May 22, 2017

GSP+ වාසිය ගන්න දිගුකාලීන සූක්ෂ්ම උපායික සැලසුමක් අවශ්‍යයි

මෙරටට GSP+ සහනය පිරිනමන්න යුරෝපා සංගමය මුලින්ම තීරණය කරනු ලැබුවේ 2005 වසරේදී. ඒ සුනාමි ආපදාවෙන් පසුවය. කෙසේවුවද 2010 වන විට එය නැවත අත්හිටුවන්න යුරෝපා සංගමය කටයුතු කර තිබිණි.

2015 වසරේ නව ආණ්ඩුවක් අතට මෙරට පාලනය පත්වුවත් GSP+ සහනය නැවත ලැබෙයිද නොලැබෙයිද යන්න ගැන බහුතරයකට දෙගිඩියාවක් තිබිණි. ඒ GSP+ සහනය ලැබීමට සපුරාලිය යුතු කොන්දේසි ලෙස වරින් වර විවිධ කාරණා මතු වූ නිසාය. ඒ දෙගිඩියාව අවසන් කරමින් පසුගිය 19 වැනිදා සිට මෙරටට අදාළව GSP+ සහනය නැවත බලාත්මක බව යුරෝපා සංගමය මේවන විට දැනුම්දී තිබේ.

නැවත GSP+ ලැබීම හා රටක් ලෙස එය පවත්වාගෙන යාමට කුමක් කළ යුතුද යන්න පිළිබඳව කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක සහ අධ්‍යයන මණ්ඩල සාමාජික - ආචාර්ය ට්‍රෙවර් මෙන්ඩිස් (AIB,PG Dip. in Busi. & Fin' Admin. FCMI(UK)"MBA(PIM - SJP)" Msc.Mgt' (Massey-Aukland)" Ph.D'(Kelanisya) මහතා සමඟ කළ සංවාදයකි මේ.

රට නැවත GSP+ සහනය ලබන මේ පසුබිමින් අපි සාකච්ඡාවට ප්‍රවේශ වෙමු ?

GSP සහනය නැත්නම් වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය නැවත මෙරටට ලැබෙන පසුබිම කියන්නෙ අපේ රට ආර්ථික වශයෙන් ලද විශාල ජයග්‍රහණයක් බව පැවසිය හැකියි. ඒ වගේම රට ජාත්‍යන්තරව ලැබූ ජයග්‍රහණයක්. අපි 2010 දී මේ සහනය අහිමි කරගන්නා විට නැවත GSP plusමෙය අපේ රටට ලැබෙයි කියා හිතන්නවත් පුළුවන් කමක් තිබුණෙ නෑ. නමුත් මේ වන විට මතුව තිබෙන තත්ත්වය කියාපාන්නේ ජාත්‍යන්තර ප්‍රජාව මේ වන විට අපේ රට ගැන යම් විශ්වාසයක් තබා තිබෙන බවයි. ඒ වගේම අනෙක් අතට වත්මන් ආණ්ඩුව සමත්ව තිබෙනවා GSP+ සහනය නැවත ලබා දීමට සුදුසු මට්ටමකට තමන් රට පත්කර ඇති බවට විශ්වාසයක් යුරෝපා සංගමය හමුවේ ගොඩනඟන්නට. ඒ තුළ තමයි මේ සිහිනයක්වත් දකින්නට නොතිබූ අවස්ථාව ශ්‍රී ලංකාවට යළි ලැබී ඇත්තෙ.

