Jun 14, 2017

මම තුවක්කුව වෙනුවට කැමරාව අතට ගත් තරුණයෙක්

 ජූඩ් රත්නම් ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ වාර්තා චිත්‍රපට අංශයෙන් ලංකාව නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා ය .වසර 10 ක් පුරා නිර්මාණය කළ මෙම වාර්තා චිත්‍රපටය , ඉතාමත් ආන්දෝලනාත්මක වස්තු විෂයක් පාදක කර ගනී. Demon in Paradise (2017) එම නිර්මාණයයි. මේ නිර්මාණකරුවා සමඟ ශ්‍රී ලංකාවේ දී කරනු ලබන පළමු සම්මුඛ සකච්චාවයි.

 කොටින්ගේ ක්‍රියාකලාපය ගැන දමිළ ජාතිය තුළ ම විශාල විරෝධයක්, එරෙහි වීමක් තියෙනවා. සියලුම දමිළ මිනිසුන් කොටින් ය යන හංවඩුව නිසා, දමිළ මිනිසුන් ට අවංකවම තමන් ගැන ස්වයං විවේචනයක් සිදු කර නිවැරදි වීමට ඇති ගෞරවනීය අවකාශය අහිමි වීම තමයි එහි ඇති බරපතල ම වැරැද්ද ලෙස මම සලකන්නේ. මගේ චිත්‍රපටය ආමන්ත්‍රණය කරන්නේ යුද්ධයෙන් පසුව අන්තවාදී කොටස් විසින් සමාජගත කළ මහා ආඛ්‍යානය ට විරුද්ධවයි. අන්තවාදී නොවූ දමිළ ජනතාව සහ අන්තවාදී නොවූ සිංහල ජනතාව මෙම තත්ත්වය හමුවේ අතිශය අසරණයි.

සංවාදය මෙහෙයවීම සහ පරිවර්තනය : සුදත් මහාදිවුල්වැව


unnamed 2017 වසරේ ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ , වාර්තා චිත්‍රපටයකින් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන පළමු පුරවැසියා ලෙස ඔබව හඳුනාගන්නා තෙක් , මේ රට ඔබව දන්නේ නෑ . ජූඩ් රත්නම් යනු කවුද ?

මම කොළඹ උපන් , මහනුවර හැදී වැඩුණ , මඩකලපුවේ ජිවත් වුන දෙමල තරුණයෙක්. 83 ජූලි කලබල එක්ක මගේ පවුල කොළඹ අතහැරලා යනවා.මම මඩකලපුවේ අවුරුදු 4 ක් ජිවත් වුනා.අවුරුදු දෙකක් ඉන්දියාවේ ජිවත් වුනා.ඉන්දියාවේ යන්නේ මගේ පියාගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා.ඇත්තටම මගේ දෙවන ගෙදර කියලා මම කියන්නේ මහනුවරයි.මම අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ. මගේ පියා ඇංග්ලිකන් පුජකයෙක්. මගේ පියාගේ පියා ලේක්හවුස් ආයතනයේ සේවය කළ අයෙක්.ඔහු හොඳ කලාකරුවෙක්. ඔහු ලේඛකයෙක්,දමිළ නාට්‍යකරුවෙක්,70 දශකයේ දමිළ සිනමා කෘති වල ප්‍රමුඛ පෙලේ රංග ශිල්පියෙක්.මගේ මව ගුරුවරියක්.මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා.දෙවෙනි මල්ලි මෙරට කලාවට සම්බන්ධ අයෙක්.

 ඔබේ පළමු උපාධිය සමාජ විද්‍යාව. ඔබ ජීවිතය ආරම්භ කරන්නේ බෙහෙත් විකුණන්නෙක් විදියට.ඉන්පසු ඔබ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිකයෙක්.

අපට මුණගැහෙන ඔබ වාර්තා චිත්‍රපටකරුවෙක්. මෙම රූපාන්තරණය ඔබ කියවා ගන්නේ කොහොමද ?

