nsb

Jan 31, 2017

මංගලගේ වැඩක් දිනේෂ්ට ප්‍රශ්නයක් වෙලා !

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කාර්යාලයක් යාපනයේ විවෘත කළේ කුමන පදනමකින්දැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (31) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

සම්ප්‍රදාය කඩ කරමින් විදේශ අමාත්‍යවරයා විසින් මෙවැනි ක්‍රියාවක් සිදු කළේ ඇයිදැයි හෙළි කළ යුතු බව එහිදී ඔහු සඳහන් කළේය.

විදේශ අමාත්‍යාංශය සමග ඝෘජුව සම්බන්ධතා පවත්වාගත හැකි තත්ත්වයක් තිබියදී මෙවැනි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කාර්යාලයක් යාපනයේ විවෘත කර ඇති බවද ඔහු පැවසිය.

ජනපතිගේ සංකල්පයක් :

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයට අනුව, උතුරේ ජනතාවට ලබාදෙන සේවය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් පසුගිය 26දා යාපනයේදී විවෘත කෙරින.

මෙම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී. ස්වාමිනාදන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිසාඩ් බදියුදීන් හා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් සහභාගීවී සිටියේය.

කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පිහිටා ඇති කොන්සියුලර් කාර්යාලයෙන් පමණක් මහජනයාට සැපයූ කොන්සියුලර් සේවා රැසක්, ඉදිරියේදී මෙම ප්‍රාදේශීය කාර්යාලය මගින් සැපයීමට නියමිතව තිබේ.

විදේශ රටවලදී භාවිතා කිරීම සඳහා අවශ්‍යවන උප්පැන්න, මරණ හා විවාහ මෙන්ම අධ්‍යාපන සහතික සත්‍යාපනය කිරීම, විදේශ රටවලදී අතරමං වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය සහය ලබාදීම, සංක්‍රමණික සේවකයන්ගේ පවුල්වලට වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සහ විදේශ රටවලදී මියයන ශ්‍රී ලාංකිකයන්ගේ මෘතදේහ මෙරටට ගෙන්වා ගැනීම ආදී සේවා මෙම ප්‍රාදේශීය කාර්යාලය මගින් සලසනු ඇත.

සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල පෙ.ව. 08.00 සිට ප.ව. 04.15 දක්වා මෙම කාර්යාලය විවෘතව පවතිනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top