Sep 04, 2017

ඔරු පදින්න ගිහින් ධනංජයටයි ගයේෂටයි වුණ දේ

රංගන ක්ෂේත‍්‍රයේ පේ‍්‍රක්ෂක ආදරය දිනා ගත් ජනප‍්‍රිය තරුවක් අද කතාබහට එකතු කරගන්න හිතුවා. මේ දිනවල රූපවාහිණිය ඔස්සේ විකාශනය වන මිල්ලෑව වලව්ව ටෙලි වෘතාන්තය
හරහා ද ඔබේ නිවසට ගොඩවෙන ඔහු ධනංජය සිරිවර්ධන අද කතාබහ තුළින් අපි මුණගැහුණා.

මේ දවස්වල ධනංජය රූප මාධ්‍යයෙන් පේන්න හිටියට කලා කටයුතුවලින් ටිකක් ඈත් වෙලා කියන්නේ ඇත්තද?

ඔව්. පහුගිය දවල්වල දිගටම කලා කටයුතු එක්ක ඉඳලා පොඩි විවේකයක් ගත්තා. අලුතින් හදන නිවහනේ වැඩවලට ගත්ත විවේකය කැප කළා. සැප්තැම්බර්වල ඉඳලා නැවත කලා කටයුතු
ආරම්භ කරනවා. තවත් අලූත් වැඩකට අත ගැහුවා. මම අලුතින් සිනමා පිටපතක් ලියනවා. මේ වසර ඇතුළත පිටපත ලියලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට මම හොඳ
නිෂ්පාදකවරයෙක් සොයනවා. ලබන වසරේදී චිත‍්‍රපටය අනිවාර්යෙන්ම කරනවා. ඒක කව්රුත් හිතලා නැති අලුත් නිර්මාණයක් වේවි කියලා හිතනවා.

මේ දිනවල බොහෝ කතාබහට ලක්වෙන මිල්ලෑව වලව්ව නිර්මාණය ගැන කතා කළොත්?

ඇත්තටම මිල්ලෑව වලව්ව කියන්නේ කාලෙකට පස්සේ පුංචි තිරයෙන් දැක ගන්න ලැබෙන ලස්සන කතාවක්. භූත, අවතාර මේ කතාවෙ නැහැ. අද්භූත, ගුප්ත සිදුවීම් එක්ක තමයි කතාව
 ගෙතිලා තියෙන්නේ. මේ වලව්වේ එක කාමරයක අභිරහස් විදියට මනුස්සයෙක් සිරගත වෙලා ඉන්නවා. ඒ අභිරහස් මිනිසා කවුද කියන එක තමයි කතාව පුරාවටම සොයන්නේ. සිරකරු එළියට ආපු දවසට මිල්ලෑව වලව්වේ ප‍්‍රශ්නය විසඳේවි.

ඔබ පණ පොවන අසෝක අප්පු කියන චරිතය ගැන කතා කරොත්?

අසෝක අප්පු කියන්නේ ගුප්ත, මහා අද්භූත චරිතයක්. ඔහු නිතරම කතා කරන්නේ යමක් හිතේ හංගගෙන. ඔහුට තියෙන්නේ බොහෝ අස්වාභාවික ගති ලක්ෂණ. ප‍්‍රථම වතාවට මම මේ නාට්‍යයේ චරිත තුනකින් පෙනී සිටිනවා. ඒක මට ගොඩක් විශේෂයි. අසෝක අප්පු, අසෝක අප්පුගේ පියා සහ ඉදිරි තීරණාත්මක චරිතය තවම පේ‍්‍රක්ෂකයා දැකලා නැහැ. ප‍්‍රබලතම තුන් වැනි චරිතය කතාවේ ඉදිරියට දැකගන්න පුළුවන්.

අසෝක අප්පුගේ චරිතය ධනංජය කියන නළුවට අභියෝගයක් වුණේ කොහොමද?

