nsb

Dec 27, 2016

රත්නසිරි සමුගනියි

Update - හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා (83) නාරාහේන්පිට පෞද්ගලික රෝහලකදී මින් මද වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය.

වසර 2000 සහ 2001 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේ පළමු වරට අගමැති පදවිය ලද ඒ මහතා 2005 මහින්ද රාජපක්ෂ රජයේ ද අගමැතිවරයා විය.

වසර 1933 මැයි 5 වැනිදා උපත ලැබූ වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවට පිවිසියේ හොරණ ආසනයෙන් තරගවදිමිනි.

වික්‍රමනායක මහතා හොරණ මිල්ලෑව ප්‍රාථමික විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විදුහල, පේදුරුතුඩුවේ හාට්ලි විදුහලේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.

බැරිස්ටර්වරයකු වීම සඳහා එංගලන්තයේ ලින්කන් ඉන් නීති විද්‍යාලයට පැමිණි ඔහු නීති විභාගයට පෙනී සිටීමට වඩා දේශපාලනයට ඇදී ගියේය.

එංගලන්තයේ සිට 1955 දී ඔහු ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ සභාපති විය.

ඔහුගේ වැඩිමල් සොයුරු මුනිදාසගේ අභාවයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි වික්‍රමනායක මහතා මුලින්ම බස්නාහිර පළාත් සභාවෙන් දේශපාලනයට පිවිසියේය.

බැරිස්ටර් විභාගයට පෙනී සිටීමට ඔහුට නොහැකි විය.

වසර 1960 දී ලංකා සමසමාජ පක්ෂයෙන් ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේය.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණියේ 1962 දීය. 1965 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හොරණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක ඔහුගේ පුත්‍රයෙකි. වික්‍රමනායක මහතා මුලින්ම ඇමැතිවරයකු වූයේ 1970 දීය. ඒ මහතා සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ අධිකරණ නියෝජ්‍ය ඇමැති වූයේ 1970දීය. 1975 දී වැවිලි කර්මාන ඇමැති ලෙසද 1976 දී අධිකරණ ඇමැති ලෙසද කටයුතු කළේය. පසුකාලීනව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් ද විය.

1977 දී හොරණ ආසනය පරාජය විය. 1978 දී ඔහු ශ්‍රීලනිප ලේකම්වරයා විය. චන්ද්‍රිකා කුමාරතුංග රජයේත් මහින්ද රාජපක්ෂ රජයේත් ඇමැති හා අගමැති පදවි දැරූ වික්‍රමනායක මහතා වරක් රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ද විය.

ඔහු හැබෑ ගැමියකු විය. හොරණ බොහෝ දෙනා නමින්ම හඳුනාගෙන සිටි ඔහු ආසනයේ ජනප්‍රියම පුද්ගලයෙකි. වික්‍රමනායක මහතා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ ප්‍රවීණයෙක් ද විය.

මූලාශ්‍රය - ලංකාදීප 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top