ඇත්තටම පසුගිය අවුරුදු එකහමාරක් වගේ කාලයක් තුළ විදේශ කටයුතු අමාත්‍යාංශය මුලික කරගෙන වත්මන් රජය ඒ වෙනුවෙන් කටයුතු කළ ආකාරය ප්‍රශංසනීයයි. කුමක් නිසාද යත් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ රටක් තමන්ගේ ප්‍රතිරූපය හානි කරගත් විට ඒ සම්බන්ධව ලෝකයම සෘණාත්මක දෘෂ්ටි කෝණයකින් බලනවා නිසැකයි. නැවත ධනාත්මක දෘෂ්ටි කෝණයකට රට යොමු කර ගැනීම අතිදුෂ්කර බව අපි කවුරුත් දන්නවා. මෙතැන දී විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළුව මේ සමස්ත ආණ්ඩුවම සමත්ව තිබෙනවා ඒ ධනාත්මක එළඹුමට එහා ගිහින් මෙරට ආර්ථිකය නැංවීම වෙනුවෙන් තීරණාත්මකව වැදගත් වෙන GSP+ සහනය නැවත ලබා ගැනීමට. එය ඇත්තටම ජයග්‍රහණයක්. ඒ නිසා මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට වෙහෙසුණ සියලු පාර්ශ්ව වෙත අපි ගෞරවය දක්වන්න ඕන වගේම රටක් ලෙස ආඩම්බරයට පත් වෙන්නත් ඕන.

ඒ බව තවදුරටත් තහවුරු වෙන්නෙ මේ GSP+ සහනය කියන්නෙ මොකක්ද කියන එක හරියට පැහැදිලි කරගත් විටයි. GSP කියන්නෙ සංවර්ධනය වන රටවලට අපනයන පුළුල් කිරීම මඟින් විදේශ විනිමය ඉපැයීම් වැඩි කර ගැනීමට සහාය වීම පිණිස කාර්මික රටවල් විසින් 1972 දී ගන්නා ලද සාමූහික ජාත්‍යන්තර ප්‍රයත්නයක කොටසක්. වඩාත් සරලව කියනවා නම් ඒ හරහා ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ආවේණික වූ ගත ස්වභාවයන් වන දිළිඳුකම අවම කිරීම, යහපාලනය වර්ධනය කිරීම සහ තිරසර සංවර්ධනය ළඟා කරගැනීමේ අරමුණු දිනා ගැනීම වෙනුවෙන් දිරිගැන්වීමක් වශයෙන් එම රටවල අපනයනයන් සඳහා තීරුබදු රහිත ක්‍රමයක් යටතේ යුරෝපා සංගමයේ සාමාජික රටවල වෙළෙඳපොළ විවෘත කිරීමේ ක්‍රමවේදයක්. ඉතින් දැන් අපිට අපේ අපනයන වැඩි කර ගැනීමට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා.

GSP සහනය ලැබීමට නම් සැපිරිය යුතු කොන්දේසි ගණනාවක් ගැන පසුගිය සමයේ අසන්නට දකින්නට ලැබුණා. දැන් මේ සහනය මෙරට ලබා තිබෙන්නෙ ඒ කොන්දේසි සැපිරීම හරහාද?

