Nov 17, 2016

ජාතිවාදය සහ ආගම්වාදය කියන්නේ භයානක මානසික ලෙඩක්

මාගම් සෝලිය, ලොවීනා, ආදරණීය වික්ටෝරියා නවකතා ත‍්‍රිත්වයට වගේම රැජිනටත් ඔබ පාදක කරගෙන තිබෙන්නේ ඉතිහාසයයි. සමහරු චෝදනා කරනවා ඔබ ඉතිහාසය විකෘති කරන්නෙක්ය කියලා. මේ

චෝදනාව ඔබ පිළිගන්නවාද?

මට එහෙම චෝදනා කරන්නෙ හරියට ඉතිහාසය ගැනවත්, නවකතාව කියන කලාංගය ගැනවත් දන්නෙ නැති අය. ප‍්‍රංශ ජාතික නැපෝලියන් බොනපාට් වරෙක ප‍්‍රකාශ කරලා තියෙනවා ඉතිහාසය කියන්නෙ මතුපිටින් එකග වූ බොරු එකතුවක් කියලා. ඒ වගේම ”ඩාවින්සි කෝඞ්” රචනා කළ ඩෑන් බ‍්‍රවුන් වරෙක කියනවා ඉතිහාසය හැම විටම ලියන්නේ පරාජයට පත් සතුරා හෙලා දකිමින් ජයග‍්‍රාහකයා විසින් කියල. මේ අදහස් දෙකම ඉතිහාසය සරළව තේරුම් ගන්න පුළුවන් හොඳ ප‍්‍රවේශයන් දෙකක්. එතකොට නවකතාව කියන්නේ සත්‍යය සහ කල්පිතය අතර මුහුවුනු නිර්මාණාත්මක අත්දැකීමක්. මේ අදහස් කිහිපය සමග ඔබටම පුළුවන් මං ඉතිහාසය විකෘති කරන්නෙක්ද නැද්ද කියල තීරණය කරන්න.


රැජින නවකතාවේ අනුලා රැජින සහ මිසරයේ ක්ලියෝපැට්රා රැජින එක සමාන කාල වකවානුවේ රාජ්‍යත්වයට පත් වූ බව ඔබ අනාවරණය කරනවා. මෙය ඉතිහාසඥයන්ට පමණක් නොව නිර්මාණකරුවන්ටත් මග හැරුණු තැනක්. කොහොමද ඔබ ඒ අනාවරණයට ප‍්‍රවේශ වුනේ?

Rejinaඇත්තටම ඒ හඳුනාගැනීම අහඹු සිදුවීමක්. අනුලා ගැන සහ ක්ලියෝපැට්රා ගැන මා පුරාවෘත්ත ගවේෂණය කළේ මෙහෙම නවකතාවක් ලියන්න අරමුණු කරගෙන නොවේ. එය මගේ ඇගේ අමාරුවට සිද්ධ වෙච්ච දෙයක්. නමුත් එක මොහොතකදී මට මේ දෙදෙනාම එකම කාලපරිච්ඡේදයක ජීවත් වූ ගැහැණුන් දෙදෙනෙකු බව අවබෝධ වෙනවා. ඒක හරියට කිසිම විද්‍යුත් පරිපථයක් නැතුව හිතේ කොනක විදුලි බල්බයක් දැල්වුනා වගේ දෙයක්. ඒ තිගැස්මෙන් මම එක දිගට සති දෙකක් විතර ගතකළා. ඒ සති දෙකපුරා මං නිදාගත්තේ මේ දෙන්නත් එක්ක. පාරතොටේ ඇවිද්දෙත් මේ දෙන්නත් එක්ක. කොටින්ම ආහාර ගත්තෙත් මේ දෙන්නත් එක්ක. දවසක් මට මතකයි මේ විදියට මං කල්පනා ලෝකෙ ඉද්දී මගේ බිරිඳ මගෙන් අහනවා, මොන ගෑණි ගැනද ඔය කල්පනා කරන්නේ කියල. මිනිහෙක් ගෑණියක් ගැන හිතනවා කියලා තවත් ගෑණියෙකුට දැනෙන ඉව පුදුම සහගතයි. හැබැයි මං ඒ වෙලාවේ කිව්ව නම් මං කල්පනා කරන්නේ අනුලා ගැනයි, ක්ලියොපැට්රා ගැනයි කියලා මගේ බිරිඳ මට නියත වශයෙන්ම කියනවා ගිහින් අංගොඩ නවතින්න කියලා. ඒ නිසා මං ඒ වෙලාවේ මුකුත් නොකිය නිහඬව සිටියා.

