Nov 06, 2017

සිනමාවේ මට වාරණයක් නෑ - හේමාල්

ජනප්‍රිය සිනමා රංගන ශිල්පියෙකු වන හේමාල් රණසිංහ රංගනයෙන් දායක වූ ‘දේදුනු ආකාසේ’ සිනමා නිර්මාණය මේ දිනවල තිරගත වෙයි. මේ සංවාද සටහන ඔහු සමගිනි.

‘දේදුනු ආකාසේ’ චිත්‍රපටය මේ වනවිට තිරගත වෙනවා. මේ සිනමා නිර්මාණය ප්‍රේක්ෂකාගාරය භාරගත් ආකාරය ගැන ඔබේ අදහස මොකද්ද?

මේ වනවිට මේ සිනමා නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර බැලුවම සෑහීමකට පත්විය හැකියි. මෙහි තිබෙන විශේෂත්වයක් ලෙස දකින්නේ ප්‍රේක්ෂක පිරිසකට පමණක් සීමා නොවී විශාල ප්‍රේක්ෂක පිරිසක් අතරට යන්න මේ සිනමා නිර්මාණයට හැකිවීම. පසුගිය කාලවකවානුවේදී පවුල් පසුබිම පදනම් කරගත් චිත්‍රපටවලට වඩා ඉතිහාස කතා පාදක කරගත් චිත්‍රපටවලට වැඩි ආකර්ෂණයක් තිබුණා. පවුල කේන්ද්‍රීය කරගත් මෙවැනි චිත්‍රපට බිහිවීමත් එක්ක මේ ගමන් මග යම් වෙනසකට ලක්වුණා කියලා මට හිතෙනවා.

මේ චිත්‍රපටයේ රංගන දායකත්වය ලබාදෙන්නේ සිනමාවට පිවිසෙන නවක රංගන ශිල්පිනියන් දෙදෙනෙක් එක්ක. එය කොතරම් අභියෝගාත්මකද?

එය අභියෝගයක් තමයි. නමුත් අත්දැකීම්වලින් බහුල රංගන ශිල්පිනියන්ට වඩා ඔවුන්ගේ රංගන වින්‍යාසය හරි නැවුම් බවක් තියනවා කියන එක මම විශ්වාස කරනවා. මේ නිර්මාණයේ දී අධ්‍යක්ෂකවරයා දක්ෂ ලෙස ඔවුන්ව හැසිරුවා. ඒ නිසාම ඔවුන් එක්ක රංගන කාර්යේ යෙදෙන විට ඔවුන්ව හසුරවා ගෙන රංගන කටයුතු සිදුකළ හැකි මට්ටමට ඔවුන්ගේ මනසත් දියුණු කර තිබුණා. ඔවුන්ගේ චරිතය ඔවුන් හොඳින් වටහාගෙන තිබුණ එක ඉතා වැදගත් ලක්ෂණයක් ලෙස මා දකින්නේ. එය රංගන කාර්යය සිදුකරගෙන යාමේදී ලොකු ශක්තියක් වුණා. එය අනාගතයේ සුබදායි ලකුණක් වෙයි. සියලුම දෙනා මේ කර්මාන්තයට යොමු වෙන්නේ නවකයන් ලෙස. මම මාව දකින්නෙත් මේ සිනමා කර්මාන්තයට අධුනිකයෙක් ලෙස. තවත් මේ කර්මාන්තයෙන් ඉගෙන ගත යුතු බොහෝ දේවල් තියෙනවා.

මේ චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතුවල දී චරිත හැඩගැසීම හා ඒ චරිත ගැන අධ්‍යක්ෂකවරයා සමග ගනුදෙනු සිදු වුණ ආකාරය කොහොමද?

Hemal1පූර්ව නිෂ්පාදන කටයුතුවලදී අධ්‍යක්ෂකවරයාට චිත්‍රපටය ගැන තිබ්බ අදහස් එක්ක හොඳ ගනුදෙනුවක හිටියා. තමන්ගේ චරිතය වටහා ගන්න අපිට අධ්‍යක්ෂකවරයා සමග කලක් ගත කරන්න සිදු වුණා. එය හරි කැමැත්තෙන් ගත කළ කාලයක්. මේ චරිතවලට අදාළ රංගන ශිල්පීන් යොදා ගැනීමේදී ඊට අදාළ චිත්‍රය මැවෙන්නේ රචකයා තුළ සහ අධ්‍යක්ෂකවරයා තුළින්. ඒ නිසා ඒ හඳුනා ගැනීම වැදගත්. අධ්‍යක්ෂකවරයා නිර්දේශ කළ චිත්‍රපට අපි නැරඹුවා. ඒ වගේම ඔහු සඳහන් කළ පොත්පත් පරිශීලනය කළා. මෙය නර්තනය ගැනත් කතා කරන චිත්‍රපටයක්. ඒ නිසා ඒ නර්තන ආචාර්යවරයා ගයාන් ශ්‍රීමාල් සමග කාලයක් ගත කළා. මේ දේවල් තුළ අපිව මෙහෙයවනු ලැබුවා. මම හිතන්නේ එය මේ සිනමා නිර්මාණයට සාධාරණයක් ඉටුකරන්න ඉවහල් වෙන්න ඇති.

වර්තමානයේ නිර්මාණය වන වාණිජ සිනමා නිර්මාණ ගැන හා එහි පවතින ගුණාත්මකබාවය ගැන ඔබේ අදහස කෙබදුද?