මම සිනමාකරුවෙක් වෙන්න සිහින දැකපු හෝ සැලසුම් කළ හෝ කෙනෙක් නෙවෙයි.ඔබ කියපු පරිදි මෙඩිකල් රෙප් කෙනෙක් විදියට මිනිසුන්ගේ ලෙඩදුක් එක්ක වෙහෙසීම, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් ලෙස ලංකාව පුරා විවිධ අසාධාරණයට ලක් වූ මිනිසුන් ට පිහිට වීම වැනි දේ හරහා ලද විවිධ වෘත්තීමය අත්දැකීම් මට විශාල රුකුලක් වෙනවා වාර්තා සිනමාකරුවෙක් ලෙසින් රූපාන්තරණය ලබන්න ට.මෙන්න මේ එකකට එකක් සම්බන්ධයක් නැති රැකියා හා අතීත ජීවන අත්දැකීම් මාව වාර්තා චිත්‍රපටකරුවකු කරවීමට පදනම් වූ ආශීර්වාදාත්මක සුදානමක් ලෙසයි මම දකින්නේ.

 ඔබට කලින් ඔබේ කණිෂ්ට සොයුරා කැමරාව සමඟ ගනුදෙනු කරනවා.ඔහු Ya Tv ආයතනයේ නිෂ්පාදක වරයෙක්.එහෙත් ඔහුට බොහෝ කලකට පසුව ඔබ සිනමාවේ ගැඹුරුම වපසරිය වන වාර්තා චිත්‍රපට කලාව තෝරා ගන්නවා.


මම චිත්‍රපටකරුවකු වීම එක මොහොතක ‘අහම්බයක් ‘ වගේම ඒ මොහොත තුළ ම ‘ අත්‍යවශ්‍ය කටයුත්ත ‘ ලෙස තමයි මට මුණ ගැසෙන්නේ. Ya Tv රැකියා අවස්ථාව හා ආරංචිය ගේන්නේ මගේ මාමා මනොරන්ජන්. ඒ සඳහා මුල්ම යෝජනාව ලැබෙන්නේ මට. ඇත්තටම මම ඒ වෙලාවේ බය වෙනවා රූපවාහිනී මාධ්‍යක සේවයට යන්න.ඒක මම නොදන්නා මාධ්‍යක්.නමුත් මගේ බාල සොයුරා කිං රත්නම් ඒ අවස්ථාව නොබියව භාර ගන්නවා. සිනමාව ගැන මගේ ආදර කතාව අනපේක්‍ෂිත අහම්බයක්.චාලි චැප්ලින් ගේ මොඩර්න් ටයිම්ස් ( Modern Times ) චිත්‍රපටය අවුරුදු 24-25 වයසේ දී බලද්දී , මම චැප්ලින් ඊට කලින් නරඹා තිබුනත් ; මේ මම කියන මොහොතේ එම චිත්‍රපටය මාව එක් තලයක ට විසිකරනු ලබනවා. මට අලුත් ඇස් දෙකකින් ඒක බලන්න , රස විඳින්න හා තේරුම් ගන්න පුළුවන් වුනා. සමාජය විනිවිද දැකීමේ මහා බලයක් සිනමාවට තියෙනා වග මට දැනුනා. මේ අහඹු අපූරු ආශ්චර්ය මාව මහා සිනමාවට විසිකරනු ලැබුවා. මනුෂ්‍ය ස්වභාවය (Humen Condition ) විවරණය කිරීමට සිනමාවට ඇති මහා හැකියාව මට අලුත් ඇස් දෙකක් දුන්නා. මේ තමයි මම සිනමා කරුවෙකු වීමේ බීජ අවස්තාව.මම සිනමාවට ආදරය කරන්නෙක්. සිනමා උම්මන්තකයකු ලෙසින් සිනමාවේ ගැඹුරු ම පතුලට කිමිදෙද්දී , වාර්තා චිත්‍රපට කලාව යනු ගැඹුරු ම සිනමාව කියලා මට අවබෝධ වුනා. මම ඇත්තටම වාර්තා සිනමාව , වෘත්තාන්ත සිනමාව කියලා වෙන් කරන බෙදුම් රේඛාව ගැන හෝ එය නඩත්තු කිරීමට හෝ විනාශ කිරීම ගැන හෝ උනන්දු නෑ.

 මා දන්නා තරමට ඔබ අවුරුදු 10 ක් පූර්ණකාලීනව මෙම නිර්මාණය සමඟ ඉන්නවා.මෙම දීර්ඝ ඉවසීම , විනය , වස්තු විෂය සමඟ ජිවත් වීම ඔබ අර්ථකථනය කරන්නේ කොහොමද ?

