථකතනය කිරීමට නොහැකි මන්දැයි මට නොවැටහේ.

(සත්හඬ - ජයශාන්ත)

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top