Mar 18, 2017

''ඇමති මංගල කතා කරද්දී ඔලුවට පිස්තෝලයක් තිව්වා''

''කොල්ල කල්ලිය අපේ හිසට පිස්‌තෝල එල්ලකරගෙන හිටියා. අප පණ බයේ ගැහි ගැහී හිටියා'' යෑයි සෝමාලියාවේදී මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත් ඒරිස්‌ -13 තෙල් නැවේ සිට එහි ඉංජිනේරු ජයන්ත කළුබෝවිල මහතා දුරකථනය ඔස්‌සේ පැවසීය.

''අපි තුන්වේලටම කෑවේ එකවේලයි. හුඟාක්‌ම කන්න දුන්නේ පාන්. අපේ මංගල ඇමැතිතුමා මට කතා කරද්දීත් කොල්ල කල්ලිය අපේ හිස්‌වලට පිස්‌තෝල එල්ල කරගෙන හිටියා. අපි වඩාත් බය වුණේ ඒ කොල්ලකරුවන්ට වෙඩි තැබීම පිළිබඳව එච්චර පුරුද්දක්‌ නැති බව තේරුම් ගිය හින්දයි.

මංගල ඇමැතිතුමා කිව්වා බය වෙන්න එපා ජයන්ත ඇමරිකාව මැදිහත්වෙලා ඔයාලාව බේරා ගන්නවා කියලා.

අපි වෙනුවෙන් මාධ්‍ය හුඟාක්‌ සහාය දුන්නා. ඒ වගේම ජනාධිපතිතුමා ඇතුළු රජයට ගොඩක්‌ ස්‌තුති කරනවා. ඒ කොල්ලකල්ලියට ඕනෑ වුණේ අපේ නැව වටේ යාත්‍රා කරමින් තිබූ බෝට්‌ටු පහක්‌ ඉවත් කරගන්නයි. මොනවා වුණත් අපේ ජීවිත ගැලවුණා. '' ඔහු කියා සිටියේය.


කාර්ය මණ්ඩලයේ අත්දැකීම් :

පැහැර ගැනීමට ලක්ව නිදහස් කෙරුණු ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් සහිත නෞකාව සෝමාලියාවේ බෝසාසෝ වරායට ඇතුළු වූ පසු තමන් ඇතුළු නැවේ කාර්ය මණ්ඩලය බේරා ගනු ලැබූ ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් එහි පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර තිබු බව එම නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල පවසයි.

 ඔහු එබව කියා සිටියේ බීබීසී සිංහල සේවය හා විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

නිදහස් කෙරුණු නෞකාවේ ආරක්ෂාවට කොමාන්ඩෝ සාමාජිකයන් තිස් පස් දෙනෙකු සහ බෝට්ටු පහක් යොදවා ඇති බව කී ඔහු සෝමාලි ආණ්ඩුවේ මුහුදු මංකොල්ල මර්දන ඒකකය දින තුනක් සිය නැව වට කොට මංකොල්ලකරුවන්ට ප්‍රහාර එල්ල කළ බව ද සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මංකොල්ලකරුවන් විසින් දැඩි මානසික පීඩනයක් එල්ල කරනු ලැබුවත් කිසිදු ශාරීරික පීඩාවකට ලක් නොකෙරුණු බවය.

මංකොල්ලකරුවන් නැව වෙත ළඟාවන විට තමන් ඇතුළු කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වී ඒ බව ජාත්‍යන්තර ආයතන වෙත දැනුම් දුන් බව කී ඔහු තමන් නිරුපද්‍රිතව නිදහස් වීමට එය එක් හේතුවක් වූ බව සඳහන් කළේය.

බඩු අරන් ගියා :

"අන්තිම මොහොතේ ඒ අය උත්සාහ කළා අපිට වෙඩි තියලා වගේ යන්න. ඒත් වාසනාවකට ඒ දේ සිද්ධ වුනේ නැහැ. අපේ සියලු බඩු බාහිරාදිය අරන් ගියා. අපිට ආපදාවක් වුනේ නැහැ" යනුවෙන් ඔහු පැවසීය.

කාර්ය මණ්ඩලය සතුව තිබූ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක මංකොල්ලකරුවන් භාරයට ගනු ලැබූ බව කී ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල, එක් දුරකථන මාර්ගයක් පමණක් විවෘතව තැබීමට ඔවුන් කටයුතු කළ බව සඳහන් කළේය.

"නමුත් මේ දුරකථනය විසන්ධි කළේ නැහැ, මොකද ඒ අයට අවශ්‍ය වුනා ඒ හරහා අනෙක් බෝට්ටු අයින් කරන්න, ඒ වගේ දේවල්වලට පාවිච්චි කරන්න. ඒ වෙලාවේ ඒ අයට නොතේරෙන්න අපේ භාෂාවෙන් අපි ඇමතිවරු හා සම්බන්ධ වුනා. "

මානසිකත්වය වැට්ටුවා:

මුහුදු මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා ඇති සෝමාලියානු ආණ්ඩුවේ විශේෂ හමුදා ඒකකය තමන් නිදහස් කර ගැනීම සඳහා සූක්ෂ්ම සහ දක්ෂ ලෙස යුද උපකරණ භාවිත කළ බවත් ඔහු කියා සිටියේය.