එතකොට ඔබ රැජින නවකතාව තුළ අනුලා සහ ක්ලියෝපැට්රාගේ හඳුනාගැනීම නිර්මාණය කරන්නෙ ඔබ ඔය කියන ඔබේ හිතුවක්කාර කල්පනාවේ ප‍්‍රතිඵලයක් විදියටද?

ඔව්, ඒක මුලින්ම මගේ හිතුවක්කාර කල්පනාවේ පිස්සු ප‍්‍රතිඵලයක් තමයි. කොහොම වුණත් මං ඒ වගේ පිස්සු අදහස් හිතන්න කැමතියි. නිකන් හිතන්න, කවදාවත් නීල් ආම්ස්ට්‍රොන්ට හදට පය තියන්න හම්බවෙනවද, ඊට පෙර දවසක ඒ හඳ අහසේ තියෙනවා දැකල කොපමණ දුර වුනත් මේකට යන්න පුළුවන් කියල කවුරු හරි හිතුවෙ නැත්නම්. ඒ නිසා හඳට ගිය නීල් ආම්ස්ට්‍රොන්ට වඩා මං ඇත්තටම ආදරේ කරන්නෙ මුලින්ම ඒ පිස්සු අදහස තමාගේ හිතේ ඇතිකර ගත්ත අපි කවුරුවත් නම නොදන්න ඒ පිස්සු මනුස්සයට.

ඒ කියන්නේ අනුලා සහ ක්ලියෝපැට්රා ගැන ඔබ රැජින තුළ ගොඩනගන්නෙ සම්පූර්ණයෙන්ම කල්පිතයක්?

නෑ.. ඒක එහෙම නෙමයි. මුලින්ම ඒක මගේ හිතුවක්කාර සිතුවිල්ලක් වුනාට තවත් දුර ඒ ඉතිහාසය ගවේෂණය කරන කොට මට ඒක සනාථ කරන යම් යම් සාක්‍ෂි හමුවුනා. මං එක උදාහරණයක් කියන්නම්. අනුලාගේ සහ ක්ලියෝපැට්රාගේ කාලයෙන් අවුරුදු 100 කට විතර පස්සේ ඒ කියන්නේ ක‍්‍රි.ව. 1 වන සියවසේ, නාවිකයන් මුහුදු ගමනාගමනය සඳහා භාවිතා කළ සිතියමක් ඉතිහාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. ,Periplus of the Erythrean Sea" , කියලා අන්තර්ජාලයේ සටහන් කළොත් ඔබට මෙය දකින්න පුළුවන්.  මේක ඒ කාලයේ රෝම ග‍්‍රීක හා මිසර ජාතිකයන් මධ්‍යධරණී මුහුද හරහා රතු මුහුද දිගේ පහළට ඇවිත් වෙළඳාම සඳහා ඉන්දියානු කලාපයට ගිය බවට සහතික කරන නාවුක ගමන්මාර්ග සහිත අත්පොතක්. මේ සිතියමේ ඉන්දියාවේ නැගෙනහිර වෙරළට යන එක් නැව් මාර්ගයක් වැටී තිබුණේ අපේ රටේ මන්නාරම හෙවත් මහාතිත්ථ තොටුපල ළගින්. මේ නිසා ඉතා පැහැදිලියි රෝම හා මිසර ජාතිකයන් වෙළඳාම සඳහා මින් අවුරුදු 2000 කටත් පෙර මෙරටට පැමිණ ඇති බව. ඒ නිසා අනුලා සහ ක්ලියෝපැට්රා අතර යම් දැන හැඳුනුම්කමක් තිබුණා යැයි කියන එක නිකම්ම නිකම් කල්පිතයක් නොවේ.

