Jan 27, 2017

තරගය හෙට : ක්‍රීඩකයෝ මඟ

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින තරගය හෙට (28) පොර්ට් එළිසබත්හිදී පැවැත්වීමට නියමිත වුවද ශ්‍රී ලංකා පිල පුහුණුවීම්වග නිරතව ඇත්තේ ආබාධ හේතුවෙන් නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණි ක්‍රීඩකයන් වෙනුවට නම් කළ ක්‍රීඩකයන් තිදෙනා නොමැතිව බව වාර්තා වේ.

චතුරංග ද සිල්වා, සඳුන් වීරක්කොඩි සහ ළහිරු මධුශංක යන ඔවුන් තිදෙනාම අද රාත්‍රියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිත බවද පැවසේ.

මේ තරගාවලිය එක්දින තරග 5 කින් සමන්විත වේ.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය සඳහා නම් කර ඇති උපුල් තරංග එක්දින තරගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන දෙවැනි අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර සිම්බාබ්වේහිදී පැවැති තුන්කොන් තරගාවලියේදී ඔහු මුල්වරට ශ්‍රී ලංකා එක්දින පිලේ නායකයා ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ දක්වා පවත්වා ඇති එක්දින ජාත්‍යන්තර තරග 60 න් දෙපිලම තරග 29 බැගින් ජයග්‍රහණය කර තිබේ.

එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන්වී ඇති අතර තවත් තරගයක් විසඳුමකින් තොරව නිමා වී තිබේ.

උපුල් තරංග මේවන විට එක්දින තරග 193 කදී ශතක 12 ක් සමඟ එක්දින ලකුණු 5,621 ක් ලබා ගැනීමට සමත්ව සිටී.

ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් තීක්‍ෂිල ද සිල්වා ඉවත් කර විකුම් සංජය ඇතුළත් කර තිබේ.

වැළමිටේ ආබාධයකින් පසුව නැවතත් කණ්ඩායමට එක්වන ඒ. බී. ඩිවිලියර්ස් මේ තරගාවලියේදී දකුණු අප්‍රිකානු පිලට නායකත්වය සපයනු ලබයි.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 17 කට ක්‍රීඩා කර ඇති ඩිවිලියර්ස් ශතක දෙකක් වාර්තා කිරීමට සමත්ව සිටී.

දකුණු අප්‍රිකානු එක්දින සංචිතය
ඒ. බී. ඩිවිලියර්ස් (නායක), හසීම් අම්ලා, ෆර්හාන් බෙහාර්ඩීන්, ක්වින්ටින් ඩි’කොක්, ජේ.පී.ඩුමිනි, ෆෆ් ඩුප්ලෙසි, ඉම්රාන් තහීර්, ඬේවිඞ් මිජර්, ක්‍රිස් මොරිස්, වේන් පානෙල්, ලූන්ගී නිගි, ඇන්ඩ්ල් පෙලූක්වායෝ, ඩ්වයින් ප්‍රිටෝරියස්, කගිසෝ රබාඩා, තාබ්‍රේස් ශම්සී

ශ්‍රී ලංකා සංචිතය
උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, චතුරංග ද සිල්වා, ධනංජය ද සිල්වා, සඳුන් වීරක්කොඩි, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ළහිරු මධුශංක, කුසල් මෙන්ඩිස්, සචිත් පතිරණ, ජෙෆ්රි වැන්ඩසේ, ලක්ෂාන් සඳකැන්, ළහිරු කුමාර, විකුම් සංජය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top