nsb

Jan 08, 2017

හම්බන්තොට ප්‍රභූ ආරක්ෂාව අනතුරේ ! - විශේෂ පරීක්ෂණයක්

හම්බන්තොට ආර්ථික කලාපයට මුල්ගල් තැබීමේ උත්සවයට ආරක්ෂාව සපයමින් එම උත්සවය පැවති පරිශ්‍රයට  පැමිණෙන මාර්ග තුනම පුළුල් පරික්ෂාවකට ලක්කරමින්, තෝරාබේරා ගත පිරිස් පමණක් රැස්වීම භූමියට ඇතුලත් කර තිබියදී, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසක් ඊයේ (07) රැස්වීම භුමිය ආසන්නයටම පැමිණ ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇත.

අගමැතිවරයා රැස්වීම භූමියට ඒමට විනාඩි 10ක් තිබියදී මෙම ගල්මුල් ප්‍රහාරය එල්ලවී තිබේ.

රැස්වීම භූමියට ඇතුළුවන මාර්ග තුනෙහි කිලෝ මිටර් 2ක එපිටින් මාර්ග බාධක යොදා ආරක්ෂක අංශ ඊට අදාළ භුමිය අවට ප්‍රදේශය මුළුමනින්ම 'සිල්කර' තිබියදී, නාමල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් රැස්වීම භුමිය ආසන්නයට ම පැමිණීම ආරක්ෂක අංශවල බරපතල දුර්වලකමක් ලෙස මේවනවිට හඳුනාගෙන ඇත.

නාමල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් එල්ලකළ ගල්මුල් ප්‍රහාරයෙන් උත්සවයට සහභාගී වී සිටි ආණ්ඩුවේ ආධාරකරුවන්ද නොසන්සුන්තාවයට පත්ව, උද්ඝෝෂකයින්ට ප්‍රතිප්‍රහාර දීමට උත්සහකර ඇති අතර පොලිසි විශේෂ කාර්ය බලකාය මැදිහත්වී ගැටුම්කාරී තත්වය සමතයකට පත්කර තිබේ.

එසේ නොවුයේ නම් එම සිද්ධියෙන් ජිවිත හානි පවා සිදුවීමේ අවධානමක් පැවති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

මෙසේ බරපතල අනාරක්ෂිත තත්වයක් මතුවුයේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැංලියැන් මහතා ඇතුළු සම්භාවනීය රාජ්‍ය තන්ත්‍රීක පිරිසක් ද මැති ඇමතිවරුන් රැසක් ද උත්සව සභාවේ සිටියදීය.

හම්බන්තොට වරාය පරිශ්‍රය, ගුවන් පාලම ආශ්‍රීත ප්‍රදේශය, පරිපාලන ස්ථාන සහිත ප්‍රදේශ සහ ඊට අදාළ මහාමාර්ගවල දින 14 ක් යන තෙක් උද්ඝෝෂණ කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබියදී මෙවැනි තත්වයක් සිදුවීමද විශේෂත්වයකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top