nsb

Dec 19, 2016

ආබාධිත සෙබලාගේ ඇසේ බලාපොරොත්තු බොඳවේ

කොළඹ පැවති විරෝධතාවක දී පොලිස් ප්‍රහාරයකින් ඇසකට හානි සිදු වූ විශ්‍රාමික කෝප්‍රල් නිශාන්ත මහිරාජ නමැති ආබාධිත සෙබලාගේ ඇස සුවපත් කිරීමට නොහැකි බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ඇසට තුවාල සිදුවීමෙන් පසු කලක් ශ්‍රී  ලංකාවේ දී ප්‍රතිකාර ලැබූ ඔහුව යුද හමුදාවේ මැදිහත්වීමෙන් ඉකුත්දා සිංගප්පූරුව බලා රැගෙන ගියේ ඇස සුවපත් කර ගැනීම සඳහාය.

එහෙත් එරට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ හානි සිදු වූ ඇස යළි ප්‍රකෘති තත්වයට පත් කිරීමට නොහැකි බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු 'නෙත් නිවුස්' වෙත මෙසේ පැවසිය.

 “මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා ඇස සනීප කර ගන්න හැකි වෙයි කියලා. ඒ බලාපොරොත්තුවත් සමග තමයි සිංගප්පූරුවට ගියේ. එහි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරාට පස්සෙ.. පරීක්ෂා කරලා කිව්වා.. ලෝකයේ කිසිම රටකදී මේ ඇසේ පෙනීම ලබා දෙන්න බැහැ කියලා.

එහෙත් බොරු ඇසක් දාලා.. ප්ලාස්ටික් සැත්කමක් මගින් මුහුණේ පෙනුම ලබා දිය හැකි බව කිව්වා. පස්සේ යුධ හමුදාපතිතුමා මැදිහත්වී ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පොරොන්දු වුණා.” යනුවෙනි.

සේවා කාලය වසර 12 ක් සම්පූර්ණ නොකළ ආබාධිත සෙබළුන්ට විශ්‍රාම වැටුප් ඉල්ලා ඉකුත් දා පැවති  විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල අවස්ථාවේදී ඔහුට මෙම තුවාල සිදු වී ඇත.

මෙම සෙබලා එම විරෝධතාවට එක්වන අවස්ථාවේ ඔහුගේ අනෙක් ඇසෙහි පෙනීමේ දුර්වලතාවකින් ද පසුව තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top