ඔබේ ප්‍රශ්නය මාව ද පුදුමයට පත් කරනවා.මේ දීර්ඝ දරා සිටීම ගැන කතා කළොත් ; ඒක හරියට ඔබ කවුරුන් හෝ සමඟ ආදරයෙන් බැඳෙනවා වගේ දෙයක්. නිවැරදිම වචනය ‘ආදරයෙන් උමතු වීම ‘ යි. ආදරය ඔබව වෙහෙස කරන්නේ නෑ. ආදරය ඔබව සුවපත් කරනවා. මගේ සිනමාව සම්බන්ධ ආදරයත් ඒ වගේමයි.එය මට සුවයක් මිස වේදනාවක් නෙවෙයි. මම මේ චිත්‍රපටය පටන් ගන්නෙත් , මගේ බිරිඳ සමඟ ආදරයෙන් බැඳෙන්නේත් එකම කාලයේ , එකම ආකාරයට. ඔබ කිසියම් දෙයකට අසීමිතව ආදරය කරයි නම් එය සතුටක් , ආනන්දයක් මිස වෙහෙසක් නෙවෙයි. මගේ චිත්‍රපටය සමඟ අවුරුදු 10 ක් ගතවීම ගැන මගේ කියවීම නම් එය සතුටේ චාරිකාවක් මිස වෙහෙසකර චාරිකාවක් නම් නොවූ බවයි.


 ඔබගේ නිර්මාණය වාර්තා චිත්‍රපටකරණයේ සුවිශේෂී ප්‍රභේදයක්. මෙය ‘ මතකය සමඟ කරන ගනුදෙනුවක් ‘ . නමුත් ඔබ එම පෞද්ගලික අත්දැකීම පොදු අවකාශයට රැගෙන යනවා.

මම පිළිතුරු හොයන්න මහන්සි වූ ප්‍රශ්නයක් තිබුණා. ඒ ‘පෙන්විය නොහැකි මතකයක් තවකෙකු ට පෙන්වන්නේ හෝ දනවන්නේ කොහොමද ‘ කියන කාරණාව. මේ ප්‍රශ්නයට පිළිතුරු සොයද්දී තමයි මට රිති පන් ( Rithy Panh ) ගේ S 21 – Killing Machine චිත්‍රපටය දකින්නේ. මේ සම්ප්‍රදායට විශාල ඉතිහාසයක් තියෙනවා. ක්ලෝඩ් ලාන්ස්මන් (Claude Lanzmann) මෙම ශානරයේ පුරෝගාමියා. නමුත් ඔවුන් දෙදෙනාගේ ක්‍රමයන් ට වඩා මගේ සිනමා කෘතියේ ප්‍රවේශය වෙනස් වෙන්නේ රිති පන් හෝ ලාන්ස්මන් අදාළ චරිතය ‘ලවා කරවන ක්‍රියාව’ , ‘මම එම චරිතය ම වී’ සිදු කිරීමයි. මෙය දෘෂ්ටිකෝණ ප්‍රවේශයන් දෙකක්. තවත් පැහැදිලි කළොත් ‘ මම ම චරිතය වීම ‘ නැතිනම් චරිතය බවට රූපාන්තරණය වීම. එය එම චරිතයට සමාරෝපී වීම හෝ ප්‍රතිනිර්මාණය ට වඩා වෙනස්. ‘ මම ම චරිතය වීම ‘ තමයි මේ ශානරයේ මගේ පුරෝගාමින්ගෙන් මම වෙනස් වෙන තැන. මේ ශානරය හඳුන්වනු ලබන්නේ ‘ නිර්මාණශීලි වාර්තා චිත්‍රපට ‘ (Creative Documentary ) ලෙසයි . මෙය ඇත්තට ම ජෝන් ගියර්සන් දක්වා අතීතය ට ඇදී යනවා. “Creative treatment of actuality is Documentary “ ලෙසින් ඔහුගේ ප්‍රකාශය මෙය සනාථ කරනවා. බැසිල් රයිට් ‘ ලංකා ගීතය ‘ නිර්මාණය කරද්දීත් මෙහි සමහර අංග භාවිතා කළා. වෘත්තාන්ත චිත්‍රපට විසින් කතන්දර කීමේ කලාවේ ‘ආඛ්‍යානයේ ප්‍රබලතාවය’ කෙරෙහි විශ්වාසය තැබූ නිසා සාමාන්‍ය වාර්තා චිත්‍රපටකරුවන් වෘත්තාන්තයෙන් වෙන්වීම සඳහා කරුණු හා තොරතුරු වලට මුල්තැන දුන් හෙයින් වාර්තා - වෘත්තාන්ත බෙදීම සිදු වුනා. මේ නිසා ලංකාවේ දී අපි ‘ වාර්තා චිත්‍රපටය යනු සත්‍ය , කරුණු , තොරතුරු , නැති වී යන විෂයන් ගැන කතා කරන කලාවක් වශයෙන් ‘ නිර්වචනය කළා. නමුත් මහා සිනමාව ජන්මය ලබන්නේ වාර්තා චිත්‍රපටි ලෙසයි. වෘතාන්ත චිත්‍රපටි සහ වාර්තා චිත්‍රපටි බෙදන බෙදුම් රේඛාව විය යුත්තේ වෘතාන්ත චිත්‍රපටි ; ඔබ මනසේ ඇති දෙයක් ගැන කතා කරයි . වාර්තා චිත්‍රපට ඔබට පෙනෙන සත්‍ය පදනම් කර ගනියි. මේ අර්ථයෙන් මගේ චිත්‍රපටය වර්තා චිර්තරපටයක ට වඩා වෘතාන්ත චිත්‍රපටයක ට සමීප බවක් දක්වයි.