යම් රටකට අදාළව කිසියම් කොන්දේසි පැනවීමක් සිදු වෙන්නෙ මොන තත්වයන් යටතේද කියන එක පැහැදිලි කරගත්තොත් මේ ප්‍රශ්නයට ඉතා සරල පිළිතුරක් ලැබෙනවා. මේ රටට GSP සහනය අහිමි කරන්න යෙදුණ තත්ත්වය වෙනස් කරාට පසුව තවදුරටත් අලුත් කොන්දේසි අවශ්‍ය නෑ. අනික ඔය බොහොමයක් කොන්දේසි ගැන කියවුණේ සමාජ ජාල ආශ්‍රිතව මිසක් යුරෝපා සංගමයේ නිල ප්‍රකාශ තුළ නොවෙයි. ඒ වගේම තමයි GSP+ සහනය නැවත ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් විදෙස් අමාත්‍යාංශය දැඩි පරිශ්‍රමයක් ගත්තා. ඔවුන් යුරෝපා සංගමයේ රටවල තානාපතිවරුන් දැනුවත් කරමින් ඊට මැදිහත් වුණා. සමහර අවස්ථාවල දී බරපතළ තීන්දු තීරණ ගනිමින් වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය වෙනස ජාත්‍යන්තරය ඉදිරියේ පෙන්වා දුන්නා. ඒ තුළ ලැබූ සාර්ථකත්වය තමයි 2010 වසරේ GSP සහනය මෙරටින් අහිමි කිරීමට අදාළ තත්ත්වයන් තවදුරටත් රටේ නොමැති බවට ජාත්‍යන්තරය හමුවේ ඔප්පු කිරීම. ඒ තුළ ගොඩනැඟෙන විශ්වාසය මතයි GSP+ සහනය නැවත ලැබෙන්නෙ. පසුගිය අප්‍රේල් 27 වෙනිදා බ්‍රසල්ස්හි පැවැති යුරෝපා පාර්ලිමේන්තු සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීමට එරෙහිව ගෙනෙන ලද යෝජනාව වැඩි ඡන්ද 317කින් පරාජය වීම ඊට හොඳම නිදර්ශනය ලෙස සලකන්න පුළුවන්. ඒ නිසා අලුතින් සපුරන්න කියා කොන්දේසි නෑ. ඒ වගේම දැන් වැදගත් වෙන්නෙ GSP+ සහනය නැවත අහිමි වන ආකාරයේ කටයුතු සිදු නොවන තැනට වගබලා ගැනීමයි.

ඔබ GSP+ සහනය ලැබීම වැදගත් ජයග්‍රහණයක් ලෙස දැක්වුවත් ඇතැමුන්ට අනුව GSP+ සහනය කියන්නෙ රසවත් චොක්ලට් එකක් වගේ පෙනෙන සයනයිඞ් කරලක්. ඒ ගැන මොකද කියන්නෙ?

මං ඒ අදහසට එකඟ නෑ. ලංකාවේ අපනයන භාණ්ඩ වර්ග 7500කට පමණ තීරු බදු සහනය හිමි වීම නරකක්ද? මම නම් එහෙම හානිකර දෙයක් මෙහි දකින්නෙ නෑ.

කොහොම නමුත් GSP+ සහනය නිසා රටට අත්වන විශේෂ වාසියක් නෑ කියලත් විවේචන පළ වනවා. විශේෂයෙන්ම රට මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් වැඩිවන ගෙවුම් ශේෂ පරතරයේ අර්බුදයෙන් මිදෙන්නට පවා GSP+ හරහා දැනෙන යමක් සිදු නොවන බවයි ඒ විවේචන වල වැඩිදුරටත් කියවෙන්නෙ?

GSP+ සහනය ලැබීම තුළ රටේ තිබෙන ආර්ථික අර්බුදය මුළුමනින් විසඳනවා කියලා අපි කවුරුත් කියන්නෙ නෑ. මෙතැන දී සාපේක්ෂව සහ ධනාත්මකව බලන්න ඕන, මේ සහනය හරහා අපිට ලැබෙන්න තිබෙන වාසි මොනවද කියන එකයි. නමුත් මට හිතෙනවා GSP+ සහනය ලැබීම හරහා අත්වන වාසි ගැන කතා කරන්නට පෙර ඒ ලැබීමට පෙර අපේ අපනයන වෙළෙඳපොළ ගැන සිහිපත් කර ගැනීමත් වැදගත් වෙනවා කියලා. ඉන් අනතුරුව GSP+ ලැබීම හරහා අප ලැබූ වාසි සහ එය අහිමි වූ විට අපට සිදු වූ අවාසි ගැන සලකා බැලිය යුතුව තිබෙනවා. ඒ හරහා තමයි අපිට මේ පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගන්නට හැකි වෙන්නෙ.

අපි කැමතියි ඒ පැහැදිලි කිරීම නිදර්ශනාත්මකව දැනගන්න?

