15976 BM WEB BANNER 01
Jan 10, 2017

'ජනමත විචාරනයකට ජනවරමක් නැහැ - සංශෝධන පමණයි' - එස්.බි.

'' ජනමත විචාරනයකට යන නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් සඳහා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට හා ඒ කණ්ඩායම ජනතාවට දුන් පොරොන්දු අනුව වරමක් නැහැ. අපි එහෙම එකක් ඉල්ලලත් නැහැ. ඒ නිසා ජනාධිපති ක්‍ර‍මයේ බලතල අඩුකරන සංශෝධන ඇරෙන්න තව ඉන් එහාට යනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැටළුවක් තියෙනවා'' යයි අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ඇමැතිවරයා එබව පැවසුවේ අද (10) සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීයි :

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ, පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැව් ද අමාත්‍ය එස්.බී.දිසානායක මහතා එම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.

පක්ෂයේ කාන්තා හා තරුණ සමිති වල මෙන්ම පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිතිවල ප්‍ර‍බල ඉල්ලීම වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම බවත්, එහෙත් ජනාධිපතිවරයා මේ පිළිබඳව කිසිදු අදහසක් ප්‍ර‍කාශ කර නැති බවත් ද ඔහු සඳහන් කළේය.

2014 පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති වුවත්, මෛත්‍රීපාල ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ බහුතරයකගේ ඉල්ලීමෙන් පක්ෂයේ සභාපති ධූරය භාරගත් නිසා පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට පක්ෂය කරන ඉල්ලීම පිළිබඳව ඔහු අනුකූලතාවයක් දැක්විය යුතු බවද ඇමැති දිසානායක මහතා පැවසිය.

ඇමැතිවරයා මාධ්‍ය හමුවේ මෙසේද පැවසුවේය.

දෙක එකතු වුන නිසා ජයග්‍ර‍හණ ලැබුවා :

'' අපේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බව අප නිතරම එතුමාට කියනවා. අදත් අපි හිතන්නේ මේ එජාප ශ්‍රීලනිප සම්මුතිවාදී ආණ්ඩුවට තව වැඩ ගොඩක් තියනවා. මේ දෙක එකතු වෙලා ඉන්නවට පක්ෂ දෙකේම අකමැති අය ඉන්නවා. ඒ අයට මම කියන්න කැමතියි මේ දෙක එකතු වුන නිසා අපි ලැබූ විශාල ජයග්‍ර‍හණ තියෙනවා.

ඉදිරි පළාත් පාලන ඡන්ද කොට්ඨාශ ක්‍ර‍මයට තියන්න ප්‍ර‍ධාන පක්ෂ දෙක එකඟයි. ඒ වගේම අපිට අවශ්‍යයි මීළඟ පලාත් සභා හා මහ මැතිවරණයට යන්න කලින් මිශ්‍ර‍ ක්‍ර‍මයට හා කොට්ඨාශයකට මන්ත්‍රීවරයෙක් ඉන්න පලාත් සභා හා පාර්ලිමේන්තු ඡන්ද ක්‍ර‍මයක් අනුමත කර ගන්න.

මේ නිසා අපි හිටපු ජනාධිපතිතුමා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියන්නේ මේ ජයග්‍ර‍හන ටික ලබා ගන්නත්, පක්ෂය ශක්තිමත් කරන්නත් ශ්‍රීලනිපයට සහය දෙන්න කියලයි. ''

'මෛත්‍රීව නම්කර නැ' - චන්ද්‍රිකා

කෙසේවුවද අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පැවසුයේ, 2020 මීළග ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට සිය පක්‍ෂය තීරණයක් ගෙන නොමැති බවයි.

“එක එක්කෙනා අදහස් කියනවා.. ඒත් පක්ෂය තීන්දු කරලා නැහැ. මමත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් තමයි. ජනාධිපතිතුමා පොරොන්දු වුණා..විධායක ජනාධිපති ධූරය එතුමාගේ ධූර කාලයෙන් පස්සෙ නැති කරනවයි කියලා.” යයි ඇය එහිදී සඳහන් කළාය.

සබැඳි පුවත්

'මෛත්‍රීව ජනාධිපති අපේක්ෂක ලෙස නම්කර නැ' - චන්ද්‍රිකා

ජනපතිට සදාචාරාත්මක අයිතියක් නෑ' - එජා

2020 - ජනාධිපති අපේක්ෂක මෛත්‍රී : අගමැති අපේක්ෂක ගෝඨා !!

2020 - ‘ජනපති අපේක්ෂකයා’ හෙළිකරයි

ජනමත විචාරණ නැහැ - මීළඟ ජනපතිවරණයටත් මෛත්‍රී

 

සිරස 'ගෝඨා' සමඟ ගමින් ගමට !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top