15976 BM WEB BANNER 01
Sep 22, 2017

කලාව හින්දා මංගල මුද්දත් සින්න වුණා

කාලයක් ලොකු අයියගේ Workshop එක හරහා නළු නිළියන් බොහොමයක් අද වෙද්දී දක්ෂ නළු නිළියන් වෙලා තියෙනවා. ඒත්.... අද ලොකු අයියාගේ Workshop එක නෑ.... ඇයි ඒ...?

අවුරුදු තුනක කාලයක් මම එකදිගට සතියෙ දවස් පහම ඒ Workshop එක කළා. මගේ අතින් වියදම් කරගෙන මම ඒක කළා. නමුත් ඒක තවදුරටත් මට පවත්වාගෙන යන්න බැරිවුණා. ඒක පවත්වාගෙන යන්න යුරෝපයේ හිටිය මගේ යාළුවෝ පිරිසක් උදව් කළා. ඉතාලියේ ප්‍රංශයේ ජර්මනියේ හිටිය යාළුවෝ පිරිසක් තමයි එහෙම මට උදව් කළේ. ඒත්... හැමදාමත් හැම තිස්සේම මට උන්ට කරදර කරන්න බැහැනේ. ඒ වෙනුවෙන් මට ලක්ෂ දහයක් පහළොවක් නැතිවුණා. ඒ නිසා ඉතින් මගේ Workshop එක නතර කරලා දැම්මා. හැබැයි, මේ දවස්වල සෙනසුරාදා සුදර්ශියේ මම Class කරනවා.

ඔබට පෙර සහ ඔබේ පරපුර ආපු කලාවට වඩා අද කලාව වෙනස්. අද බොහෝ නළු නිළියන් එක රුයින් ජනප්‍රිය වෙනවා. රඟපෑමට වඩා වෙන දේවල් නිසා තැනක් හදාගෙන අද වැජඹෙන්න උත්සාහ ගන්නවා. නමුත් පැවැත්මක් නෑ. එදා සහ අද ඔබ දකින්නේ කොහොමද..?

මේක දැන් භෞතිකවාදී සමාජයක් වෙලානේ. ඔවුන්ට විෂය වර්ධනයෙන් වැඩක් වෙන්නේ නෑ. මොන විදිහකින් හරි සුඛ විහරණය හදාගෙන පෙන්නන්න තමයි ඔවුන් බලන්නේ. අද බොහෝ නවක නළු නිළියන් හිතන්නේ මේ ක්ෂේත්‍රයේ රුඳිලා ඉන්න නම් ඕනෑම ටෙලිනාට්‍යයක් කරනවා. ඕනෑම චරිතයක් කරනවා. චිත්‍රපටයක් නම් බලන්නේම නැහැ. ඔහේ බාරගන්නවා. මම කියන්නේ නෑ සල්ලි හම්බ කරන්න ඕනේ නෑ කියලා. යාන වාහන තියෙන්න ඕනේ. අඳින්න පළඳින්න තියෙන්න ඕනේ. තමන් කැමති දේවල් ගන්න ඕනේ. නමුත් ඊට සමගාමීව තමන්ගේ විෂය පිළිබඳව වර්ධනයකුත් තියෙන්න ඕනේ. අද බොහෝ දෙනා කලාව හරහා සපත්තු, කලිසම්, ෂර්ට්, ගවුම්, වාහන තමයි එකතු කරගන්න උත්සාහ කරන්නේ. නමුත් ජීවිතේ අපස්සට හැරිලා බලද්දී දවසක තේරේවි ජීවිතේ අපරාදේ විනාශ කරගත්තා කියලා. හැබැයි සමහරවිට එතකොට පරක්කු වැඩියි.

ඒ කියන්නේ ලොකු අයියගේ හිතේ සිනමාව සහ මේ පවතින රුල්ල ගැන කලකිරීමක් නේද තියෙන්නේ?

ඔව්... ඔව්... ඇත්ත. මගේ හිතේ ලොකු කලකිරීමක් තියෙනවා. සිනමාවට වැරදුණු තැන ගොඩක් කල්. මේ කලාව රුකගන්න රජය මීට වඩා මැදිහත්විය යුතුයි. ඕනෑම රටක කලාව නගා සිටුවන්න යම් යම් දේවල් කරනවා. අපිට හරි ප්‍රතිපත්තියක් නෑ. මේක කලාවක් වගේම කර්මාන්තයක්. එතකොට මේ කර්මාන්තයේ පැවැත්ම සඳහා මොනවද කරන්න ඕනේ. කලාවේ පැවැත්ම සඳහා මොනවද කරන්න ඕනේ. මේ කලාත්මක සිනමා ධාරාවයි වාණිජ සිනමා ධාරාවයි එක සමානව යන්න ඕනේ. ඉස්සර සම්භාව්‍ය පස්වන මණ්ඩලයේ සිනමාව කියලා දෙයක් තිබුණා. දැන් එක් නෑ. මෙහෙම කරන්නේ ඇයි? කිසිම දැක්මක් නැතිව ප්‍රතිපත්තියක් නැතිව අද සිනමාව අයාලේ යන තත්ත්වයට පත්වෙලා. සල්ලි කීයක් හරි හම්බ වෙනවා නම් ඕනෑම මඟුලක් පෙන්නනවා.

