nsb

Dec 07, 2016

ටොප් ටෙන් 04 තලතාට එරෙහිවයි

ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළෙහි සිව්වන හෙළිදරව්ව ලෙස තලතා අතුකෝරල මහත්මියට එරෙහිව අද දිනයේ පැමිණිලි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද(07දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

යහපාලන ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව සිදු කරනු ලබන මෙම පැමිණිලි කිරීම්වලට අදාළව මුල්ම පැමිණිල්ල අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සිදු කළද මේ වන තෙක් ඒ පිළිබඳව කිසිඳු වග විභාගයක් සිදු කර නොමැති බවද ඔහු පැවසීය.

මේ අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂ ප්‍රේමරත්න මහතා කියා සිටියේ වර්ෂයකට ලාංකිකයින් ලක්ෂ 3ක පිරිසක් ආර්ථික අපහසුතා හේතුවෙන් විදෙස් රැකියා සඳහා පිටත්ව යන බවයි.

ඔවුන් වෙනුවෙන් තලතා අතුකෝරල අමාත්‍යවරියගේ මැදිහත්වීමකින් රක්ෂණ ක්‍රමයක් 2015.08.26 දින සිට හඳුන්වා දී ඇති බවත්, ඒ ඔස්සේ එක් පුද්ගලයෙකුට ඩොලර් 100ක ගල්ෆ් ජීවිත රක්ෂණයක් හඳුන්වා දී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකන් රක්ෂණ සමාගම විසින් ඩොලර් 60ක ජීවිත රක්ෂණයක් සමගින් ඊට වඩා ප්‍රතිලාභ ලබාදීමට කැමැත්ත පළ කර ඇති විටෙක අදාළ රක්ෂණ ක්‍රමය තලතා අතුකෝරාල මහත්මිය විසින් විදෙස් රක්ෂණ සමාගමකට පවරාදීම තුළ කෝටි 141ක මුදලක් වංචා කර ඇති බව පෙන්වා දෙයි.

එනම් පසුගිය 2015.08.26 සිට මේ දක්වා කාලය තුළ 263307 පිරිසක් විදෙස්ගත වී ඇති බවත්, ඒ තුළ එක් අයෙකුලෙන් ඩොලර් 40 බැගින් මිලියන 1500ක මුදලක් අමාත්‍යවරිය විසින් කොමිස් වශයෙන් ලබාගෙන ඇති බවත් ඒ මහතා පවසයි.

මෙය ක්‍රියාත්මක කර ඇත්තේ කුවේට් විදේශ කටයුතු අමාත්‍යංශයේ නීති රීතිවලට පටහැනිව බවද ඒ මහතා කියා සිටියේය.

මේ පිළිබඳව තමා විසින් පසුගිය නොවැම්බර් මස 30 වන දින අමාත්‍යවරියගෙන් පාර්ලිමේන්තුවේදී විමසා සිටි බවත්, ඊට එතුමියගේ සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කළ බවත්, ඉන් පසු පැය 24 යාමට පෙර එනම් දෙසැම්බර් මස 1 වන දින සිට එම රක්ෂණ ක්‍රමය අවලංගු කළ බවත් ඔහු පෙන්වා දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top