Aug 29, 2017

සමිතාගේ අදහස සචිත්‍ර හෙළි කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්‍ෂ  ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මේ දිනවල කණ්ඩායමට ඇතුළත් නොවූවත්, ගායකයෙක් විදිහට නම්  ඔහු අපට හමුවෙනවා.

Marathondi 2"මරතෝන්ඩි දෑතේ" ගීතය තමයි ඔහුගේ අලුත්ම ගීත නිර්මාණය වන්නේ. මේ සඳහා යුග ගායනයෙන් එක්ව ඇත්තේ ප‍්‍රවීණ ගායන ශිල්පිනිය විශාරද සමිතා මුදන්කොටුව  මහත්මියයි.සචිත්‍ර ගයන මේ ගීතයේ රූප රංගනයට චාමර කපුගෙදර දායකව සිටිනවා. සචිත්‍ර අද අපට හමුවන්නේ මේ "මරතෝන්ඩි දෑතේ" ගීතය ගැන සහ ඔහුගේ ජීවිතයේ අලුත් විස්තර ගැන කතා කරන්නයි.

"සචිත්‍ර" මේ වනවිට ගීත කීයක් නම් නිර්මාණය කරලා තියෙනවා ද?
ගීත නිර්මාණ ඔක්කෝම තුනයි. ‘වටිනා ඔබගේ’, අම්මා ගැන ගැයූ ‘රුහිරු බිඳු’ සහ ‘මරතෝන්ඩි දෑතේ’ යන ගීත තුනයි.

"මරතෝන්ඩි දෑතේ" ගීතයට සමිතා කැමති වුණා ද?
කොහොමටත් මම යුග ගීතයක් නිර්මාණය කරන්න ආසාවෙන් හිටියෙ. එහිදී සමිතා අක්කා එක්ක ගීතයක් කරන්න ලැබුණොත් කියලා නිතරම හිතුවා. මේ ගැන "මරතෝන්ඩි දෑතේ"ගීතය නිර්මාණය කළ නිනෝට කිව්වාම එයා ඒ සියලූ කටයුතු සම්බන්ධීකරණය කරලා දුන්නා. සමිතා අක්කට කොහොමටත් මා එක්ක යුග ගීතයක් ගයන්න අදහසක් තිබිලා තියෙනවා. නමුත් පසුගිය කාලයේ ඇය අතිශය කාර්යබහුල වුණ නිසා වැඩේ කල් ගියා. පසුව මේ ගීතය නිර්මාණය කරන්න ඇය මට බොහෝම උදව් කළා.

 
”සමිතා” එක්ක ඒ ගීතය ගයද්දී ඔබට දැනුන හැඟීම කොහොම ද?
ඒ වගේ ප‍්‍රවීන ශිල්පිණියක සමග ආධුනික ශිල්පියෙක් හැටියට මට ලොකු තැති ගැනීමක් තිබුණේ. මම හරි ලජ්ජාවෙන් හිටියෙ. එක් වතාවක සමිතා අක්කා එයාගේ කොටස ගායනා කරලා ගියාට පස්සේ තමයි, මම මගේ කොටස ගායනා කළේ.

දැන් මේ මරතෝන්ඩි දෑතේ ගීතයට ලැබෙන ප‍්‍රතිචාර කොහොම ද?
කියන්න සතුටුයි, සතියක් යාමට පෙර යූටියුබ් හරහා 50,000කට වඩා පිරිසකගේ දැක්මට නතුවෙලා තිබුණා.

මේ වීඩියෝව නිර්මාණය කරන්න ගත්ත වෙහෙස මහන්සිය ගැන කිව්වොත්?
ගීතයේ රූගත කිරීම් සඳහා දවසක්ම ගියා. ඒකට ඉතින් ලොකුම සහයෝගය දුන්නෙ "කපූ" තමයි. ඒ දිනවල එයා එක් දිනක්වත් විවේකයක් නැති තරමට කාර්යබහුල වෙලයි හිටියෙ. දිගටම ක්‍රිකට් පුහුණුවීම් තිබුණු නිසාත්, සංචාරයක් යෑමට තිබුණු නිසාත් අතිශය කාර්යබහුල වුණා. නමුත් අපි යොදාගත්ත දිනයේදී ඒ වැඩ ඔක්කෝම පැත්තකට දාලා එයා රූගත කිරීම්වලට දායක වුණා. මුලින්ම මම මේ ගීතය අහන්න දුන්නෙත් එයාටයි. එයා ගීතය අහන අතරේ මෙහි වීඩියෝ එකට ඔයා තමයි එන්න ඕනෑ කියලා මම කපූට කිව්වා.

