nsb

Jan 23, 2017

'බැඳුම්කර විවාදය නතර කිරීමේ තැතක්"

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව හෙට (ජන. 23) පාර්ලිමේන්තුවේ ආරම්භවීමට නියමිත විවාදය නතරකිරීම සඳහා උපක්‍රමයක් දියත්වන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේ භික්ෂුන් වහන්සේ නමක් විසින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ ඇති බවට පළවූ වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

"බැඳුම්කර ගනුදෙනුව ගැන විවාදය හෙට තියෙනවා. අද ගිහිල්ලා නඩුවක් දානවා. මේ මොකක්ද? මෙතන උත්සාහයක් තියෙනවා හෙට පාර්ලිමේන්තුවේ තියෙන විවාදය ගැන, කිරිඇල්ල නැගිටලා අහනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාගවන බැවින් අහවල් ස්ථාවර නියෝග යටතේ මෙය විවාදයට ගතනොහැකිය කියල, හාමුදුරුවෝ නඩුව දානවා, කිරිඇල්ල නැගිටිනවා, කතානායක තීන්දුව දෙනවා." යනුවෙන් ඔහු පැවසීය.

මෙය අගමැතිවරයා විසින් යොදන ලද උපක්‍රමයක් බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළේය.

කෙසේ නමුත් හෙට පාර්ලිමේන්තු විවාදය නතරකිරීම සඳහා තම පක්‍ෂය කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ඔහු පැවසුවේය.

එජාප තිනියාවල හිමි:

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත්කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව හෙවත් කෝප් වාර්තාව අභියෝගයට ලක් කරමින් සහ 2015 පෙබරවාරි 27 සහ මාර්තු 29 දිනවල සිදුකරන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය නිවැරදිවත් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් විධිමත් ක්‍රමවේදය අනුවත් සිදුකර ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත්තේ
කෝට්ටේ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියන්ය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන උන්වහන්සේ රජයට කොටස් හිමි ලංකා හොස්පිටල් හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

කෝප් වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු එම වාර්තාව කියවන්නන් ව්‍යාකූලත්වයට පත්කරන බවත් නොමඟ යවන සුළු බවත් එම පෙත්සමේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top