"මොකද අපි තෙල් පුරවපු නැවක්. හදිස්සියේ තෙල් ටැංකියකට ගැහුවා නම් මුළු නැවම ගිනි අරන් අපි විනාශ වෙන්න තිබුණා. ඒ තෙල් ටැංකි බේරලා අපටත් හානියක් නොවෙන විදිහට කටයුතු කරන්න ඔවුන් උත්සාහ කළා. මංකොල්ලකරුවන්ට වෙඩි තියලා ඔවුන්ගේ මානසිකත්වය වැට්ටුවා"

අවසාන මොහොතේ මුහුදු කොල්ලකරුවෝ තීරණය කළා ඒ අයට මේගොල්ලෝ එක්ක හැපෙන්න බැහැ, තව හිටියොත් මැරෙන්න වෙනවා කියලා හිතලා ඒ අය පැනලා ගියා" යනුවෙන් නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල වැඩිදුරටත් කියා සිටියේය.

රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් :

ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු සහිතව ගමන් කල ඉන්ධන ප්‍රවාහන නැව සෝමාලියා මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැර ගැනීමෙන් පසු එය මුදා ගැනීම සදහා විදේශ ඇමති මංගල සමරවීර සමග තමන් විසින් සිදු කරනු ලැබූ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂද සිල්වා මහතා සිය ෆේස්බුක් පුටුවේ සටහනක් තබා ඇත.

විදේශ ඇමතිවරයාගේ උපදෙස් මත ඒ සම්බන්දයෙන් ක්‍රියා කල යුතු ආකාරය සම්බන්දයෙන් තමන් විසින් පුන්ට්ලන්ට් ජනාධිපතිවරයාටත් සෝමාලියා රජයටත් උපදෙස් ලබා දුන් බව ඔහු කියා සිටියි.

මේ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා කියා සිටියේ මෙම නෞකාව බේරා ගැනීමට හැකි වීම ශ්‍රී ලංකා රජයේ මෙන්ම ඉන්දීය සාගරයේ රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් බවයි.

කිසිදු කප්පම් මුදලක් නොගෙවා ලේ වැඟිරීමකින් සිදු නොවී ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩලය බේරා ගත් බවද ඔහු සදහන් කලේය.

ජනාධිපතිවරයා විශ්වාසය :

මෙම පැහැරගැනීම සිදුවූ අවස්ථාවේ සිට විදේශ කටයුතු අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් සොයා බලමින් විශේෂ අවධානයකින් යුතුව කටයුතු කල අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා ද විටින්විට විදේශ ඇමතිවරයා අමතමින් මේ සම්බන්ධ ප්‍රගතිය විමසා තිබිණ.

මෙම අර්බුදය විසඳීමට මංගල සමරවීර ඇතුළු කණ්ඩායමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශ්වාසය පළකර තිබිණ.

පැහැරගත් නැවට වෙඩි ප්‍රහාරයක් එල්ලවන අවස්ථාවේදී තෙල් නැවේ සිට එහි ඉංජිනේරු ජයන්ත කළුබෝවිල මහතා විදේශ අමාත්‍යවරයා වෙත දුරකථනය ඇමතුමක් ලබාදෙමින්, තෙල් නැව ගිනිගැනීමේ අවධානම නිසා තමන් ඇතුළු සියලු දෙනාගේ ජිවිත අනතුරට ලක්ව ඇති බැවින්, වෙඩි තැබීම නැවැත්වීමට සෝමාලියා රජයෙන් නොපමාව ඉල්ලීමක් කරන්නැයි ඉල්ලා තිබිණ.

නැව හා කාර්ය මණ්ඩලය බේරා ගන්නා බවට කළුබෝවිල මහතාට සහතික වී ඇති විදේශ ඇමතිවරයා, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, අමාත්‍යංශ ලේකම් ඇසල වීරකෝන්, කොන්සුලර් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ගනේගමආරච්චි,  එක්සත් ජාතීන්ගේ සම්බන්ධිකරණ අංශයේ ප්‍රධානි මහේෂිනි කොලොන්නේ ආදීන් කැඳවා විශේෂ  මෙහෙයුමක් ආරම්බ කර තිබේ.

වහාම ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපතිට කතාකර ඇති විදේශ ඇමතිවරයා, වෙඩි තැබීම නවත්වන ලෙස සෝමාලියා විදේශ ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නැයි දැනුම් දී තිබේ.

වෙඩි තැබීම සිදුකරන්නේ සෝමාලියා රජයේ හමුදාවන් නොව ප්‍රාන්ත ආණ්ඩුවක් විසින් බව එහිදී ඉතියෝපියාවේ තානාපතිවරයා පවසා ඇති අතර, ඒ අනුව හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමතිවරයා එම ප්‍රාන්ත රජයේ බලධාරීන් සමග සාකච්ජා පවත්වා තිබේ.

ඇමරිකානු තානාපතිගේ මැදිහත්වීම :

ඒ අතර විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයටත්, නියෝජ්‍ය ඇමතිවරයා සෝමාලියා බලධාරීන්ටත්, මහේශනී කොලොන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා යුරෝපා සංගමයේ බලධාරිටත් කතා කරමින් මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා ආධාර ඉල්ලා ඇත.

රාත්‍රී 10.00ට පමණ විදේශ අමාත්‍යංශයේ මෙම විශේෂ මෙහෙයුම නිම කර ඇත්තේ, නැව හා කාර්ය මණ්ඩලය නිදහස් කර ඇති බව ඇමරිකානු තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා වෙත නිල වශයෙන් තහවුරු කිරීමෙන් පසුවය.

විදේශ ඇමතිවරයා වහාම එබව ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍යවරයාටත් දැනුම්දී ඇත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top