 වාර්තා චිත්‍රපට භාෂාවෙන් මේ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඔබේ චිත්‍රපටයේ Controlling thought (මෙහෙයුම්කාරක බලවේග ) හා Director’s Intention ( අධ්‍යක්ෂක වරයාගේ අභිප්‍රාය ) කුමක් ද ?


මගේ චිත්‍රපටයේ මෙහෙයුම්කාරකය තමයි ‘ අනෙකාගේ භය අත්‍යන්තයෙන් ම තමන්ගේ භය බවට පත් වීම ‘ ( Fear of the other will eventually lead to fear of oneself ) කියන කාරණාව. මෙම තත්ත්වය ඉතාමත් සංකීර්ණයි. බොහෝ විට ලෝකය පුරාම සිනමා කරුවන් සිය ජිවිත කාලය පුරාවට ම විසඳුම් සෙවීමට වෙහෙසෙන්නේ එක මූලික ප්‍රශ්නයකට ය. එයට ප්‍රවිෂ්ඨ වීමට බොහෝ දොරටු තිබිය හැක. නමුත් ඔබව ලුහු බඳිමින් , ඔබව වෙහෙසට පත් කරන ප්‍රශ්න තිබිය හැක්කේ එකක් පමණි. අපට අපගේ මෙහෙයුම්කාරක ප්‍රශ්නය හඳුනා ගන්න ට බොහෝ කාලයක් ගත වෙනවා.වාර්තා චිත්‍රපටකරුවකු ලෙසින් මගේ වාසනාව නම් එය අඩු වයසින් හඳුනා ගැනීමට හැකි වීමයි.

මෙහි අධ්‍යක්ෂකවරයාගේ අභිප්‍රාය වනුයේ ‘ යුද්ධයෙන් පසුව සමාජගත වූ මහා ආඛ්‍යානය’ නිවැරදි කිරීමයි. සමස්ත දෙමළ ප්‍රජාව කෙරෙහි ත්‍රස්තවාදී හංවඩුව ගැසීම කියන කාරණාව සරල එකක් නෙවෙයි. මේ තත්ත්වය දිහා ඉතාමත් පරිස්සමෙන් බැලුවොත් මේවා එක මත එකක් ඈඳෙන වග ද හඳුනා ගන්නට හැකියි. මේ නිසා ම මෙය විනිවිද දැකීම සහ අර්ථ ගැන්වීම ඉතාමත් ප්‍රවේශමෙන් කළ යුතු ශාස්ත්‍රාලීය ක්‍රියාවක්.

මේ විනය සහ ශික්ෂණය මට ලැබෙන්නේ ලෝක වාර්තා සිනමා ගුරුවරුන් සහ ආයතන සමඟ වැඩ කිරීමෙන්.

unnamed 6 අපේ පරම්පරාවේ බොහෝ දෙනෙකුගේ මිත්‍රයෙකු වූ ඔබේ මාමා , මනෝරංජන් අසාධාරණය ට එරෙහිව තුවක්කුව අතට ගත් කැරලිකරුවෙක්.ඔබ තුවක්කුව වෙනුවට කැමරාව අතට ගැනීමේ දේශපාලනය විග්‍රහ කරන්නේ කොහොමද ?