GSP+ සහනය 2005 දී මෙරටට ලැබීමට පෙර යුරෝපා වෙළෙඳපොළ වෙත සිදු කළ මෙරට සමස්ත අපනයනයේ වාර්ෂික වර්ධනය 11.5% ක් වගේ මට්ටමක තිබුණේ. (රජයේ දත්ත අනුව) නමුත් GSP+ සහනය ලැබීමෙන් අනතුරුව එය 16.4%ක් පමණ දක්වා වර්ධනය වුණා. මේ තත්ත්වය ආර්ථිකයට බලපෑමක් වෙන්නෙ නැද්ද? ඒ වගේම ලංකාවේ ප්‍රධාන අපනයනයක් වුණ ඇඟලුම් කර්මාන්තය හරහා අපි මෙය සලකා බැලුවොත්, GSP+ සහනය ලබන්නට පෙර අපේ ඇඟලුම් අපනයනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන ප්‍රතිශතය පහළ මට්ටමක තිබුණේ. නමුත් GSP+ සහනය ලැබීමත් සමඟ එය සීග්‍ර ලෙස වර්ධනය වෙනවා. ඒ වගේම තමයි අපේ සමස්ත ඇඟලුම් අපනයනයෙන් 46%ක් පමණ මිල දී ගනු ලබන්නේ යුරෝපා වෙළෙඳපොළ විසින්.

අපි ඊළඟට බලමු මේ සහනය නැති වීම අපේ රටට බලපෑ ආකාරය මොන වගේද කියලා. ඇත්තටම GSP+ සහනය අපෙන් ඉවත් කිරීමෙන් අනතුරුව අපේ රටේ අපනයන වෙළෙඳපොළේ පැහැදිලි පසුබෑමක් පෙන්නුම් කරනවා. 2014 පමණ වන විට යුරෝපා රටවලට සිදු කළ සමස්ත අපනයනයේ වාර්ෂික වර්ධනය පහළ අගයකට පත් වුණා. ඒ වගේම තමයි GSP අහිමිව තිබූ වසර 6ක කාලය තුළ රුපියල් බිලියන 150කට අධික අපනයන ආදායමක් රටට අහිමි වෙනවා. එපමණක් නොවෙයි, GSP+ සහනය අහිමි වීම නිසා ඇඟලුම් කර්මාන්තශාලා කොපමණ ප්‍රමාණයක් වසාදමන්න සිදු වුණාද? රැකියා අවස්ථා කොපමණ ප්‍රමාණයක් නැති වුණාද? ඒ විතරක් නොවෙයි, අපි පසුගිය සමයේ දැකපු දෙයක් තමයි ශ්‍රී ලංකාවට හිමිව තිබූ යුරෝපා වෙළෙඳපොළ කොටස GSP+ හිමිව තිබූ බංගලාදේශය, වියට්නාමය හා ඉන්දුනීසියාව වැනි රටවල් විසින් අත්කර ගන්නා ආකාරය. මේවා රටේ ආර්ථිකයට බලපාන්නේ නැද්ද?

ඒ වගේම අපේ මත්ස්‍ය වෙළෙදපොළට මොකද වුණේ? පසුගිය සමයේ එයත් යුරෝපා සංගමය අත්හිටවූවා. ඒ තුළ කර්මාන්තයකට පසුව තවත් කර්මාන්තයක් එකට කඩා වැටුණා. අනිත් අතට මේ ආකාරයෙන් GSP+ අහිමි කිරීමට කටයුතු කිරීම තුළ අපේ රටේ භාණ්ඩ වෙනුවෙන් වන යුරෝපාව ඇතුළු ලෝක වෙළෙඳපොළේ ආකර්ෂණයට බලපෑමක් සිදු වුණා. ඒ ආකාරයට වූ තත්වයන් පෙළගැසීම රටේ ආර්ථිකයට සහ විදේශ විනිමය සංචිතයන්ට සෘණාත්මක බලපෑමක් කළා.

GSP+ සහනයෙන් ලැබෙන ආර්ථික වාසි ගැන කතා කළොත්?