ඔබේ සුපුරුදු මායාමය ඉන්ද්‍රජාලික බව ඔබ රැජින තුළත් ඉදිරිපත් කර තිබෙනවා. එය ඔබ මෙවර ඉදිරිපත්කර තිබෙන්නේ මිසර දේව විශ්වාස ඇසුරින්?

ඔව්. මේ මිසර දේව විශ්වාස මගේ සිත්ගත් තැනක්. මොකද බොහෝ මිසර දෙවිවරුන් කිසියම් විදියකට රූපයෙන් විවිධ සත්වරූප වලට සමානයි. උකුසු හිසක් ඇති හෝරස් දෙවියන්, හිවල් හිසක් ඇති අනුබිස් දෙවියන්, බළල් හිසක් ඇති බාස්ටෙට් දෙවියන්, කිඹුල් හිසක් ඇති සොබෙක් දෙවියන් එයට උදාහරණ. මේ මිසර දේව විශ්වාසයන්හි හරය තමයි මරණින් මතුවූවත් සදාකාලික ජීවිතයක් ඇතැයි  විශ්වාස කිරීම. මියගිය මිසර රජවරුන්ගේ සහ ප‍්‍රභූන්ගේ සිරුරු, ඔවුන් අවුරුදු සිය දහස් ගණන් පවතින අයුරින් ”මමි” ලෙස කල්තබා ගැනීමට කටයුතු කළේ මේ විශ්වාස අනුවයි. අද අපිට මේ විශ්වාස කිසියම් ඉන්ද්‍රජාල හැඩයකින් පෙනුණාට මීට අවුරුදු තුන් හාරදහසකට පෙර මිසර ජාතිකයන් විශ්වාස කළේ එය සැබැවින්ම යථාර්තයක් විදියට.

ඔබේ නවකතාව තුළ අනුලා රැජින ලංකාවේ මිසර දෙවොලක් ඉදිකිරිමට කටයුතු කරනවා. මේක ඇත්තටම අනුලා රැජිනගේ තීරණයක්ද නැතිනම් නවකතාවේ කතුවරයා විදියට ඔබේ හිතුවක්කාර මැදිහත් වීමේ ප‍්‍රතිඵලයක්ද?

මෙහෙමයි, ඉතිහාසයේ පටන්ම මිනිසා තුළ ඇදහිලි හා විශ්වාස සම්බන්ධයෙන් පවතින බැඳීම අසාමාන්‍යයි. මේ වන විට අප විද්‍යාත්මක අතින් කෙතරම් දියුණු ලෝකයක සිටියත් අපේ රටේ දේවාලයක් හෝ පූජනීය ස්ථානයක් නැති එක වර්ගමීටරයක්වත් හොයා ගන්න බැරි තරම්. තව අවුරුදු සියයකින් මීට වඩා ලෝකය දියුණු වූවත් මෙහි ලොකු වෙනසක් ඇති වේ යැයි  සිතන්නට බැහැ. අනෙක් අතට විවිධ රටවල් අතර, විවිධ සංස්කෘතීන් අතර වුනත් ඇදහීම් හා විශ්වාස සම්බන්ධයෙන් අදහාගත නොහැකි සමානකම් අපට සොයාගත හැකියි. උදාහරණයකට ග‍්‍රීක දේවගණයේ සිටින ඇතැම් දෙවිවරුන් හා මිසර දේවගණයේ ඇතැම් දෙවිවරුන් අතර සමානකම් තිබෙනවා. ඒ වගේම මිසර දේව විශ්වාස හා ඉන්දියානු දේව විශ්වාස අතර සමානකම් තිබෙනවා. හෝමර් නම් ග‍්‍රීක කවියා ලියූ ඉලියඞ් සහ ඔඩිසි නමැති වීරකාව්‍ය දෙකේ කතාසාරය ඉන්දියාවේ මහාභාරතයේ හා රාමායනයේ කතාසාරයට අතිශයින්ම සමානයි. ඊළ`ගට මිසරයේ පිරමිඩ ආකෘතියට සමාන ඉදිකිරිම් මායන් ශිෂ්ඨාචාරයට අයත්ව තිබූ වර්තමාන මෙක්සිකෝවෙනුත්, මෙසපොතේනියානු ශිෂ්ඨාචාරයට අයත්ව තිබූ වර්තමාන ඉරාකයෙනුත් සොයාගෙන තිබෙනවා. අපේ රටේ චෛත්‍යමය ආකෘතියත් මේ පිරමිඩ ආකෘතියට සමාන යැයි වරක් යුරෝපියානු ඉතිහාසඥයෙක් ප‍්‍රකාශ කළා. මේ සියල්ලෙන්ම පැහැදිලියි ඇදහිලි හා විශ්වාස සම්බන්ධයෙන් කවර රටක කවර සංස්කෘතියක මිනිසෙකුට වුනත් පවතින්නේ එක සමාන විභවයක් බව. එසේ නම් මිසර දෙවොලක් මෙරට ඉදිකිරීම, රැජින නවකතාවේ කතුවරයා වශයෙන් මා විසින් ගත් තීරණයක් නොව ඒ නවකතාවට අදාල අනුලා රැජින විසින් ගත් තීරණයක් බව ඔබට පැහැදිලි විය යුතුයි.

