nsb

Jan 29, 2017

''මහින්දගේ ජාවාරම්කාරයෝ ඇමතිවරුන්ට 'සෙට්' වෙලා''

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග ව්‍යාපාරික කටයුතු කළ ඇතැම් ව්‍යාපාරිකයින් සමග වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන් ව්‍යාපාර කටයුතු වල නිරතව සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

''එක්සත් ජාතික පක්ෂය ධනපතීන්ගේ පක්ෂය වුනත් ධනපතියන් හිටියෙත් රාජපක්ෂලා සමගයි. වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන්ට එය අද අමතක වෙලා'' යයි ද අමාත්‍යවරයා කියා සිටියි.

 ඊයේ (28) ගාල්ල උඩුගම මහ විද්‍යාලයේ දී පැවැති උත්සවයක් අමතමින් ඔහු එබව සඳහන් කළේය.

'ගෝඨාගේ දේශප්‍රේමය ළඟදීම පෙනේවී':


මිග් ප්‍රහාරක යානා ගනුදෙනු පරීක්ෂණ නිමවන විට හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ දේශප්‍රේමිත්වය රටටම දැනගත හැකිවන බව ද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එහිදී පැවසිය.

'' දුෂණ වංචා පිළිබදව පසුගිය රජය සමයේ පරීක්ෂණ සිදුකළ ආකාරයට නොවෙයි වර්තමානයේ පරික්ෂණ සිදු වන්නේ. නීතියට අනුව තමයි පරීක්ෂණ සිදුවන්නේ. වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙනවා. මිග් ප්‍රහාරක යානා ගනුදෙනු පරික්ෂණ නිමවන විට හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ දේශප්‍රේමිත්වය පිළිබදව රටටම කරුණු දැනගන්න පුළුවන්. එවිට ජනතාවට දේශපාලන තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන් කියලා මම හිතනවා.” යයි ද ඇමතිවරයා කියා සිටියේය.

ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.


පසුගිය කාලයේ කෝටි 33000 ක වංචා :


"වර්තමානයේ රුපියල් කෝටි 1000 ක බැදුම්කර වංචාවක් ගැන කථා කරනවා. නමුත් පසුගිය කාලයේ රුපියල් කෝටි 33000 ක වංචා ගැන කෝප් කමිටු වාර්තා මගින් හෙළිකර තිඛෙනවා. නමුත් සත 33 ක වංචාවක් ගැනවත් පසුගිය කාලයේ පරීක්ෂණ කළේ නැහැ.

රුපියල් කෝටි 1000 ක බැදුම්කර වංචාව ගැන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙන වෙනම විමර්ශණයක් කරනවා. එම විමර්ශණ වලින් වැරදිකරුවන් ඔප්පු වුවහොත් දඩුවම් ලබාදෙනවා. කිසියම් පුද්ගලයෙකු වැරදි කරනකොට නිවැරදි කිරීම රජයේ වගකීමයි. ''

මෙම උත්සවයේදී ශිෂ්‍යත්වය සමත් දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කිරීමක් ද සිදු විය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා, හිටපු පළාත් පාලන ආයතන නිලධාරින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top