Jan 04, 2017

FCID ලිපිගොනු 76ක් පොලිස්පති යටතට !

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) විසින් විමර්ශනය කරමින් තිබු වංචා දුෂණ සිද්ධීන් 76කට අදාළ ලිපිගොනු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා යටතට ගෙන ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

මේ අනුව මේවනවිට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ විමර්ශනයන්ට ඉතිරිව ඇත්තේ ලිපිගොනු 14 ක් පමණක් බවද එම ආරංචිමාර්ග පවසයි.

FCID අධ්‍යක්ෂ මොණරාගලට මාරු :

මේ අතර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර ප්‍රේමශාන්ත මහතා වහා ක්‍රියාත්මක වන පරිදි මොණරාගල දිස්ත්‍රික්කයට මාරු කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්කර මෙම ස්ථාන මාරුව ලබා දී ඇතැයි ද පැවසේ.

පොලිස් අධිකාරීවරයකු ලෙස සිටි ප්‍රේමශාන්ත මහතාට උසස්වීම් ලබානොදීමට එරෙහිව ඒ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක් අනුව ඔහුට මෙම උසස්වීම ලැබිණී.

ප්‍රේමශාන්ත මහතා ස්ථාන මාරු කළ ද මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ධුරයට සුදුසු නිලධාරියකු නොමැති හෙයින් එම අංශයේම සහකාර පොලිස් අධිකාරී පවිත්‍ර දයාරත්න මහතා වැඩ බලන අධ්‍යක්ෂක ලෙස පත් කර තිබේ.

විශේෂ ඉල්ලීමක් කර තිබියදී:

පොලිස්පති පුජිත ජයසුන්දර මහතා මෙම උසස්වීම හා ස්ථාන මාරුව ජාතික පොලිස් කොමිසමේ අවධානයට යොමුකර ඇත්තේ ප්‍රේමශාන්ත මහතා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක තනතුරට ගැලපෙනම නිලධාරියා හෙයින් ඔහු එම තනතුරේ තබන ලෙස එම අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතා විශේෂ ඉල්ලීමක් කර තිබියදී ය.

මෙම ස්ථාන මාරුව දේශපාලන පළිගැනීමක් බව සිවිල් සමාජ කණ්ඩායම් චෝදනා කරති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top