Jun 03, 2017

අපේ මාළු අපේ මුහුදේ නාකි වෙලා මැරෙනවා අපි ටින් මාළු පිටරටින් ගෙන්නනවා

  Tess Group සමාගම පිළිබඳ කෙටියෙන් සඳහන් කළොත්?

Tinmalu2pic Tess Group අවුරුදු 35 ක සිට මත්ස්‍ය වෙළෙඳාමේ නිරතව සිටිනවා. විශේෂයෙන්ම කෙලවල්ලෝ තමයි අපි වැඩිපුරම අපනයනය කරන්නෙ. ඒ වගේම මේ වන විට අපි ටින් මාළු කර්මාන්තයටත් පිවිස සිටිනවා.


දේශීය ටින් මාළු කර්මාන්තය මේ වන විට මොන වගේ මට්ටමකද තිබෙන්නෙ? අප සමාගම ඇතුළුව තවත් සමාගම් 3ක් දේශීයව ටින් මාළු කර්මාන්තයේ නිරතව සිටිනවා. ඒ තමයි Happy cook lanka food (pvt )Ltd,Quality Fish Processing Lanka (pvt) Ltd ,S L I C LANKA (pvt) ltd යන සමාගම්. ඒ සමාගම් සියල්ල මේ වන විට ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමය විදිහට එකතු වෙලා සිටිනවා. එහි සභාපති ලෙස කටයුතු කරන්නෙත් මම. රට වටා අපේ සැපයුම් ජාල තිබෙනවා. අපේ නිෂ්පාදන නියම ප්‍රමිතියෙන් යුතුව සිදු වෙනවා. අපි මේ කර්මාන්තයට එනවිට ටින් මාළු කර්මාන්තය මුළුමනින්ම ආනයන මත රැඳී තිබුණේ. නමුත් අපි අද වන විට ඒ තත්ත්වය වෙනස් කර තිබෙනවා.

දේශීය ටින් මාළු ඉල්ලුම පිරිමසන්නට ඔබලාට හැකියාව තිබෙනවද?
ඇත්තටම පුළුවන්. ලංකාවේ දවසකට ටින් මාළු පරිභෝජනය වෙනවා සාමාන්‍යයෙන් ටින් 125,000 ක් විතර. Tess Group සමාගම ලෙස අප තමයි මේ කර්මාන්තයේ විශාලම නිෂ්පාදනය සිදු කරන්නෙ. අපි දවසකට ටින් 25000ක් සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරනවා. ඒ සාමාන්‍ය වැඩමුරයක් හරහා පමණයි. රාත්‍රී වැඩ මුරයකට ගියොත් මේ නිෂ්පාදනය අපට දෙගුණ කරන්න පුළුවන්. ඒ හරහා සමස්ත දේශීය වෙළෙඳපොළ ඉල්ලුමට අවශ්‍ය සැපයුම සිදු කිරීමට අප සංගමයට හැකියාව තිබෙනවා.

පසුගිය සමයේ ආනයනික ටින් මාළු සඳහා බදු සහනයක් ලබා දෙනවා. එය මේ වන විටත් ක්‍රියාත්මකයි. මේ තත්ත්වය දේශීය ටින් මාළු කර්මාන්තයට මොන වගේ බලපෑමක් ද සිදුකර තිබෙන්නෙ?

ඇත්තටම ඒ සිදු වුණේ අපි හිතුවෙවත් නැති දෙයක්. කලින් ආනයන ටින් මාළු කිලෝ එකකට රුපියල් 102.00 ක බද්දක් තිබුණා. ඒ බද්ද රුපියල් 52.00 කට අඩු කිරීමක් තමයි එතැන දී සිදු වුණේ. අපි මේ ගැන ඇත්තටම එවකට මුදල් අමාත්‍යවරයා එක්ක සාකච්ඡා කළා. එතැන දී මුදල් අමාත්‍යවරයාගේ අදහස වුණේ පාරිභෝගිකයාට අඩු මුදලට ටින් මාළු දීම වෙනුවෙන් අදාළ බදු සහනය දෙන්න ඕන කියන එකයි. ඒ වගේම අපිට සහනයක් වශයෙන් කියලා, සතොස ආයතනයට අපේ නිෂ්පාදන සපයන්න අවස්ථාව හදලා දුන්නා. ඇත්තටම ඉන් දේශීය ටින් මාළු නිෂ්පාදකයන් හැටියට අපට කිසියම් සහනයක් සැලසුණා තමයි. ඒත් ඒ තුළ කර්මාන්තය සංවර්ධනය කරන්නට තිබුණ අවස්ථාවට සීමාවක් වැටුණා. මොකද අපේ නිෂ්පාදනයන් පුළුල් කරන්න විදිහක් නෑ. සතොස සඳහා හැර අනිත් සෑම අවස්ථාවකදීම අපට ආනයනික ටින් මාළු සමඟ තරගයක් හැදුණා. අපි මේ කර්මාන්තයට සම්බන්ධ වෙන්න තීරණය කළේ රජය විසින්ම සිදුකළ යෝජනාවකට අනුව. මොකද ටින් මාළු ආනයනය සඳහා අපේ රට වාර්ෂිකව රුපියල් බිලියන 20ක් පමණ වැය කරනවා. ඒ වියදම සීමා කරගැනීම සඳහා තමයි යෝජනාව එන්නෙ දේශීයව ටින් මාළු නිෂ්පාදනය ආරම්භ කරන්න කියලා. අපිත් ඒ සමයේ මිලියන 200ක් පමණ වියදම් කරලා දේශීය ටින් මාළු නිෂ්පාදනය ආරම්භ කළා. අපි හිතුවා මේ හරහා අපට පුළුවන් වෙයි කියලා දේශීය ටින් මාළු වෙළෙඳපොළ ස්වයංපෝෂිත කරන්න. මම ඉහතත් පෙන්වාදුන් ආකාරයට අපිට දැනටමත් දේශීය වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන සැපයුම සිදු කරන්න හැකියාව තියනවා. ඒත් දැන් එය සීමා සහිත වෙලා.