ලංකාවෙ කලාත්මක සිනමාව හා වාණිජ සිනමාව ලෙස සිනමාව බෙදාගෙන ඉන්නේ. මම හිතන්නේ මේ සිනමා කර්මාන්තය තුළ මේ සියලු චිත්‍රපට තිබිය යුතුයි. එය වාණිජද? කලාත්මකද? කියන දේට වඩා ගුණාත්මක නිර්මාණයක් වීම වැදගත් කියලා මම හිතනවා. ඒ වගේම ඒ නිර්මාණ තුළ ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට ගෙන්වා ගැනීම වැදගත්. කලාත්මක සිනමාවක් වෙනුවෙන්ම අතීතයේ දී සම්භාවනීය පස් වෙනි මණ්ඩලයක් තිබුණා. වාණිජ සිනමා නිර්මාණත් ඒ සිනමා නිර්මාණ එක්ක තිබුණා. මෙය නිසි ලෙස වර්ගීකරණයක් සිදුව තිබුණා. මේ ධාරා දෙකම බලන්න ප්‍රේක්ෂකාගාරයක් තිබුණා. නමුත් අද වනවිට ‘සම්භාවනීය පස්වන මණ්ඩලය’ නමින් වර්ගීකරණයක් නැහැ. අද සියලු ධාරා මිශ්‍රව යන්නේ. අපි දකින විදිහට තමයි මේ බෙදාගැනීම සිදු කරන්නේ. මේක කර්මාන්තයක් ලෙස මම නිතර දකින්නේ. මේ වාණිජ සිනමා නිර්මාණ නැති නම් ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට ගෙන්වා ගන්නේ කොහොමද? මින් මුදල් උපයන්නේ කොහොමද කියන ප්‍රශ්නය තිබෙනවා. අද කලාත්මක කියන නිර්මාණත්, වාණිජ නිර්මාණත් මේ අතර මැද ධාරාවක චිත්‍රපටත් නිපදවන ආකාරයක් දකින්න තිබෙන්නේ. මේ සිල්ල ප්‍රේක්ෂක වින්දනය වෙනුවෙන් සිදුවෙන්නේ. ප්‍රේක්ෂක ප්‍රතිචාර මත මේ කර්මාන්තය ඉදිරියට යයි.

මේ කර්මාන්තය තුළ ඉන්න රංගන ශිල්පියෙක් ලෙස ඔබ තුළ තිබෙන වාරණ මොනවද?
සිනමාව තුළ මම කිසිම වාරණයක් යොදා ගන්න කෙනෙක් නෙමෙයි. මට අදාළ වන වාරණය චිත්‍රපටයේ අදාළ චරිතයට මට සාධාරණයක් කරන්න පුළුවන්ද කියන එක පමණයි. ඒ හැරුණු විට රංගන ශිල්පියෙකු ලෙස වාරණයක් නැහැ. මට ලැබෙන චරිතයට මට හැකි උපරිම ආත්ම ප්‍රකාශනයක් ලබාදෙන්න මම උත්සහ කරනවා

එය සිනමා මාධ්‍ය තුළින්ම සිදුකිරීමටද බලාපොරොත්තු වෙන්නේ?
ප්‍රේක්ෂකයන් මාව පිළිගන්නතාක් කල් සිනමාවේ රැඳී සිටින්න මම කැමතියි.

රංගනය වෘත්තිමය ලෙස සිදුකරද්දී, එය අභියෝගාත්මක නැද්ද?
ලංකාව වගේ රටක ඕනෑම වෘත්තියක් අභියෝගයක්. අභියෝගවලට අපි මුහුණ දියයුතුයි කියන තැන මම ඉන්නවා.

ඉදිරියේ දී හේමාල් දායක වෙන සිනමා නිර්මාණ ගැන සඳහන් කළොත්?

ප්‍රදර්ශන මට්ටමේ දී පිළිපැදිය යුතු නීතිරීති මාලාවක් ලංකාවෙ තිබෙනවා. ඒ නීතිරීති මාලාව එක්ක ඉදිරියේ දී සිනමා නිර්මාණය පැමිණීමට කොපමණ කාලයක් ගත වෙයිද කියන්න හරියටම මට කියන්න බැහැ. ඉදිරියේ දී ප්‍රේක්ෂකයන්ට ඒ නිර්මාණ ගැන බලාපොරොත්තුවක් තියන්න වගේම ප්‍රේක්ෂකයන් පුදුම කරන්න මම කැමතියි. ඒ වගේම සිනමා නිර්මාණ නරඹන්න ආරාධනා කරනවා. අප තුළ තිබෙන ආතතිය යම් තරමකින් හෝ අඩු කරගන්න, විනෝදාස්වාදය ලබාදෙන මාධ්‍යට යොමු වීම හොඳ බෙහෙතක් ලෙස මම දකිනවා. ප්‍රශ්න ගොඩක් තියන රටක අපි ජීවත් වෙන්නේ. මිනිස්සු නිතර ඉන්නේ මානසික පීඩනයක. මම හිතනවා ඒ මානසික පීඩනය යම් තරමකින් හෝ අඩුකරන්න සිනමා මාධ්‍යයෙන් පුළුවන් කියලා මම වගකීමෙන් කියනවා. ලෝකෙ දියුණු වෙලා තියන හැම රටකම විනෝදාස්වාදය ලබාදෙන මාධ්‍යය ඉහළ තැනක තිබෙනවා. ඒ නිසා ඒ රටවල් දියුණු රටවල් බවට පත්වී ඇති කියලා මම විශ්වාස කරනවා.

නිදුක් මදුෂික / සජීව ලක්ෂාන්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top