nsb

Jan 01, 2017

'අලුත් පක්ෂයකට ගමනක් නැහැ' - ඇමති සෙනවිරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තොර නව පක්ෂයකට ඉදිරි ගමනක් නොමැති බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා පවසයි.

ඇමතිවරයා ඒ බව කියා සිටියේ ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් ඉන් ඉවත් වී අලුතින් බිහි වූ පොදුජන පෙරමුණ හා එක්වන බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ 'බීබීසී සිංහල' සේවය කළ විමසීමකදීය.

"දේශපාලනයේ නිරත පුද්ගලයන් වශයෙන් අපට පෙනෙන්නේ නැහැ අලුත් පක්ෂයේ ඉදිරියට යෑමක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් අප ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතුය කියන මතයේ අපි සියලු දෙනා ඉන්නවා," ඔහු කියා සිටියේය.

පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා සඳහන් කළේ 'පෞද්ගලික කරුණු මුල් කර ගනිමින් එවැනි තීරණවලට එළඹීම පිළිබඳ තමන් එකඟ නොවන' බවය.

"යම් යම් බලපෑම් නිසා එතුමාට ඒ තීන්දුව ගන්න සිදු වූ බව තමයි දැන ගන්න තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් කල්පනාකාරී වුනා නම් හොදයි කියන දේ තමයි මගේ අදහස," සෙනවිරත්න අමාත්‍යවරයා පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනෙක් ආණ්ඩුවෙන් ඉවත්වීමට සුදානම්වන බවට පළ වන වාර්තා ඇමතිවරයා ප්‍රතික්ෂේප කළේය.

එකිනෙකාට චෝදනා කර ගැනීම:


කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් පක්ෂයක් වශයෙන් ඉදිරියට යෑමේ වැදගත්කම පෙන්වා දෙන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න පක්ෂයේ සමගිය වෙනුවෙන් සියලු පාර්ශව සමග සාකච්ඡා පැවැත්වෙන බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරු එකිනෙකාට චෝදනා කර ගැනීම සම්මුතිවාදී ආණ්ඩුවකට සුදුසු නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

"රට වෙනුවෙන් යම් යම් ඉලක්ක සපුරා ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ආණ්ඩුවට එක් වුනා. ඒ ඉලක්ක ළඟා කර ගන්නා තෙක් භේද විය යුතු නැහැ කියන මතයේ තමයි අපි ඉන්නේ," අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න වැඩිදුරටත් කියා සිටියේය.


(බිබිසි සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top