21396858 10214548878783832 1662337565 nචරිත තුනක් නිරූපණය කරන නිසා චරිතය මට ලොකු අභියෝගයක් වුණා.ඒ චරිත තුනෙන්ම මට කොතැනකදිවත් ධනංජයව පෙන්වන්න  ඕන වුණේ නැහැ. මට  ඕන වුණේ ධනංජයව අමතක කරලා අසෝක අප්පු වෙන්න. අංග රචක ශිල්පියා සම්පූර්ණයෙන්ම මාව වෙනස් කළා. මුලින්ම අසෝක අප්පු කියන චරිතයට මාව වෙස් ගන්වලා ඉවර වෙලා එළියට ආවම අධ්‍යක්ෂවරු දෙන්නා. "කෝ බං ධනා තාම මේකප් කරලා ඉවර නැද්ද" කියලා මගෙන්ම ඇහුවා. එදා කණ්ඩායමේ ඉඳපු බොහෝ දෙනාට මාව අඳුර ගන්නාබැරි වුණා. පේ‍්‍රක්ෂකයන්ටත් එහෙමයි. ඒ තරමට අසෝක අප්පු චරිතය මාව වෙනස් කළා.

දර්ශන තලයේ මතකයන්.

ඉතාම ත‍්‍රාසජනක සිද්ධි කිහිපයකටම මුහුණ දෙන්න වුණා. රූගත කිරීම් සියල්ල සිදු වුණේ කඩුවෙල, බියගම ප‍්‍රදේශවල. මේ ළඟදී එක දර්ශනයක් තිබුණා කැලණි ගඟේ ගයේෂටයි
 මටයි ඔරුවක් පැදගෙන යන්න. ඔරුව ඇතුළට වතුර ඇවිල්ලා එක පාරටම ඔරුව පෙරළිලා ගයේෂවයි, මාවයි ගිලෙන්න ගියා. මම යන්තම් පීනලා ගොඩට ආවා. ගයේෂා සාරියක් ඇඳගෙන
 ඉඳපු නිසා පීනගන්න බැරි වුණා. ගමේ අයයි අපේ සෙට් එකේ අයයි එකතු වෙලා තමයි අපි දෙන්නව ගොඩට ගත්තේ. ඒ අවස්ථාව නම් ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ.

ඔබ රඟපෑ ගොඩක් චරිත ගත්තම අභිරහස් දේවල් සොයා යන ගවේෂණාත්මක චරිත හරහා තමයි දකින්න ලැබෙන්නේ. මෙවැනි චරිත පසුපසම හඹා යන්න හේතුවක් තියෙනවද?

නළුවෙක් කරන්නේ තමන්ගේ ජීවිත කාලය පුරාම ගවේශෂණයක්. මම නළුවෙක් විදිහට දේවල් සොයා ගෙන යන්න, චරිත සොයා ගෙන යන්න, විවිධ මිනිස්සු සොයා ගෙන යන්න, විවිධ
පළාත්වලට යන්න කැමති කෙනෙක්. මිල්ලෑව වලව්ව කියන්නේ මගේ රංගන ජීවිතේ සොයාගෙන ගිහින් නැවතුන නවාතැන්පොළක්. සීනි බෝල චරිතයක් වෙනවට වඩා ධනංජය කියන චරිතය ඇතුළේ ඉන්න ගවේෂණාත්මක චරිතයට මම හරිම කැමැතියි.

කොහොමද මිල්ලෑව වලව්වට ලැබෙන ප‍්‍රතිචාර?

ඇත්තටම මිල්ලෑව වලව්ව මේ තරමට පේ‍්‍රක්ෂකයන් වැළඳ ගනීවි කියලා සිතුවෙම නැහැ. මොකද මේක මෙගා නාට්‍යයක් නොවන නිසා. ඒත් මේ වලව්ව පිළිබඳව, රංගනයන් පිළිබඳව,
ඒ පරිසරය පිළිබඳව බොහෝ පේ‍්‍රක්ෂකයෝ අපෙන් කතා කරලා තොරතුරු අහනවා. පේ‍්‍රක්ෂකයන් මේ කතාව එක්ක ඉන්න එක ගැන ගොඩක්ම සතුටුයි. ඒ වගේම රංගනයෙන්
දායක වෙන ප‍්‍රවීණ නවක සියලූම දෙනා ඉතාමත් ඉහළින් රංගන දායකත්වයෙන් මිල්ලෑව වලව්වට ලබා දෙනවා.

ඔබත් මෙගා රැල්ලෙන් දැන් ඈත් වෙලාද?