ආනයනික ටින් මාළු සඳහා බදු සහනය ලබා දී තිබෙන්නේ පාරිභෝගිකයන්ට සහනයක් දෙන්න කියන අදහසින් නම් එහි වරදක් නෑ නේද?

මිල පාලනයක් සිදු කිරීම තුළ පාරිභෝගිකයාට සහනයක් ලැබෙනවා. අපි කියන්නෙ නෑ එහෙම දෙයක් කරන්න එපා කියලා. නමුත් මෙතන ප්‍රශ්නය වෙන්නෙ ආනයනික ටින් මාළුවලට අදාළව දී තිබෙන බදු සහනය වැඩි වීමයි. එය කලින් තිබුණ ගණනටවත් ඉහළ දමන්න ඕන. එතැන දී තමයි දේශීය නිෂ්පාදකයාට දේශීය වෙළෙඳපොළ
තුළ මෙන්ම ටින් මාළු අපනයනය කිරීම දක්වා කර්මාන්තය වර්ධනය කරන්නට හැකි වෙන්නෙ. ඒ වගේම තමයි අපි බලන්න ඕන මේ කර්මාන්තය වර්ධනය වීම සඳහා සහය දීම තුළ තවත් කොපමණ ප්‍රතිලාභ රටට ගන්න පුළුවන්ද කියන එක. ඒ නිසා ඉතා පැහැදිලිව කියන්න ඕන දේ තමයි, අපි කියන්නෙ ටින් මාළු මිල පාලනය කිරීම වැරැදියි කියලා නෙවෙයි. ආනයනික ටින් මාළු සඳහා දී තිබෙන බදු සහනය හේතුවෙන් දේශීය ටින් මාළු කර්මාන්තයේ වර්ධනයට පැනවී තිබෙන සීමාවන් ඉවත්කර ගන්න ඕන කියන යෝජනාවයි අපි කරන්නෙ. ඇත්තටම අනෙක් කර්මාන්ත වගේ නෙවෙයි ටින් මාළු ව්‍යාපාරය සාර්ව ආර්ථික අරමුණුවලට සෘජුවම බලපෑමක් කරනවා.

ඒ ගැන තවදුරටත් පැහැදිලි කරොත්?

දේශීයව ටින් මාළු නිෂ්පාදනය තවදුරටත් වැඩි කරන්නට අවස්ථාව සැලසීම තුළ දේශීය මාළු නිෂ්පාදනයේ මහා පරිමාණ පිරිවැසුමක් ඇති වෙනවා. මහා පරිමාණ පිරිවැසුම් ඇති වෙද්දී සාමාන්‍ය පිරිවැය අඩු වෙනවා. ඒ විදිහට ඒකකයක නිෂ්පාදන පිරිවැය අඩු වුණාම වැඩිපුර නිෂ්පාදනය වෙනවා. එමඟින් අපනයන වෙළෙඳපොළ පුළුල් කරගන්න වගේම දේශීය පරිභෝජන අවශ්‍යතාව මුළුමනින්ම සපුරන්න අපිට පුළුවන්. ඒ වගේම තමයි අපි වැඩිපුර ආනයනය කරනවා කියන්නෙ අපේ මුදල් පිටරටට ඇදී යාම. ඇත්තටම මේ මොහොතේ රටට අවශ්‍ය විනිමය අපේ රටට වැඩිපුර ගෙන්වා ගැනීමයි. ඇත්තටම ඇයි අපි දූපත් රාජ්‍යයක් වෙලත් මාළු ආනයනය කරන්නේ?