ඉතා වැදගත් වාසියක් තමයි මේ සහනය නැවත ලැබීම තුළ රට ජාත්‍යන්තරය හමුවේ ගොඩනඟාගන්නා ප්‍රතිරූපය. ඒ අනුව රටේ යහපත් වාතාවරණයක් ඇති බවට පණිවිඩය ලෝකය වෙත යනවා. විශේෂයෙන් ආයෝජක ආකර්ෂණයට එය වැදගත් කරුණක්. ඒ වගේම තමයි දැන් අපේ භාණ්ඩ යුරෝපා සංගමයේ රටවල් ආනයනය කරන විට තීරු බදුවලින් නිදහස් වෙනවා. ඒ තුළ අපේ භාණ්ඩවලට ඒ රටවල් තුළ වෙළෙඳපොළ මිල තරගයට මුහුණදීමට පහසු වෙනවා. මිල අඩු වූ විට අපේ භාණ්ඩවලට ඇති වන ඉල්ලුමත් වැඩි වෙනවා. ඒ තුළ අපට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කිරීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන් අපේ ඇඟලුම්, මාළු, මල්, තේ, පෝසිලේන්, ගර්කින් සහ එලවළු ඇතුළු මේ වන විට බහුල ලෙස අපනයනය කරන භාණ්ඩ සඳහා වඩාත් පුළුල් වෙළෙඳපොළක් ලබා ගැනීමට හැකියාව තියනවා. ඒ වගේම තමයි නව අපනයන සහ සම්ප්‍රදායී නොවන භාණ්ඩ සමූහයක් මේ වාසිය තුළ අපට යුරෝපා වෙළෙඳපොළට අපනයනය කිරීමට අවස්ථාව තිබෙනවා. ඒ කියන්නෙ අපට භාණ්ඩ 7500ක් තරම් පුළුල් වපසරියක යුරෝපා වෙළෙඳපොළ තුළට අවතීර්ණ වීමේ අවස්ථාව තිබෙනවා. මේ හරහා රටට ලැබෙන්නේ විදේශ විනිමය. ඒ කියන්නෙ අපිට හැකියාව ලැබුණොත් මේ වාසිය තුළ නිවැරැදි සැලැස්මක් සහිතව කඩිනම් වර්ධනයකට යොමු වෙන්න අපේ විදෙස් සංචිතය ශක්තිමත් කර ගැනීමටත් ඒ හරහා අවස්ථාව හිමි වෙනවා.

මේ වෙනකොට යුරෝපය තුළ එක් එක් රටවල් ජාතිකවාදී ආර්ථික ප්‍රතිපත්තියකට යොමු වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කෙරෙනවා. විශේෂයෙන්ම එක්සත් රාජධානිය මේ වන විට යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීන්දුකර අවසන්. ඒ පසුබිමේ GSP+ සහනය හරහා අපේක්ෂිත වාසි ඒ ආකාරයටම ලැබෙයි කියා විශ්වාස කළ හැකිද?

ඔව්, මෙච්චර කල් එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ සාමාජිකයෙක් විදිහට හිටියෙ. නමුත් බ්‍රෙක්සිට් සඳහා ලැබුණු ජනවරම අනුව ඔවුන් තනි රටක් ලෙස කටයුතු කරන්න තීරණය කර තිබෙනවා. නමුත් ඒ ඉවත්වීම සිදු වෙන්නෙ තව අවුරුදු එකහමාරකින් පමණ. ඒ කියන්නෙ ඔවුන් යුරෝපා සංගමයෙන් ඉවත්වන්නට තිබෙන කාලය තුළත් අපට GSP+ සහනය ලැබීමට අවස්ථාව තිබෙනවා. ඇත්තටම එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වුණත් ඒ වෙළෙඳපොළ අපේ අපනයනවලට ඉතා වැදගත් වෙනවා. ඒ නිසා අපි උත්සහ කළ යුතුයි ඔවුන් ඉවත් වුනත් ඒ වෙළෙඳපොළට ඇතුළත්වීම සඳහා ප්‍රවේශ මාර්ගයක් සකස් කරගන්න. මොකද අපේ යුරෝපා අපනයනයෙන් 11%ක පමණ කොටසක් එක්සත් රාජධානිය සතුව තිබෙනවා. ඒ ප්‍රතිශතය රැකගන්න අතරතුර ඒ ප්‍රමාණය වර්ධනය කරගැනීමට අවස්ථාව සලසා ගත යුතුයි.