 

 

Marathondi 3

"කපූ" රඟපෑම හොඳට කළා ද?
ඉතාම හොඳින් කළා. සමහර දර්ශන දෙක තුනක් කරන්නවත් ඉඩ තැබුවේ නැහැ. සමහර තැන් හරි ගියේ නැත්නම්, එයාම ඒක බලලා ආයෙත් අපි ඒ කොටස කරමු කියලා, නැවත ඒ කොටස කළා. රූගත කළේ කොළඹ කෝවිලක. දවසක් ඇතුළතදී අපි සියලු රූගත කිරීම් හමාර කළා.

දැන් මෙතැන් සිට කපූ දිගටම රඟපාවි ද? ඔබ ගීත ගයාවි ද?
මම හිතන්නේ නැහැ අපි දෙන්නාම එහෙම කරාවි කියලා. අපි දෙන්නගෙම ආත්මය වන්නේ ක්‍රිකට්. හැබැයි ඉතින් ගායනයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක බැලූවාම මේ ක්ෂේත්‍රරයත් හොඳයි.

එතකොට දැන් ඔබගේ ක්‍රිකට් ජීවිතයට මොකද වෙන්නේ?
ඇත්තෙන්ම වෙන දේ තමයි මාත් බලාගෙන ඉන්නේ. අන්තර් සාමාජයීය තරගාවලිය ඉතා හොඳට කළා. එස්.එස්.සී කණ්ඩායමේ මේ වසරේ නායකයා මමයි. අන්තර් සාමජයීයතරගවලදී කඩුළු පනහකට ආසන්න සංඛ්‍යාවක් සහ පිතිකරණයෙනුත් හොඳට දක්‍ෂතා පෙන්නුවා. එස්.එස්.සී කණ්ඩායම එක්ක මෙල්බර්න්, සිඞ්නි දකුණු අප්‍රිකානු සහ සිංගප්පූරුවේ පැවැති විස්සයි විස්ස තරග මාලාවකටත් දායක වුණා. එහිදී ජයග්‍රහණය කළේ එස්.එස්.සී කණ්ඩායමයි.

ජාතික කණ්ඩායමේ අවස්ථාව අහිමි වුණාම මොන වගේ හැඟීමක් ද ඇති වෙන්නේ?
ඇත්තටම දුකයි. අපි කවදාවත් නැතුව ලොකු පසුබෑමකට ලක්වෙලා තිබුණෙ. ඉතින් කණ්ඩායමට එක්වෙලා රටේ ගෞරවය වෙනුවෙන් මටත් මොනවා හරි කරන්න තිබුණා නම් කියලා හිතුවා.

Marathondi 4පුද්ගලික ජීවිතයේ විස්තරත් කිව්වොත්?
පසුගිය කාලයේ ක්‍රිකට්වලින් තොරව කාර්යබහුලත්වය අඩු වුණාම දරු දෙදෙනා සහ බිරිඳ එක්ක වැඩිපුර කාලය ගත කරන්න ලැබුණා.

සිංගප්පූරු තරගාවලියේදී ඔබ හොඳම පන්දු යවන්නාත් වුණාලූ නේද?
ඒ තරගාවලියේදී  ජයග්‍රහණය කළා වගේම මම හොඳම පන්දු යවන්නා ලෙස තේරුණා.

"සචිත්‍ර" වැටීම් සහ නැගිටීම් සමග ගෙවන ජීවිතයට මුහුණ දෙන්නෙ කොහොම ද?
ජීවිතය අභියෝගයක්. ඒක එහෙම නම්, අපි ජීවිතයේ පසුබෑම් සහ වැටිච්ච අවස්ථා පළපුරුද්දක් කරගත යුතුයි. හොඳ කාලයට වඩා වැටෙන කාලයේදී තමයි අපට බොහෝ දේ ගැන හරි වටහා ගැනීම කරන්නත් පුළුවන්. එය අභියෝගයක් ලෙස ගෙන හොඳ කාලයේදී හොඳ විදියට සහ මොන දේ හෝ වේවා සැමදාම ජීවිතය යහපත්ව ගෙවීම තමයි වැදගත්.

සචිත්‍ර ඔබගේ ප‍්‍රියතම ගායන ශිල්පිනිය කවුද?
සමිතා සහ උමාරියා.

ගායකයා?
සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි. එතුමා තමයි මගේ සංගීත ගුරුවරයා.

ඔබගේ ගායනය ගැන බිරිඳ මොනවා ද කියන්නේ.
එදා ඉඳලම එයා මට මගේ ගායන දිවියට ලබා දෙන සහයෝගය හරි ඉහළයි. ක්‍රිකට්l ක්‍රීඩකයකුට අවශ්‍ය සැහැල්ලු මානසිකත්වය මොන වගේ ද කියලා එයා දන්නවා. මගේ ක්‍රිකට් ජීවිතයේ වගේම සංගීත ජීවිතේ හොඳම රසිකාවිය වන්නේ ඇය සහ මගේ පවුලේ සියලු දෙනායි.

සඳුන් ගමගේ

Marathondi 5

Marathondi 1

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top