අනිල් කපූර් ලංකාවට ආපු වෙලාවේ ලොකු අයියාව බොහෝ ඇගයීම් කරලා ඉන්දියාවේ නිර්මාණයකට කතා කළා. ඒකට මොකද වුණේ?

ඒ වගේ තත්ත්වයකට යොමුවෙන්න නම් මෙහේ බොහෝ දේවල් මට වෙනස් කරගන්න සිද්ධ වෙනවා. මේ රටේ නළුවෙක් හැටියට ඉන්න එකයි ඒ රටේ නළුවෙක් හැටියට ඉන්න එකයි වෙනස්. නිකං මේ බෑග් එකකට ඇඳුම් ටිකක් දාගෙන ඉන්දියාවට ගිහින් &හායි... මම රෙඩි* කියලා කියන්න මට බැහැ. මම ඒ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනේ. මම මැනේජර් කෙනෙක් හදාගෙන... මගේ Team එකක් හදාගෙන ඒ භාෂාව ඉගෙන ගෙන තමයි යන්න ඕනේ. ඉතින් ඒ හැම දෙයක්ම කරන්න කාලවේලාවක් නැහැ. දැන් මම ඉන්නේ ජීවත්වීමේ ෆයිට් එකත් එක්කයි. තාමත් &ඇක්ෂන්, කට්  කියන තැනේ තමයි මම ඉන්නේ. ඒ නිසා තාමත් අර සඳහා යොමුවෙන්න කාලය මට නැහැ. හැබැයි ඉතින් අදහස අත්හැරලා නෑ. හිතේ පොඩි පොඩි බලාපොරොත්තු නම් තියෙනවා. මොනව හරි දෙයක් කරන්න ඕනේ කියලා. හිතුණ ගමන් හිතට එන කලකිරීමත් එක්ක මේ මඟුල් ඔක්කොම නවත්තල දාලා ඔය කොහේ හරි යන්න හිතුණු වෙලාවල් අනන්තවත් තියෙනවා.

දැන් ඉලන්දාරි තුන්දෙනෙක්ගේ තාත්තා කෙනෙක්...?

නෑ... මාත් එක්ක ඉලන්දාරියෝ හතරදෙනයි. හැබැයි ලොකු කොල්ලා වගේ ඒ කිසිම කොල්ලෙක් මේ ෆීල්ඩ් එකට නම් එන්නේ නෑ. (ලොකු කොල්ලා කියලා මේ කියන්නේ මහේන්ද්‍ර ගැනම තමයි) පුංචි කාලේ ඉඳන් ඒ අයට කැමති දෙයක් කරන්න දීලා මම නිකං හිටියා. වාසනාවට ඒ කොල්ලෝ මේ ෆීල්ඩ් එකට එන්න හැදුවේ නෑ. දැන් ලොකු පුතා සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ සේවය කරනවා. දෙවැන්නා ඕස්ට්‍රේලියාවේ. තුන්වැන්නා අධ්‍යාපනය හදාරලා අවසන් කරලා උපාධියක් හදාරනවා. ඉතින් උන් ගැන අද මට සතුටුයි.

මොනවද තියෙන බලාපොරොත්තු?

එහෙම ලොකු බලාපොරොත්තුවක් නෑ. අද මේ තැනට එන්න පුදුම දුකක් වින්දා. පුදුම කට්ටක් කෑවා. එහෙම නැතිව මේක මල් ඇතිරෑ මාවත දිගේ ආපු ගමනක් නෙමේ. අදටත් මගේ අතේ මගේ මංගල මුද්ද නෑ. කලාව නිසා ඒකත් උගස් තියලා අන්තිමට ඒකත් සින්න වුණා. කාලයක් ආසාවෙන් හිටියා අපේ කලාකරැවන්ට කලාකාරියන්ට එකතුවෙන්න. නාට්‍යයක් පුරැදු පුහුණු වෙන්න, චිත්‍රපටයක් බලන්න, කතාබහ කරන්න, යමක් ඉගෙන ගන්න තැනක් හදන්න. නමුත් ඒවා හීන විතරක්ම වුණා. ඉතින් පුළුවන් විදිහට මේ ක්ෂේත්‍රයේ ඉඳලා පුළුවන් යමක් කරලා දවසක මේ පොළොවේ වැළලිලා යාවි....

(සාරවිට)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top