15976 BM WEB BANNER 01
Mar 08, 2017

දිනේෂ්ට සතියක් ගෙදර ඉන්න වෙයි (update)

ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු කටයුතු සතියකට අත්හිටුවීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරීමේ මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 85 ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 22 ක් පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 114ක් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි බවත්, තිදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවත් වාර්තාවේ.

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

දිනේෂ් ගුණවර්ධනට සභාගැබෙන් ඉවත් වන්නැයි නියෝග(update)

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තු සභා ගර්භයෙන්  ඉවත් වන ලෙස මීට සුළු මොහොතකට කතානායක කරූ ජයසූරිය මහතා විසින් නියෝගකර තිබේ.

 ස්ථාවර නියෝග 74(1) වගන්තිය යටතේ මෙම නියෝගය ලබා දී තිබේ.

 පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පිළිගැනීමට හැකියාවක් නැතැයි කථානායක කරූ ජයසූරිය මහතා විසින් කරන ලද ප්‍රකාශය හමුවේ දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දිගින් දිගටම පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලට බාධා එල්ල කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ  .

මේ හේතුවෙන් සභාව යළිත් වරටත් කල් තැබීමට කතානායකවරයා පියවර ගත්තේය.

update-15.00pm

--------------------------------------------------------------------------------------------------------------------------
විමල් නිසා පාර්ලිමේන්තුව කල් තබන්නත් වෙලා
 
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පිළිගැනීමට හැකියාවක් නැතැයි කථානායක කරූ ජයසූරිය මහතා අද (08දා) පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

යම් කිසි දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් ලෙස මැතිවරණයට තරඟ කොට මන්ත්‍රී ආසන දිනාගත්තේනම් පාර්ලිමේන්තුව තුළ අදාළ පක්ෂය හෝ කණ්ඩායම නියෝජනය වන බව කථානායකවරයා පෙන්වාදී තිබේ.

ඒ අනුව ඒ ඒ මන්ත්‍රීවරුන්ට තනි තනි මන්ත්‍රීවරුන් ලෙස ස්වාධීන විය හැකි නමුත්, පක්ෂයක් හෝ කණ්ඩායමක් ලෙස ස්වාධීන විය නොහැකි බව ජයසූරිය මහතා අවධාරණය කර ඇත.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී වාතාවරණයක් මතුවී ඇති අතර පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තබා ඇත.

 

parlimant 2

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top