මම මේ චිත්‍රපටය පටන් ගත්තේ 2008. ඒ යුද්ධය ඉවර වෙමින් පැවති යුගය. යුද්ධය නිමා වෙමින් පවතින බව අපට හොඳින් දැනුනා. යුද්ධයේ නිමාව යනු ඉතාමත් වැදගත් මොහොතක්. යුද්ධයේ දී කතා නොකළ බොහෝ දේවල් වෙනුවෙන් විශාල රික්තකීය අවකාශයක් ගොඩ නැගුනා. යුද්ධයේ හේතු සම්බන්ධයෙන් , එහි මහා
ආඛ්යානය (Grand Narrative ) වුනේ ‘ දෙමළ කොටි තමයි යුද්ධයේ හේතුව ‘ යන කාරණාවයි.එහෙමයි ඒක නිර්වචනය වුනේ. මම පෞද්ගලිකව දමිළ කොටි මතවාදයේ දැඩි විවේචකයකු වුවත් , මෙම මහා ආඛ්‍යානය විසින් සමාජගත කළ දුර්මතය වහාම නිවැරදි කළ යුතු බව මට දැනුණා. යුද්ධය ආයුධ සන්නද්ධව නිමා වුනත් , යුද්ධය ඇති කළ සැබෑ හේතුත් දමිළ ජාතියට ඇති ප්‍රශ්නත් එලෙස ම ආමන්ත්‍රණය නොකර විසඳුම් නොමැතිව පවතින බවත් , දමිළ ජාතියේ වේදනාව අප නිරාවරණය කළ යුතු බවත් මම වටහා ගත්තා. ඒ වගේම අප දායක නොවූවත්, එහෙත් අපට පලා යා නොහැකි අපේ අත් වල ද තැවරී ඇති ලේ ගැනත් , පොදුවේ අප සමාව ගත යුතු වගත් ; එය කිසිසේත් ම පහසු කටයුත්තක් නොවන වගත් හොඳාකාරව ම දැනදැනත් මට එහි භයානක බව පෙනෙද්දී පවා ඒ සඳහා මැදිහත් වීමට මට දැඩි උවමනාවක් තිබුණා.මම ඒ සඳහා කැමරාව තෝරා ගත්තා.

මගේ මාමගෙත් ස්ථාවරය වුනෙත් ඒකමයි. ඔහු ද තුවක්කුව අතට ගත්තේ එම අරමුණින් ම වුනත් ඉතා කෙටි කාලයක දී ඔහු තේරුම් ගන්නවා දමිළ සමාජය තුළ ම වර්ධනය වෙමින් පැවති බිහිසුණු බව සහ මිලේච්ඡ බව. තමන්ගේ ම මිනිසුන් මරා දැමීම සහ බිහිසුණු බව හමුවේ එයට එකඟ වෙන්න බැරි ඔහු පසුකාලීනව තුවක්කුව ට වඩා මිනිසුන් විශ්වාස කර මෙරට සාම ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු බවට පත් වෙනවා. නමුත් මාමා තුවක්කුව අතට ගත් චක්‍රයේ ම තමයි මම කැමරාව අතට ගන්නෙත්. තුවක්කුවට පුළුවන් මිනිසුන් මරන්න. නමුත් කැමරාවට පුළුවන් මිනිසුන් ජිවත් කරන්න. මම තුවක්ක්කුවට වඩා කැමරාව විශ්වාස කරන්නේ ඒ නිසයි.

 සිංහල අන්තවාදී කොටස් සහ දමිළ අන්තවාදී කොටස් ඔබේ චිත්‍රපටය නොදැක, කතා සාරාංශය හෝ සම්මුඛ සාකච්චාවක උදෘතයක් පාදක කර ගනිමින් ඔබට චෝදනා කරනවා.ඔබ කොහොමද එකම මොහොතක ත්‍රස්තවාදියෙකු වන්නේ සහ නොවන්නේ ?

