nsb

Dec 27, 2016

කථානායක දියණිය වෙනුවෙන් ‘පිළිකා සරණ‘ එයි

කථානායක කරු ජයසූරිය මහතාගේ දියණිය ඉන්දිරා ජයසුරිය මහත්මිය පිළිකා රෝගයෙන් මියයාම නිමිති කරගෙන ‘පිළිකා සරණ උපකාරක ක්ෂණික ඇමැතුම් සේවය‘ මහරගම අපේක්ෂා රෝහල අසල අංක 45/බී ස්ථානයේ දී අද (27) ආරම්භ කැරිණි.

මෙම අවස්ථාවට කථානායක කරූ ජයසුරිය මහතා සමග සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, ඉන්දිරා මහත්මියගේ සැමියා වන බ්‍රිතාන්‍ය ජාතික මාර්ටින් ඩිකර්,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, මහරගම අපෙක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විල්ප්‍රට් කුමාරසිරි මහතා, "පිළිකා සරණ” සංගමයේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ඇතුළු  කථානායකවරයාගේ පවුලේ ඥාතීන් පිරිසක් ද එක්ව සිටියහ.

පිළිකා හේතුවෙන් අසරණ තත්ත්වයට පත්වූ අය සම්බන්ධයෙන් 0112363211 අංකයෙන් දැනුවත් කිරීම ද පියයුරු පිළිකා අවදානම පරීක්ෂා කිරීමේ ජංගම පරීක්ෂණාගාර සේවය ද පිළිකා වැළඳුණු දරුවන් වෙනුවෙන් ළමා සත්කාරකත්වය ලබාදීම ද මෙම පිළිකා සරණ භාරයෙන් බලාපොරොත්තුවේ.


බරපතල තර්ජනයක් :


‘පිළිකා සරණ උපකාරක ක්ෂණික ඇමැතුම් සේවය‘ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා, හෘද රෝග පරදවා පිළිකාව ශ්‍රී ලාංකිකයින්ට තර්ජනයක් එල්ල කරන බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග අතරින් පිළිකා රෝගය ඉදිරියේ දී බරපතල තර්ජනයක් ඇති කරන බවත්, මේ වනවිට බෝනොවන රෝග අතරින් හෘද රෝග ප්‍රථම ස්ථානයේ පසුවන අතර, ඉතා නුදුරේදීම පිළිකා රෝගය ප්‍රථම ස්ථානයට පත්වන බවත්  සෞඛ්‍ය අමාත්‍යරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

සීමා බන්ධනය ඉවත් කළා :


"ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුරෝකථනවලට අනුව බෝනොවන රෝග ගෝලීය ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාවේ  ද රෝහල්වලට ඇතුලත් කරන රෝගීන්ගෙන් සියයට 70 ක් බෝනොවන රෝග වලින් මිය යනවා. පිළිකා රෝගය ඉදිරියේ දී තර්ජනයක් විය හැකියි.

පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේ  රුපියල් ලක්ෂ 15 ක් වූ සීමා බන්ධනය මම ඉවත් කළා. මේ වනවිට ඇතැම් රෝගීන්ට රුපියල් ලක්ෂ 100 දක්වා වියදම් කරනවා. පිළිකා රෝගීන් වෙනුවෙන් ලංකාවේ  මෙතක් ආරම්භ කිරීමට නොහැකිව තිබූ එකම ශල්‍ය කර්මය ඇටමිදුලු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයයි. මහරගම අපෙක්ෂා රෝහලේ සිටින පිළිකා රෝගීන්ට ඇටමිදුලු බද්ධ කිරිම පසුගියදා ආරම්භ කළා. එම ශල්‍යකර්මය සදහා වැය වන මුදල රුපියල් මිලියන 18 ක්.

නමුත් ලංකාවේ  එම ශල්‍යකර්මය නොමිලයේ සිදු කරන අතර, එය ඉදිරියේ දී මහනුවර මහ රෝහලේ දී ආරම්භ කිරීමට ද මම බලාපොරොත්තු වෙනවා.


උදාර කාන්තාවක් :


කථා නායක කරූ ජයසූරිය මහතා තම දියණිය වන ඉන්දිරා ජයසූරිය මහත්මිය වෙනුවෙන් අද ආරම්භ කරන මෙම සත්කාරක සේවාව පිළිකා රෝගීන්ට ඉතා වැදගත් වෙනවා.

 ඉන්දිරා ජයසූරිය මහත්මිය පිළිකා රෝගයට ගොදුරු වුවත්, ඇය සතෙකුට හිංසා නොකළ දරුවන් වෙනුවෙන් කැප වූ උදාර කාන්තාවක් මෙවැනි අවිහිංසාවාදී කාන්තාවක් පිළිකා වැනි රෝග වලට ගොදුරුවීම සංවේදී කරුණක්. ''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top