Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 01, 2017

නැව්පතිගේ හම්බන්තොට මෙහෙයුමට ප්‍රශංසා

හම්බන්තොට මාගම්පුර වරායේ කම්කරු වර්ජනයක් විසුරුවා හැරීමට ගිනි අවි රැගෙන මෙහෙයුමක් දියත් කළ ශ්‍රී ලංකා නාවික හමුදාපතිට ජාත්‍යන්තර නැව් සමාගමක ප්‍රශංසාව හිමිවී තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව වරාය කම්කරු වර්ජනයට මැදිහත් වීමෙන් ලබාදුන්  “විශිෂ්ඨ සහයෝගය” නිසා තම සේවා දායකයන්ට කිසිදු අමතර වියදමකින් තොරව කොරියාවේ “ග්ලෝවිස් ෆීනික්ස්” නම් මෝටර් රථ ප්‍රවාහණ නෞකාව නිරුපද්‍රිතව යාත්‍රා කරගන්නට හැකියාව ලැබුණු බව මැද පෙරදිග මුලස්ථාන කොටගත් නාවික සමාගමක් විසින් දෙසැම්බර් 20 දා යවන ලද ලිපියක දැක්වේ.

“ලොව ප්‍රධානතම නෞකා සමාගමක් වන ‘හයිහුන්ඩායි ග්ලෝවිස්, කොරියා’ සමාගමේ දේශීය නියෝජිත ආයතනය වන අප සමාගමට අයත් වාහන ප්‍රවාහන නෞකාවක් වන ග්ලෝවිස් ෆීනික්ස් වෙත 2016 දෙසැම්බර් මස 13 වැනි දින හම්බන්තොට වරාය සේවක වැඩවර්ජනය පවතින කාලයේ දැක්වූ විශිෂ්ඨ සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අපගේ හෘදයාංගම ප්‍රණාමය පුද කර සිටින්නෙමු,” යි ශරාෆ් නාවික ඒජන්සියේ කොළඹ අධ්‍යක්ෂ ලලින්ද්‍ර ප්‍රනාන්දුගේ අත්සනින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න වෙත යවන ලද ලිපියේ සඳහන් වෙයි.


වෙනත් ආධාරක සේවා

නාවික හමුදාවේ “ප්‍රශංසනීය දායකත්වය” ලද නිසා නත්තලට පෙර දකුණු අප්‍රිකාවට මෝටර් රථ ගොඩබාන්නට හැකිවූ බව නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව, දක්ෂිණ විධානයේ ආඥාපති ඩී එම් සී උළුගේතැන්න සහ දක්ෂිණ විධානයේ නියෝජ්‍ය ආඥාපති පී ඩී එස් ඩයස්ට පිටපත් සහිතව යවා ඇති ලිපියෙන් නැව් සමාගම පවසයි.

ආරක්ෂාව පමණක් නොව “වෙනත් ආධාරක සේවා” ද නාවික හමුදාව විසින් ලබා දුන් බව ලිපියේ දැක්වෙයි.

නිරායුද නාවික සෙබළුන් පිරිසක් ප්‍රවාහණ නෞකාවේ පිටත සේවා කටයුතු වල නිරත වනු ලිපිය සමග නාවික හමුදාව විසින් පල කොට ඇති ඡායාරූප වල දැක්වේ.

“ශ්‍රී ලංකා නාවික හමුදාව නෞකාවේ මෙහෙයුම් කටයුතු සඳහා සම්බන්ධ වීම හේතුවෙන් එය ආරක්ෂිතව වරායේ නැංගුරම්ලා තැබීමටත්, කිසිදු බාධාවකින් තොරව වාහන පැටවීමේ සහ ගොඩබෑමේ කටයුතු සිදු කර ගෙන යාමටත් හැකියාව ලැබුනු,” බව නාවික හමුදාව පවසයි.

“ඒ අනුව මෙම ක්‍රියාව හමුවේ නාවික හමුදාවෙත් රටේත් කීර්ති නාමය ජාත්‍යන්තර තලයේ පවත්වා ‍ගෙන යාමට හැකියාව ලැබීම,” ගැන නාවික හමුදාව සතුට පල කොට තිබේ.

කෙසේවුවද දෙසැම්බර් 10 හම්බන්තොට මෙහෙයුමට නායකත්වය දුන් වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විසින් මාධ්‍යවේදී මාධ්‍යවේදී රොෂාන් දිලිප් කුමාර ට ප්‍රසිද්ධියේ පහර දෙන ලද අතර ඒ සම්බන්ධයෙන් මේ වන තුරු කිසිදු පරීක්ෂණයක ප්‍රතිපල දැනගන්නට නැත.

නාවික හමුදාපතිගේ මැදිහත්වීම සම්බන්ධයෙන් අගමැතිවරයාද මීට ඉහතදී සිය ප්‍රසාදය පල කර සිටියේය.
(radiogagana)

Sharaf agency letter navy hambantota

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top