අපි ඒ ප්‍රශ්නයට ඔබෙන්ම පිළිතුරු අපේක්ෂා කරනවා. ඇත්තටම ඇයි අපේ රට මාළු ආනයනය කරන තැනට වැටිලා තිබෙන්නෙ?

ඇත්තටම අපේ රට මේ ගැන දක්වන උනන්දුව මදි කියලයි මං හිතන්නෙ. රටේ ආර්ථිකයේ විශාල පිබිදීමක් කරන්න ධීවර කර්මාන්තය හරහා අවස්ථාව තිබෙනවා. දැන් බලන්න අපේ රටට අයත් සමුදුර කලාපය කොච්චර විශාලද? වර්ග කිලෝමීටර් 517,000 ක මුහුදු කලාපයක් තියනවා. ඒත් තායිලන්තය අරගෙන බලන්න. තායිලන්තයට තිබෙන්නෙ වර්ග කිලෝමීටර් 316,000 ක වගේ මුහුදු කලාපයක්. පසුගිය දශක තුන පුරාවට තායිලන්තය සැලකිය යුතු මට්ටමකින් ඔවුන්ගේ නිෂ්පාදනය වර්ධනය කරගෙන තිබෙනවා. ඔවුන්ගේ වාර්ෂික නිෂ්පාදනය ටොන් අටලක්ෂයක් පමණ වනවා. එතුළ ඔවුන් ටින් මාළු ලෝක වෙළෙඳපොළේ 45%ක පමණ කොටසක් අත්කරගෙන සිටිනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ ටින් මාළු කර්මාන්තයේ නියුතු සමාගම් ආශ්‍රිතව ලක්ෂ 4 ක පමණ සේවක පිරිසක් සිටිනවා. මේ තැනට ඔවුන් පත්වෙන්න, කර්මාන්තය වර්ධනය කරන්න විශාල දිරිගැන්වීම් ප්‍රමාණයක් හරහා තායිලන්ත රජය සහය වුණා. ඒ කියන්නෙ ඔවුන් අපිට වඩා කුඩා මුහුදක් සහිත වුවත් අපට වඩා වැඩි දියුණුවක් වෙත ගිහින් තියනවා. ඒ වගේම තමයි චීනයත්. ඔවුන් තම රටේ සිටින මත්ස්‍ය අපනයනයකරුවන්ට විශාල දිරි දීමනා ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. උදාහරණයක් විදිහට සඳහන් කළොත් චීනයේ සිටින එක් ටින් මාළු අපනයනකරුවෙකුට ඔහු කරන අපනයනයේ වටිනාකමින් 13% ක් නැවත චීන රජය ඔහුට ලබා දෙනවා. මොකද ඒ අපනයනය හරහා රටට ඩොලර් ගෙනෙන නිසා.


නමුත් අපේ රටේ තත්ත්වය ඊට වෙනස්. බදු සහනය විසින් අපව විදේශීය තරගකරුවන් සමඟ තරගයකට යොමු කරවලා. අපිට අපේ වෙළඳපොළ තුළත් තරග කරන්න වෙලා. නමුත් ඒ සහන දේශීය මත්ස්‍ය නිෂ්පාදනය නංවන්න දෙනවා නම් මේ රටට කොපමණ ආදායමක් ලබන්න පුළුවන්ද? නමුත් එය තේරුම් ගන්නෙ නෑ. කණගාටුවෙන් වුනත් කියන්න ඕන සමහර වගකිවයුතු පාර්ශ්ව හරිම කැමතියි ටින් මාළු වගේම ගොඩක් දේවල් ආනයනය කරන්න. මාසෙකට චීනෙන් විතරක් මාළු කන්ටේනර් 60ක් විතර ගෙන්වනවා. ඒ විතරක් නෙවෙයි, ආරක්ෂක අංශ ඇතුළුව ටින් මාළු මහා පරිමාණයෙන් ලබාගන්නා ආයතනවලට පවා ආනයනික ටින් මාළු තමයි ගන්නෙ. අපි අහන්නෙ ඇයි දේශීය නිෂ්පාදකයන්ට ඒ අවස්ථාව දෙන්න බැරි. ඒ ඇයි කියලා ඇත්තටම පැහැදිලි නෑ. මොකක්ද අපේ නිෂ්පාදනවල තියන ගැටලුව? කොහොම නමුත් ඒ නිසා මේ වෙනකොට අපේ රට කරවල පවා ආනයනය කරන තැනට ඇදගෙන වැටිලා.

ටින් මාළු කර්මාන්තය වර්ධනය කරන්න මොනවද ඔබ කරන යෝජනා?

