nsb

Dec 20, 2016

සෙලාන් ඩීල්එක ගැන FCID පරීක්ෂණයක්

ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පැවති සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 ක් විකුණා දැමීමට අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් සෙවීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භකර ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත මේ පරීක්ෂණ ආරම්භකර ඇති බවද පැවසේ.

ශ්‍රී ලංකා මිරර් වෙත ලැබුණු තොරතුරු මත මෑත කාලයේදී අසීමිත ලෙස ලාභ ලබා ධනවතකු වූ අයෙක් මෙහි කොටස් කොටසක් රුපියල් 82 ක බැගින් මිලදී ගැනීමට සැරසී සිටියදී මේ කොටස් ජපන් සමාගමක් මිලදී ගෙන ඇති බව පැවසේ.

කෙසේවුවද, අදාළ මිලදී ගැනීම සිදුකළ ජපන් සමාගම පිටුපස දේශීය ව්‍යාපාරිකයකු සිටින බව පැවසෙන අතර ඔහු අදාළ බැංකුවේ 51%ක බලය ලබා ගැනීමට මේ උපක්‍රමය දියත්කර ඇති බව පැවසේ.

ඉෂාර නානායක්කාර මහතා සතුව පෞද්ගලිකවද,  ඔහුගේ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරියා වන කපිල ජයවර්ධන සතුව තවත් කොටස් ප්‍රමාණයක් ද ඉෂාර මහතාට හිමිකම් ඇති ලංකා ඔරික්ස් ලීසිං හා බ්‍රවුන්ස් සමාගම් සතුව තවත් කොටස් ප්‍රමාණයක්ද සෙලාන් බැංකුව සතුව ඇතැයි පැවසේ.

කෙසේවුවද, එක් අයකුට හෝ ආයතනයකට බැංකුවක තබාගත හැකි උපරිම කොටස් ප්‍රමාණය 15%ක් බවද වාර්තා වේ.

විදෙස් ආයෝජකයාට LOLC

මේ සම්බන්ධයෙන් ලංකා ඔරික්ස් ලීසිං සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නීති නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ ජපන් ආයෝජකයාට සිය සමාගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

සෙලාන් බැංකු, ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 13,198,305 ක් ලංකා බැංකුව සතුව පැවති අතර මෙය සෙලාන් බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 7.5% ක් විය.

මෙහිදී එක් කොටසක් රු. 100 බැගින් අලෙවි වූ අතර රුපියල් බිලියන 1.32 (1,319,830,500) ක පිරිවැටුමක් මෙම ගනුදෙනුවෙන් වාර්තා විය.

එදින (16) සෙලාන් බැංකු කොටසක අවසන් ගනුදෙනු මිල රු. 85.00 ක් වූ අතර වෙළෙඳපොළ ගනුදෙනු මිලට වඩා රු. 15.00 ක අධි මිලකට, එනම් රු. 100.00 බැගින් මෙම කොටස් ගනුදෙනුව සිදුව තිබේ.

කොටස් වෙළෙඳපොළ සංඛ්‍යා වාර්වතාවලට අනුව මෙම ගනුදෙනුවේ ගැනුම්කාර පාර්ශවය වී ඇත්තේ විදෙස් ආයෝජකයෙකි.

ලංකා බැංකුව, සෙලාන් බැංකුවේ 6 වැනියට විශාලතම කොටස්කරුවා විය.

-කැළුම් ශිවන්ත-

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top