මේ ගැන සැලකිලිමත් වීමේ දී ඉතා වැදගත් කාරණය වන්නේ දැනට එක්සත් රාජධානියේ ආනයන - අපනයන පරතරය සෘණ පවුම් බිලියන 125 ක් පමණ වෙනවා. ඒ නිසා ඔවුන් තනි රාජධානියක් ලෙස තව අවුරුදු එක හමාරකින් ඉදිරියට යන විට ඔවුන්ගේ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්තිය මේ පරතරය ගැන අනිවාර්යෙන්ම සලකා බලයි. ඒ නිසා ශ්‍රී ලංකාව ඒ ගැන ද දැන් තියාම සැලකිලිමත් විය යුතුයි. ඒ හැර එක්සත් රාජධානිය සිදු කළ ආකාරයට තවත් බොහෝ රටවල් යුරෝපා සංගමයෙන් ඉවත් වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා එය නිවැරදිව යොදා ගැනීමට අප මනාව සැලසුම් කළ යුතුයි.

මෙතැන දී අපි අවධානය යොමුකළ යුතු කරුණක් තමයි යුරෝපා සංගමය සතු ආනයන වෙළෙඳපොළ කියන්නෙ යුරෝ බිලියන 7500ක් තරම් විශාල එකක්. ඉතින් එයින් අපි 2%ක් එකතු කර ගත්තොත් අපට කොපමණ තරම් විදේශ ආදායමක් ලබා ගන්නට අවස්ථාව තිබෙනවද? දැනට තියන තත්ත්වය අනුවත් GSP සහනය හරහා අපේ අපනයන 9%කින් පමණ වර්ධනය කරගන්න ඉඩ ප්‍රස්ථා තිබෙනවා.

ඔබ ඉතා වැදගත් තැනකට පැමිණියා. භාණ්ඩ වර්ග 7500ක් බදුවලින් නිදහස්ව අපනයනය කිරීමට අවස්ථාව ලැබුණත්, විශාල ආනයන වෙළඳපොළක් අප හමුවේ තිබුණත්, ඒ තරම් ප්‍රබල නිෂ්පාදන ධාරිතාවක් අප සතුව තිබෙනවද?

එතන ප්‍රශ්නයක් තිබෙනවා. අපිට අපනයනය කළ හැක්කේ සීමිත භාණ්ඩ හා සේවා ප්‍රමාණයක්. අපිට දළ වශයෙන් භාණ්ඩ වර්ග 200ක් වත් ලෝක තරගකාරීත්වයට අනුව අපනයනය කිරීමට හැකියාවක් නෑ. මොකද ඇතැම් භාණ්ඩ ප්‍රමිතියෙන් තොරයි. ඇත්තටම යුරෝපා සංගමය භාණ්ඩ ආනයනයේ දී ඉතා ඉහළ ප්‍රමිතියක් බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රමිතිය තුළ අපි යම් සීමාවකට ලක්වෙනවා. ඒ නිසා රට ඇතුළෙන් විධිමත් ක්‍රමවේදයක් සකසා ගැනීමට අප කටයුතු කළ යුතුව තිබෙනවා. අවම වශයෙන් සම්ප්‍රදායික නොවන භාණ්ඩ ද ඇතුළුව තෝරාගත් භාණ්ඩ ප්‍රමාණයක්, නියම යුරෝපානු ප්‍රමිතියෙන් යුතුව, යෙදවුම් පිරිවැය හැකිතාක් දුරට අවම කර, වටිනාකම් එකතු කළ භාණ්ඩ, අපනයනය කිරීමට අප කටයුතු සම්පාදනය කරන්න ඕන. එතැන දී අපනයනකරුවන්, කර්මාන්තකරුවන් විධිමත්ව තෝරාගෙන, ඔවුන්ට අවශ්‍ය තාක්ෂණය හඳුන්වාදී, අවශ්‍ය නම් විදෙස් පුහුණු සැසි සහ ප්‍රදර්ශන වෙත පවා යොමුකර නියම ක්‍රමවේදයක් වෙත යොමුවීමයි අවශ්‍ය වෙන්නෙ.