ඇත්තටම රැජින නවකතාවෙන් ඔබට වුවමනා වුනේ මහාවංශ කතුවරයා විසින් කාමුක දුෂ්ට ගැහැණියක ලෙස හංවඩු ගැසූ අනුලා රැජින නිදහස් කරන්නද?

අපි මීට අවුරුදු දෙදහසකට කලින් අනුලාගේ කාලයටම යන්න වුවමනා නැහැ. නිකම් මේ වර්තමාන කාලයෙන් උදාහරණ අරගෙන බලන්න. කිසියම් කාන්තාවක් ගැන මේ සමාජයට ප‍්‍රශ්නයක් මතුවන විට ඇය සම්බන්ධයෙන් මේ සමාජය කරන්නේ කුමක්ද? ඇය දකින දකින මිනිහා සමග නිදිවදින, කිසිම චාරයක් නැති මහ වලත්ත ගැහැණියක් ලෙස හංවඩු ගැසීමෟ පැරණි අපේ ජාතක කතාකරුවා පවා ලියා තිබෙන්නෙ ”ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන” කියල. එහෙම තමයි  අපට පුරුදු කරලා තියෙන්නෙ කාන්තාව දිහා බලන්න. මේ කාමුක, වලත්ත හංවඩුගැසීම පමණක්ම ඇති ගැහැණියක් විනාශ කරන්න. එතනින් එහාට ඇයට ආත්මයක් නැහැ. ගැහැණියක් ලෙස මේ සමාජය තුළ ඇයට ගෞරවයෙන් පවතින්න හැකියාවක් නැහැ. එදා මෙදාතුර කිසිම කාමුක හැගීමක් ගෑවිලාවත් නැති සත්ගුණවත් බැතිබර මහත්වරුන් විසින් මෙලෙස විනාශකළ ගැහැණුන්ගේ ප‍්‍රමාණය, ගණනින් ගණන් කළ නොහැකියි. බාග වෙලාවට මෙවැනි චෝදනාවක් කරන්න ගැහැණියක් යන්තම් කොට සායක් ඇඳීමම ප‍්‍රමාණවත්. ඒ නිසා මට වුවමනා වුනේ අර මහාවංශ කතුවරයාගේ චෝදනාවෙන් අනුලා රැජින විතරක් නිදහස් කරන්න නෙවෙයි. මුළු කාන්තා සංහතියම නිදහස් කරන්න.

රැජින තුළින් ඔබ කතා කරන්නේ ඉතිහාසය ගැනම පමණක් නොවේ. මේ රටේ වර්තමාන සමාජයීය පසුබිම ගැනත් ඔබ එහි යටිපෙළින් කතා කරනවා. ඇත්ත වශයෙන්ම ඔබ රැජීන තුළින් උත්සාහ කළේ ජාති ආගම් සම්බන්ධයෙන් වූ ඔබේ පෞද්ගලික දේශපාලන දැක්ම සමාජගත කරන්නද?

