nsb

Dec 08, 2016

FCID ය 'මෙගා ඩීල්' අතහැර සිල්ලර 'ඩීල්' වල

මහා පරිමාණ වංචා සෙවීමේ අරමුණින් ආරම්භ කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID), මහා පරිමාණ වංචා සෙවීමෙන් බැහැර වී සුළු වැරදි සොයා පරීක්ෂණ සිදු කරන තත්වයක් දක්නට ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ඊයේ (07) කැබිනට් තීරණ දනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ඒ සම්බන්ධයෙන් තමන් කැබිනට් මණ්ඩලයේදී සිය හඬ අවදි කළ බව කී ඇමතිවරයා " යෝෂිත රාජපක්ෂට ෆයිල් යවලා තියෙනවා, ගෝඨාභය රාජපක්ෂ, ගාමිණී සෙනරත් ආරක්ෂා කරන්නේ කවුද කියල මම කැබිනට් මණ්ඩලේදී කිව්වා," යනුවෙන් සඳහන් කළේය.

නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා යැයි පවසමින් 2012 වර්ෂයේ සහ පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කරන ලද කියන රුපියල් මිලියන 4012 ආසන්න මුදල සම්බන්ධයෙන් ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදහස් දැක්වීය.


දූෂිතයන් රකින්නේ අපේම අය:


'නිලමේ' නැමැත්තෙකු අත්අඩංගුවට ගන්නේ දැයි විමසීම සඳහා පොලිස්පතිවරයා වෙත ලබා දෙනු ලැබූ දුරකථන ඇමතුම දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ නැවැත්වීමට කළ එක් බලපෑමක් පමණක් බවත්,  එවැනි හෙලි නොවූ බලපෑම් රාශියක් තිබෙන බවත් ඇමතිවරයා කියා සිටියේය.

පැවති රජයේ ප්‍රබලයන් වෙත එල්ල වී ඇති දූෂණ චෝදනාවලින් ඔවුන් බේරාගැනීමට ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් කටයුතු කරන බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.

"අපි හදපු ආණ්ඩුවේ ඒ අය දිවිරුම් දීලා දැන් ඩීල් දානවා.." ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top