තව දුරටත් ඒ ගැන පැහැදිලි කළොත්?

ඇත්තටම මෙතැන දී බලන්න ඕන අපි යුරෝපා වෙළෙඳපොළ තුළ අපේ අපනයන ප්‍රමාණය සහ අපේ අපනයනයන්ට ඇති ඉල්ලුම වැඩි කර ගැනීම සඳහා ක්‍රමවේදයන් තුළින් අපි කොහොමද කර්මාන්තකරුවන්, නිෂ්පාදකයන්, අපනයනකරුවන් දිරිගන්වන්නෙ, ආර්ථික පැත්තෙන් කොහොමද මොවුන්ව දිරිගන්වන්නෙ, තාක්ෂණික පැත්තෙන් කොහොමද ඔවුන් දිරිගන්වන්නෙ, ආරක්ෂාව පැත්තෙන් කොහොමද දිරිගන්වන්නෙ, කියන කාරණා සම්බන්ධව නිසි ක්‍රමවේදයක් රටට අවශ්‍යයි.

අනිත් පැත්තෙන් ශ්‍රී ලංකාවේ තානාපති අංශ හරහා වෙළෙඳපොළ බුද්ධි වාර්තා කැඳවීමට අවශ්‍යයි ඒ ඒ රටවල වෙළෙඳපොළ අවස්ථා පිළිබඳව. ඇත්තටම මේ වගේ විශාල වැඩ කොටසක් නිසි සැලැස්මක් හරහා සිදු කිරීමෙන් පමණයි අපට මේ වාසිය දිගුකාලීනව, මුළුමනින්ම අත්කර ගන්න පුළුවන් වෙන්නෙ. ඒ වගේම අපනයනකරුවන්, නිෂ්පාදකයන් දිරිමත් කිරීම සඳහා මහ බැංකුවේ සිට අදාළ සියලු පාර්ශ්ව එකට එක්වී ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ප්‍රතිපත්ති හඳුන්වා දිය යුතුව තිබෙනවා. ඒ වගේම තමයි රජය පැත්තෙන් අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය backward integration හා related supporting industries සැකසිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වාතාවරණය සැලසිය යුතුයි. ඒ හරහා තමයි පිරිවැය අඩු කරගෙන වෙළෙඳපොළ තරගයට අපට මුහුණ දීමට හැකිවෙන්නෙ.

නමුත් මං හිතන්නෙ හොඳ මොළ කිහිපයක් හරහා මේ ලෝක වෙළඳපොළ තුළ අපේ පංගුව වර්ධනය කරගන්නේ කොහොමද යන්න සම්බන්ධ ප්‍රතිපත්තිමය හා දිගුකාලීන සූක්ෂම උපායික සැලසුමක් අවශ්‍ය වෙනවා. ඇත්තටම ඒ වෙනුවෙන් වන බුද්ධිමය සම්පත අප රටේ තිබෙනවා. මේ ලැබුණු ජයග්‍රහණයේ විවිධ පාර්ශ්වයන් එක්වීම තුළ අපේ රටේ අපනයන සීග්‍ර වර්ධනයක් ඇති කරගැනීමට මනා ක්‍රමවේදයක් ඇතිව අඩිතාලමක් සැකසිය යුතුයි. ඒ සඳහා සියලු පාර්ශ්ව අදිටන්කර ගත යුතුව තිබෙනවා.

(සාකච්ඡාව - කුසල් ජයම්පති)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top