මේ ප‍්‍රශ්නයට පිළිතුරක් විදියට මං පොඩි කතාවක් කියන්නම්. අපේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් කළ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අධිකාරම් මහතා ගැන ඔබ අසා ඇති. ඔහු ලන්ඩන් වලදී ඔහුගේ අචාර්ය උපාධියේ නිබන්ධනය සඳහා ඉදිරිපත් කරන්නේ ලංකාවේ බුදු සමයට පසුබිම් වූ ඉතිහාසය ගැන අධ්‍යයනයක්. ඒ කියන්නේ ඔහු සැබෑ බෞද්ධ දර්ශනය හඳුනාගත් සැබෑ බුද්ධිමතෙක්. වරක් ඔහු අංගොඩ මානසික රෝහලට ගියා මිතුරෙක් බලන්න. ඒ වෙලාවේ ”සිංහලේ දියසේන රජ්ජුරුවන් වහන්සේ” නමින් තමන් හඳුන්වා දුන් අයෙක් කතාවට වැටෙනවා ඔහු සමග. අධිකාරම් මහතා ඔහුට පහදා දෙන්න උත්සාහ කළා ඔහු දියසේන රජු නොවන බව. නමුත් අර රෝගියා රාජලීලාවෙන් හැසිරෙමින් තමන් දියසේන රජුම බව හඳුන්වා දුන්නා පමණක් නෙවෙයි, එසේ නොවන බව කියන හැමදෙනාම පිස්සන් බවත් ඔහු අධිකාරම් මහතාට ආවේගයෙන් අවධාරණය කලා. මේ අත්දැකීම අධිකාරම් මහතා පසුකාලයක ඔහුගේ ලිපියක සටහන් කරනවා. ඔහු එහි කියන්නේ, දියසේන නොවන තැනැත්තා දියසේන යැයි සිතාගෙන දියසේන ලෙස හැසිරෙන විට ඔහු මානසික රෝගියෙකු වේ නම්, නැති සිංහල ජාතියක්, නැති දෙමළ ජාතියක් ඇතැයි සිතාගෙන හැසිරෙන තැනැත්තාද මානසික රෝගියෙකු බවයි. නොඑසේ නම් ජාතිවාදය සහ ආගම්වාදය මානසික රෝග විශේෂයක් බවයි. මේ අර්ථකතනය අනුව අනුලාගෙන් පසු රාජ්‍යත්වයට පත්වන මකලන්තිස්ස රජුත් මානසික රෝගියෙක්.

ඔබ කියන්නේ ජාතිවාදය සහ ආගම්වාදය මිනිසුන් හිතින් මවා ගත්ත මානසික ලෙඩක් කියලද?

ඔව් ඒක පැහැදිලිවම මානසික ලෙඩක් පමණක් නෙවෙයි, මුළු ලෝකය පුරාම පැතිරී තිබෙන වසංගත ලෙඩක්. අනුලා රැජිනගේ කාලයේදී වගේම අදත් මේ ලෙඬේට පුළුවන් මිනිසුන් කුපිත කරවන්න. එකිනෙකා අතර ගැටුම් ඇතිකර මිනිස් සංහතියම විනාශ කරවන්න. මධ්‍යතන යුගයේ කුරුස යුද්ධ ගත්තත්, පළමුවන හා දෙවන ලෝක යුද්ධ ගත්තත්, තිස්වසරක අපේ රටේ පැවති යුද්ධය ගත්තත් එහි පසුබිමෙහි මේ මානසික රෝගය තිබෙන බව ඉතා පැහැදිලියි. ඒ නිසා අප අවට ලෝකය සැබෑ ලෙසම ලස්සන කරගත හැකි වන්නේ මේ ලෙඬේ අතිශයින්ම භයානක බව අප නිවැරදිව තේරුම් ගත්ත දවසට පමණයි.

සී.එස් තුෂාර

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top