චිත්‍රපටය නොදැක කරන චෝදනා විතරක් නෙවෙයි පැසසුම් වුනත් මම ගෞරවනීය මැදිහත්වීම් ලෙසින් සලකන්නේ නෑ. චිත්‍රපටය නැරඹීමෙන් පසුව ඔබට අයිතිය තියෙනවා මම ත්‍රස්තවාදියෙක් ද , විමුක්තිකාමියෙක් ද වශයෙන් මතවාදීව වර්ග කරන්න. චිත්‍රපටය පිටපොත්තෙන් මනින්න එපා. එහි හරය හා එය ඇතිකරන මතවාදය මත පදනම්ව , මම කවුද කියන එක තීරණය කරන්න.චිත්‍රපටය යනු මගේ ප්‍රකාශනයයි.

 ජාත්‍යන්තර මාධ්‍ය ඔබේ නිර්මාණය අර්ථකථනය කිරීම , ඔබ අර්ථකථනය කරන්නේ කෙසේද ?


මගේ චිත්‍රපටය අතිශය පෞද්ගලික චිත්‍රපටයක්. මම වඩාත් සතුටට පත් වන්නේ මම නොවන , මගේ පවුල නොවන , මගේ ජාතිය නොවන , මගේ රටේ නොවන මිනිසුන් ට මගේ පෞද්ගලික ආමන්ත්‍රණය දැනෙනවා කියන්නේ එහි විශ්වීය ගුණයක්, පොදු මානවීය ආමන්ත්‍රණයක් ගැබ් වී ඇති බව එයින් සනාථ වනවා යන තර්කය මතයි. මගේ මූලික දෘෂ්ටිය වුනේ ‘’ දමිළ ජාතිය යනු කොටි ත්‍රස්තවාදීන් නොවේ “ යන්නයි. සමාජගත වැරදි අදහසක් නිසා ‘ අහිංසක දමිළ මිනිසා ‘ වෙන්කර හඳුනා ගැනීමට විශාල බාධාවක් ඇති කරනවා. මෙය තවත් පැහැදිලි කළොත් “ කොටින් කළ හැම මිලේච්ඡ ක්‍රියාවකටම දමිළ ජාතිය වන්දි ගෙවිය යුතු වන්නේ නෑ “කියන කාරණාවයි ඒ කිව්වේ.

කොටින්ගේ ක්‍රියාකලාපය ගැන දමිළ ජාතිය තුළ ම විශාල විරෝධයක්, එරෙහි වීමක් තියෙනවා. සියලුම දමිළ මිනිසුන් කොටින් ය යන හංවඩුව නිසා, දමිළ මිනිසුන් ට අවංකවම තමන් ගැන ස්වයං විවේචනයක් සිදු කර නිවැරදි වීමට ඇති ගෞරවනීය අවකාශය අහිමි වීම තමයි එහි ඇති බරපතල ම වැරැද්ද ලෙස මම සලකන්නේ. මගේ චිත්‍රපටය ආමන්ත්‍රණය කරන්නේ යුද්ධයෙන් පසුව අන්තවාදී කොටස් විසින් සමාජගත කළ මහා ආඛ්‍යානය ට විරුද්ධවයි. අන්තවාදී නොවූ දමිළ ජනතාව සහ අන්තවාදී නොවූ සිංහල ජනතාව මෙම තත්ත්වය හමුවේ අතිශය අසරණයි.
මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට පසුදා ප්‍රංශයේ ප්‍රධාන පුවත්පතක් වන ලිබරේෂන් පුවත්පත “ අපි දමිළ ජාතියේ නිදහස් වීම ගැන කතා කරමු; යුද්ධය ගැන කතා නොකර “ යනුවෙන් සටහනක් තබන්නේ “ Lets make love not war “ නම් ප්‍රස්ථාපිරුල නිර්මාණශීලිව භාවිතා කරමින්. සමස්තයක් ලෙස පැවතුනේ දේශපාලනික අර්ථ ගැන්වීම්. Letter Box නම් සඟරාව විසින් අතීත, වර්තමාන සහ අනාගත කාල ලෙස ගෙන කෝච්චි 3 ක කතාවක් ලෙසින් වෙනස් අර්ථකතනයක් ගෙනත් තිබුණා. නමුත් මට වඩාත් වැදගත් මේ ගැන කෙරෙන දේශපාලන විග්‍රහයන් ට වඩා, මේ ගැන කෙරෙන සිනමාත්මක විග්‍රහයන් ය. එම සංවාදය ඇරඹෙන්න තව ටික කාලයක් යාවි.

unnamed 1 ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් ජනප්‍රිය වන මතයක් තියෙනවා ජාත්‍යන්තර සම්මාන, ජාත්‍යන්තර හවුල් නිර්මාණ යනු ලංකාවේ සංස්කෘතිය විනාශ කරන , ලංකාව අපකීර්තියට පත් කරන විදේශීය කුමන්ත්‍රණ වල නියෝජිත ව්‍යාපෘති බව. ඔබට මේ ප්‍රශ්නය මගහැර යා නොහැකියි.