මෙගා කියන්නේ, අද පේ‍්‍රක්ෂකයාගේ ඔළුවේ ප‍්‍රශ්නයක් හදලා හෙට ඒකට උත්තරයක් හොයලා, අනිද්දට ආයෙත් අලුත් ගැටලූවක් මතු කරමින් මේ ක‍්‍රියාව නොකඩවා ගෙන යන කතා
 නිර්මාණයක්. මම ඒකෙ වරදක් දකින්නේ නැහැ. ඒක තවත් එක් ටෙලි නාට්‍ය ආකෘතියක්. මා මෙගා රැල්ලට විරුද්ධ නැහැ. මෙගා නාට්‍යවලත් හොඳ පිටපත් තියෙනවා. මම පෞද්ගලිකව දීර්ඝ ටෙලි නාට්‍ය භාර ගන්න කැමති නැහැ. හේතුව මම ආසයි එකිනෙකට වෙනස් චරිතවලට යන්න. දීර්ඝ ටෙලි නාට්‍යයක් ඇතුළේ හිර වුණොත් මම තුළ ඉන්න ගවේෂණාත්මක නළුවට ලොකු අසාධාරණයක් වෙනවා.

මිල්ලෑව වලව්වට අමතරව මොනවද අලුත් නිර්මාණ?
චන්දික විජේසිංහගේ ‘‘කොන් කළ දෝණි’’ නාට්‍යයේ වැඩ කරගෙන යනවා. ළඟදීම ඒ නාට්‍යයත් විකාශනය වීමට නියමිතයි. කරපු චිත‍්‍රපටි කිහිපයකුත් තිරගත වීමට නියමිතව
තියෙනවා.

ධනංජය දැන් වේදිකාව අමතක කරලම දාලද?
අපෝ නැහැ. වසර දහයකට පස්සේ නැවත මම ළඟදීම වේදිකාවට ගොඩවෙනවා. ප‍්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකුගේ අලුත් වේදිකා නාට්‍යයට දායක වෙනවා. ඒක ගැන
පස්සේ කතා කරමු.

එදා ජීවිතේ නළුවෙක් වෙන්න ගත්ත තීරණය ගැන ධනංජය අද මොකද හිතෙන්නේ?
නළුවෙක් වුණ එක ගැන අප‍්‍රමාණ සතුටු වෙනවා. මම කරන්නේ ලෝකෙ වාසනාවන්තම රැකියාවක්. මම ආසයි කාලෙන් කාලෙට වෙනස් වෙන්න. නළුවෙක් වුණාම මට පුළුවන්
 වුණා තත්පර ගාණකට හරි මම නොවන කෙනෙක් බවට පත්වෙන්න. මම දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගත්තේ නැහැ. ඒත් මම දොස්තර චරිත විශාල ප‍්‍රමාණයක්
කරලා තියෙනවා. නළුකම නිසා විවිධ චරිත බවට පත් වෙන්න මට අවස්ථාව ලැබුණා.

අශෝක කහඳගමගේ ‘‘මේ පාරෙන් එන්න’’ කියන ටෙලි නාට්‍යයට තිර පරීක්ෂණයට යන්න එදා ගත්ත තීරණය ගැන මම අද ගොඩක් සතුටු වෙනවා. මම මතු වුණේ එතැනින්.හැමෝම දොස්තරලා ඉංජිනේරුවෝ නොවී එක දරුවෙක් හරි අත උස්සලා මම නළුවෙක් වෙන්න කැමතියි කියලා මේ රටේ කලාවේ නව දැක්මක් ඇති වුණ දවසට ඒ දරුවන්ට
මේ තැන භාර දීලා ලොකු සතුටකින් මම කලාවෙන් සමුගන්නවා.

පෞද්ගලික ජීවිතේ තොරතුරු කොහොමද?
සාමාන්‍ය විදියට සතුටින් ඉන්නවා. ජීවිතේ ගැනත් ඉදිරියේදී ලොකුවට කතා කරන්න දවසක් ඒවි කියලා හිතනවා.ඒ ප‍්‍රශ්නාර්ථයට ඉදිරියේදී ළඟදීම උත්තර දෙන්නම්.

නදීශා අතුකෝරළ

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top