ඇත්තටම මුලින්ම කියන්න ඕන ආනයනික ටින් මාළු වෙනුවෙන් ලබා දී ඇති විශේෂ බදු සහනය වෙනස් කරන්න ඕන. විශේෂයෙන් ටින් මාළු ආනයනය අඩු කරන්න ඕන. එතැනින් තමයි අපිට ටින් මාළු නිෂ්පාදනය නංවන්න පුළුවන් වෙන්නෙ. අපිට ඒ හරහා අපේ ධීවරයන්ට මාළු සඳහා හොඳ මිලක් ගෙවන්න පුළුවන්. දැන් බලන්න ධීවරයෝ කොපමණ ප්‍රමාණයක් ධීවර කර්මාන්තයෙන් ඉවත් වෙලාද? බොහෝ පිරිසක් අද කර්මාන්තය අත්හැර කුලී වැඩ, කුඹුරු වැඩ වගේ වෙනත් කාර්යයන්ට යොමු වෙලා. ඒ නිසා මේ වෙනකොට අපිටත් ටින් මාළු සඳහා ප්‍රමාණවත් මාළු තොග නැති වෙලා. එහෙනම් හොඳ මිලක් මාළුවලට දුන්නොත් අපිට පුළුවන් මේ හැර ගිය පිරිස නැවත ධීවර කර්මාන්තයට ගෙන්වන්න. ආනයනික ටින් මාළු නිසා අපිටත් බැරි වෙලා තියනවා අපේක්ෂා කරන මුදලවත් ධීවරයන්ට සපයන්න. ඒ විදේශීය තරගයට අපිට මුහුණ දෙන්න සිදු වෙලා තියන නිසා. දැන් බලන්න යුද්ධය නිසා අපේ මුහුදෙන් 70% ක ධීවර කටයුතු කරන්න ලැබුණෙ නෑ. දැන් අපට අවස්ථාව තියනවා නේද 100% මුහුදු කලාපය තුළ ධීවර කටයුතු සිදු කරන්න. පොඩි ධීවරයා තමයි තමයි ටින් මාළු සඳහා අවශ්‍ය කුඩා මාළු සපයන්නෙ. මේ කර්මාන්තය නැංවීම හරහා ඒ කුඩා පරිමාණයෙන් ධීවර කර්මාන්තයේ නියැළෙන පවුල් කීයක ආර්ථිකය දැනට ඉන්න මට්ටමෙන් ඉහළට ඔසවන්න පුළුවන්කම ලැබෙනවද? ඒ සඳහා බොහොම පොඩි දේවල් ටිකක් විතරයි කරන්න තියෙන්නෙ. ඇත්තටම අපිට තියෙන්නෙ සරුසාර මුහුදක්. හොඳ මත්ස්‍ය සම්පතක් අපේ රට වටා තියනවා. නමුත් අපි ඒ අස්වැන්න අත්හැර දාලා ඉන්නෙ. බලන්නකෝ ඒ අතින් අපි හරි පුදුම රටක්. අපේ මාළු අපේ මුහුදේ නාකි වෙලා මැරෙන්න ඇරලා චීන හෝ වෙනත් ආනයනික ටින් මාළු ගෙන්වාගෙන කනවා. ඉතින් එහෙම වටපිටාවක අපි වැඩි දෙයක් ඉල්ලන්නෙ නෑ, රජය අපිට එක අවුරුදක් සහය දුන්නොත් අපිට පුළුවන් 2020 වන විට ටින් මාළු අපනයනය කරන තැනට මේ කර්මාන්තය පත් කරන්න. මේක ජාතික අපරාධයක්. ඒ වගේම තමයි මේ වෙනකොට අපි ටින් මාළු නිෂ්පාදනයට අවශ්‍ය ටින් සහ ලේබල් වෙනුවෙන් වැට් ගෙවීමක් සිදු කළත් නැවත එය ලබා ගන්න අපට අවස්ථාවක් නෑ. ඔය වගේ ප්‍රශ්න කිහිපයක් මත තමයි මේ රටට මහා පරිමාණයෙන් විදේශ විනිමය කැඳවා ගැනීමට හැකි කර්මාන්තයක් එකතැන ඇණහිට තිබෙන්නෙ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා දැන්වත් වගකිවයුතු පාර්ශ්ව අපි කියන දේට ඇහුම්කන් දෙයි කියලා.


අපේ මාළු අපේ මුහුදේ නාකි වෙලා මැරෙනවා අපි ටින් මාළු පිටරටින් ගෙන්නනවා. රජය අපිට වසරක් උදව් කළොත් අපි 2020 දී ටින් මාළු අපනයනය කර පෙන්නනවා. දේශීය ටින් මාළු ඉල්ලුමට අවශ්‍ය සැපයුම කරන්න අපිට පුළුවන්

සාකච්ඡාව -කුසල් ජයම්පති

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top