කතෘ සිනමාව හෝ ආත්ම ප්‍රකාශන සිනමාව රැඳී තියෙන්නේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල් නිසයි. ජාත්‍යන්තර සිනමා උළෙලක් යනු සිනමාවේ සංරක්ෂණමය අවකාශයක්. සත්තකින් ම ජාත්‍යන්තර සිනමා උළෙලක් විසින් සංස්කෘතික විනාශයක් නෙවෙයි සංස්කෘතික සුරක්ෂා කිරීමකුයි කරන්නේ. ලෝක සිනමාව සහ එහි හැසිරීම් ගැන නොදත් අයගේ හිතළු හා හුඹස් බිය පමණයි ඔය චෝදනා වල තියෙන්නේ .එහි කිසිඳු සත්‍යයක් හෝ තාර්කික පදනමක් නෑ.

මගේ සිනමා කෘතියට ආධාර උපකාර කළ සියලුම පුද්ගලයින් සහ ආයතන ලෝක සිනමාවේ අභිවෘදියට දීර්ඝකාලීනව සිට උදව් උපකාර කරන ආයතන. ඒක මම ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. කවුරුන් හෝ මට උපකාර කළ පාර්ශව වලට චෝදනා කරනවා නම් ඒ ලෝක සිනමාවට ම කරන චෝදනාවක්. මම ඒකට පෞද්ගලිකව පිළිතුරු දිය යුතු නැහැ.
La Femis ආයතනයේ ගුරුවරියක් වූ Isabelle Marina තමයි මුලින් ම මගේ ව්‍යාපෘතිය හඳුනා ගත්තේ.මම මුල් අදියරේ ලියපු කතා සාරාංශයක තිබුණු “ මම 1983 ජූලි කලබල වලදී කොළඹින් දුම්රියෙන් පලා ගියා “ කියන වාක්‍ය දකින ඇය ARCHIDOC Workshop ( La Femis ) වෙත මා යොමු කරනවා. පසුව ඇය මගේ සම තිර රචිකාව බවට පත් වෙනවා.
මේ වැඩමුළුවේ දී මට අපුරු ගුරුවරුන් දෙදෙනෙක් මුණ ගැසෙනවා .ඒ ප්‍රංශ ජාතික Stan Nuemann සහ ඊශ්‍රායල් ජාතික Erez Laufer යන දෙදෙනා. ඉන්පසුව EDN (European Documentary Network) හී දී මට Steen Muller ව මුණ ගැහෙනවා. මගේ ව්‍යාපෘතිය නොවැඩුණු අවධියක දී දැක එය මහා ව්‍යාපෘතියක් වන බවට විශ්වාස කළ අයෙක් ඔහු. Thierry Garrel කියන්නේ ප්‍රංශයේ වාර්තා චිත්‍රපට කලාවේ පියා ලෙසින් සැලකෙන පුද්ගලයා. තියරි ගැරල්ඩ් තමයි Amos Gita හා Rithy Panh යන වාර්තා චිත්‍රපට කරුවන් ලෝක වාර්තා සිනමාවට හඳුන්වා දෙන්නේ. ඔහු තමයි ARTE GRAND FORMAR ආයතනයේ නිර්මාතෘ. මට ඊළඟට උදව් කළේ IDFA ( International Documentary Film Festival ). මෙහි Bertha Fund එක සඳහා මම සුදුසුකම් ලැබුවා. මෙය ලෝකයේ ප්‍රධාන පෙලේ වාර්තා චිත්‍රපට සඳහා උපකාර කරන ආයතනයක්. මම 2010 වසරේ DOCAGE – KOLKATA – (Pitching Session In South Asia) වල ‘Best Pich’ හොඳම ඉදිරිපත් කිරීමට හිමි ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ACF – Busan – ( Asian Cinema Fund) සඳහා මගේ ව්‍යාපෘතිය තේරුණා. ඉන්පසු මගේ චිත්‍රපටයට විශාල වශයෙන් ආධාර ලැබුනේ CNC/ FCLA /PROCIREP යන ILL DE FRANCE ආයතනයේ මැදිහත්වීමෙන්. මෙහිදී මගේ නිෂ්පාදිකාව Julie Paratain ගේ මැදිහත් වීම නොවන්න මෙම ව්‍යාපෘතිය මෙතරම් දුරක් නොඑන බව නම් සහතිකයි.

