nsb

Dec 22, 2016

මාගම්පුරට කර්මාන්තශාලා 2400ක් : රැකියා ලක්ෂ 4ක්

හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමක් සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව ඉදිරි වසර තුන, හතර තුළදී දකුණු ප්‍රදේශය ආශ්‍රිතව නව කර්මාන්ත 2400ක් ආරම්භ වන බවත්, ඉන් නව රැකියා අවස්ථා ලක්ෂ 04ක් බිහිවන බවත් උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කෙළේය.

ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී ඔහු එබව පැවසිය.

MalikSamarawickrama 600px 16 12 14අක්කර පහළොස් දහසක පමණ ප්‍රදේශයක ඇති කෙරෙන විශේෂ ආර්ථීක කලාපයේ මෙම කර්මාන්තශාලා පිහිටුවෙන බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එහිදී ප්‍රකාශ කළේය.

හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමක් සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ මීළඟ ගිවිසුම ජනවාරියේදී අත්සන් කෙරෙන බවද ඔහු  පැවසිය.

ශ්‍රී ලංකාව මෙම ගිවිසුමට එළඹෙන්නේ චයිනා මර්චන්ට් සමාගම සමගය.

එහිදී අදහස් දැක්වූ මලික් සමරවික්‍රම මහතා මෙසේද කීය.

ඩොලර් බිලියන 1.35ක ණයක් :

” හම්බන්තොට වරාය හදන්න පසුගිය රජය චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.35 ණය ගෙන තිබෙනවා. ඒ ණය මුදලින් ඩොලර් මිලියන 306ක් අරගෙන තිබෙන්නේ සියයට 6.3ක් වැනි පොලියකටයි.

ඊට අමතරව ඩොලර් මිලියන 50ක් ගෙන තිබෙන්නේ සියයට 06ටයි.

තවත් මිලියන 50ක් ලයිබෝ ප්ලස් 4% අරන් තිබෙනවා. ඒ කියන්නේ සියයට 4.5 ක විතර පොලියට.

ඉතිරි මුදල් අරන් තිබෙන්නේ සියයට 02ක් වැනි පොලියකටයි.

කොළඹ වරායේ ලාභයෙන් 60% ක්

මෙච්චර මුදලක් වැය කරලා හදපු හම්බන්තොට වරායේ ණය හා ණය වාරික පොලිය ගෙවා දමන්නේ කෙසේදැයි පැහැදිලි දැක්මක්, වැඩපිළිවෙළක් පසුගිය රජයට තිබුණේ නැහැ. සැලසුමක් තිබුණේ නැහැ.

අපිට හම්බන්තොට වරායේ පාඩුව පියවාගන්න කොළඹ වරායේ ලාභයෙන් සියයට 60ක් යොදවන්න වුණා යැයි වරාය ඇමැති අර්ජුන රණතුංග මහතා පවා කිව්වා.

මේ තත්ත්වයෙන් ගොඩ එන්නටයි අපි හම්බන්තොට වරාය ආශ්‍රිතව හවුල්කාරිත්ව ව්‍යාපාරයක් ඇරඹීමට චීන රජය, චීන මර්චන්ට් සමාගම කථා කළේ.

නව ගිවිසුමක් :

ඒ අනුව සියයට 80ක් චයිනා මර්චන්ට් සමාගමටත්, සියයට 20ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් හිමිවන ලෙස නව ගිවිසුමක් අස්සන් කිරීමට කතිකා කරමින් ඉන්නේ.

රුපියල් බිලියන 30ක් අවුරුද්දකට හම්බන්තොට වරායට ගත් ණය ගෙවන්න උවමනායි. මේ මුදල් සම්භාරය පාඩුපිට දුවන වරායකින් ගෙවන්න බැහැ. ඒ නිසායි අපි තීරණයක් ගත්තේ.

මේ කටයුතු සිදුවන්නේ අදියර තුනක් යටතේ. පළමු අදියරේදී හම්බන්තොට වරායේ අක්කර 1200 භූමියෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන කර්මාන්ත ආරම්භ කරනවා.

 අපි චීනය සමඟ පමණක් නොවෙයි, ජපානය, ඉන්දියාව, සිංගප්පූරුව සහ තවත් රටවල් ගණනාවක් එක්ක නව ආයොජන කැඳවාගැනීම් ගැන කථා කර තිබෙනවා. මුළු රටේම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන, ආර්ථිකයක් ගොඩනැඟීමයි අපේ අරමුණ.''

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top