nsb

Mar 04, 2017

කසුන් අජාසත් නොවන බව පියා එච්.එම්. කියයි

තමාට ආදායම් මාර්ග අවහිර වීම හා බරපතළ වකුගඩු රෝගයකින් පෙළීම නිසා දුක්බර ජීවිතයක් ගත කරන බවට පැතිර ඇති මාධ්‍ය වාර්තා බොරු බව ප්‍රවීන සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා කියා සිටියි.
 
ඒ මහතා මේ අදහස් දක්වා ඇත්තේ මිරර් ආර්ට්ස් වෙබ් අඩවියටයි.
 
ඔහු වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
 
'ඔය කතා අමූලික බොරුවක්. මේක සම්පුර්ණයෙන් කසුන්ට මඩ ගහන්න කරන වැඩක්. මොකද කසුන් සහ මම ඇසුරු කරන්නේ මිත්‍රයන් දෙදෙනෙක් වගේ.
 
තාත්තයි පුතාටත් වැඩිය සමීප මිත්‍රයන් දෙදෙනක් වගේ. අපිට මුණ ගැහෙන්න ක්‍රමයක් නැහැ. මොකද මටත් වැඩ රාජකාරී අධිකයි. ඔහුටත් එහෙමයි. 
 
නමුත් නිතරම කසුන් මා ගැන හොයලා බලනවා.  මගේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒකට මට විශාල මුදලක් වැය වෙනවා. කසුන් ඒ වියදම් ඔක්කොම දරනවා. මේ ප්‍රචාරය ගැන මට බොහොම කනගාටුවක් ඇති වෙනවා. 
 
මොකද එහෙම දෙයක් අපි අතර නැහැ. කසුන් මගේ දුක සැප හොයලා බලනවා. මන් යම් කිසි උදව්වක් ඉල්ලුවොත් එසැනින් කරනවා. ඔහු තමයි මට හැම ලෙසින්ම උදව්වට ඉන්නේ. කසුන් මගේ පුතා විදියට ඔහුගෙන් ලැබිය යුතු යුතුකම් මට නොපිරිහෙලා ඉෂ්ට කරනවා.
 
මේ ප්‍රචාරය පිළිබදව මම දැඩි සිත් තැවුලට පත් වෙනවා. ඒ වගේම මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා අසත්‍ය කටකතා පතුරවන්න එපා කියලා. “ 
 
ජයවර්ධන මහතා කුළී නිවසක ජීවත් වෙමින් බොහෝ අගහිඟකම් මැද ජීවත් වන බවත්, සිය ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජයේ හෝ වගකිව යුත්තෙකුගේ උදව් බලාපොරොත්තු වන බවටත් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පල විය.
 
එච්.එම්. ප්‍රවීන ගායන ශිල්පිනී නැසීගිය මාලනී බුළත්සිංහල මහත්මියගේ සැමියාය.
 
ගුණදාස කපුගේ මහතාගේ හා මාලනී බුළත්සිංහල මහත්මියගේ බොහෝ ගීත වලට තනු නිර්මාණය කල ඒ මහතා එකළ ගී තනු නිර්මාණ ක්ෂේත්‍රයේ මෙරට සිටි දක්ෂතම නිර්මාණකරුවෙකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top