මම මේ විස්තරය විශේෂයෙන් ම කිව්වේ වසර දහයක් පුරා කළ විශාල වැඩ කොටසක් සහ මිනිස් දායාත්වයක් මේ නිර්මාණයේ පිටුපස තියෙන වග පෙන්වන්නයි. මේ සියල්ලෝ ම ලෝක සිනමාව වෙනුවන් ඇපකැප වුවන්. ඇත්තෙන් ම අප කාගේ හෝ බල ව්‍යපෘතියක නොවෙයිනම් ඉන්නේ අපට මොවුන් මගහැර ගොස් අපේ ආත්ම ප්‍රකාශනය කළ නොහැකියි. ලෝක සිනමාවේ සංචලනයන් අප තේරුම් ගත යුතුයි. දුපත් මානසිකත්වයෙන් අපට ලෝක සිනමාව දැකගන්නට හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වන මේ මතය සිනමාව දන්නා , ජාත්‍යන්තරය ගැන දන්නා සිනමාකරුවන්ගේ මතය නෙවෙයි. මෙය සෑම ක්‍රියාවක ම ජාත්‍යන්තර කුමන්ත්‍රණ දකින, මුලධර්මවාදී, සිනමාකරුවන් නොවන සුළුතරයකගේ තේ කෝප්පයේ දකින සුළි කුණාටුවක් පමණි.

unnamed 5 කාන් උළෙල වාර්තා චිත්‍රපටයකින් නියෝජනය කළ පළමු ලාංකිකයා ලෙස ඔබගේ Demon in Paradise ශ්‍රී ලංකාවේ මහා පොළවට රැගෙන එන්නේ කෙසේද ? ඔබේ සිනමා කෘතිය විසින් මෙරට සමාජය තුළ ඇති කරනු යැයි ඔබ අපේක්ෂා කරන සමාජ පරිවර්තනය කුමක්ද ?

මම වැඩ නිමකර මගේ චිත්‍රපටය පළමු වරට නැරඹීමේ දී මට දැනුන දෙය තමයි, මම ශ්‍රී ලාංකිකයෙක් වූ නිසාම පමණයි Demon in Paradise චිත්‍රපටය නිර්මාණය කිරීමට හැකි වූයේ. එහි පූර්ණ ගෞරවය මා පුරවැසියකු කළ ශ්‍රී ලංකාවට උරුමයි. මේ නිර්මාණය කිරීම තුළින් මා තුළ වූ අසහනය , භිය හා පීඩනය යන කාරණා වලින් මම විශාල වශයෙන් නිදහසක් හා අත්මිදීමක් ලැබුවා. සිනමාවේ ඇති මහා බලය එයයි. ඇත්තටම අපිට චිත්‍රපට නිර්මාණය කරන්න බෑ. චිත්‍රපටය විසින් අපව නිර්මාණය කිරීමයි සිදු වන්නේ.
මම නොවන , මගේ පවුලේ නොවන, මගේ ජාතිය නොවන , මගේ රටේ නොවන අයෙකුට මෙම චිත්‍රපටය දැනුනා නම් , මගේ රටේ මගේ ම අනෙකා වූ සිංහල සමාජය මගේ ප්‍රශ්නය ගැන සංවේදී වන මොහොත දකින්න මම කැමැත්තෙන් ඉන්නවා. මගේ භය, මගේ සැකය , මගේ දුක තේරෙන හදවත් සිංහල සමාජයේ සිටින බව මට විශ්වාසයි. මගේ කථිකාව ඔවුන් සමඟයි. ඔවුන්ට මගේ පපුව ගැහෙන හඬ දැනෙන බව මම අත්දැකීමෙන් දන්නවා. ඒ මොහොත තමයි මේ චිත්‍රපටය හා මම ලබන මහා සම්මානය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top