Mar 06, 2017

මන්ත්‍රීකම හැරයන්නැයි හැකිනම් අභියෝග කරන්න - රතන හිමි

තමා රටේ සම්පත් විකිණීමේ ප්‍රතිපත්තියට විරුද්ධ බවත්, එලෙස සිදුකරන ඕනෑම අවස්ථාවක එය විවේචනය කරන බවත්, ගොළුවකු සේ නොසිට මන්ත්‍රීකම හැර යාමට වුවද තමා සූදානම් බව අතුරලියේ රතන හිමියෝ කියති.

එජාපයට බලයක් නොමැති බවට පක්ෂයේ සිටිමින් රතනහිමි කර ඇති ප්‍රකාශය හෙලාදකින බවට අංශු මාරසිංහ මන්ත්‍රීවරයා අද (06) පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී රැස්වීමේදී කළ ප්‍රකාශයට පිළිතුරුදෙමින් එහිමියෝ මේ බව පවසා තිබේ.

එලෙස හැසිරීමට විරුද්ධ නම් ඕනෑම අවස්ථාවක පවසන ලෙස එජාප නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමා පවසා ඇති බවත්, මේ ආන්ඩුව සෑදීමට තමා විශාල දායකත්වයක් දුන් බවත්, තමාට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය වැදගත් නොවන බවද හැකිනම් තමාට මන්ත්‍රීධුරයෙන් ඉවත්වන ලෙස පවසන්නැයි රතනහිමියෝ එහිදී අභියෝග කර තිබේ.

මාරසිංහ මහතා මේ ප්‍රකාශය කිරීමත් සමඟ කිහිපදෙනෙකු අත්පුඩි ගැසූ බවටද වාර්තා වන අතර අද රැස්වීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 50ක් 60ක් පමණ සහභාගිවී සිට ඇතැයිද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එජාපයට හෝ මහින්ද රාජපක්ෂ මහතාට ජනතා බලයක් නොමැති බවත්, ජනබලයක් හිමිව ඇති එකම පුද්ගලයා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත්, ඔහු 62%ක ජනවරමක් ලබා ඇති බව තමා මේ අවස්ථාවේද ප්‍රකාශකරන බවද රතනහිමියෝ සඳහන්කර ඇත.

එනිසා හොඳ හෝ නරක යන දෙකෙහිම වගඋත්තරකරු වන්නේද සිරිසේන ජනපතිවරයා බවද රතනහිමි පවසා ඇත.

ජාතික ආණ්ඩුවක් තැනුවේද එජාපයට බහුතරයක් නොවූ නිසා යැයිද එහිමියෝ එහිදී අවධාරණය කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top