May 14, 2017

අර්ජුන වාරයෙන් දොට්ට - ඇමතිකම අමුණුගමට !

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වරාය අමාත්‍ය ධුරයෙන් ඉවත්කර ඒ සඳහා ආචාර්ය සරත් අමුණුගම මහතා පත් කිරීමට යෝජනා වී ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

එම අමාත්‍යංශය බාර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතාට යෝජනා කර ඇතත් ඔහු එම ඉල්ලීම දැඩිව ප්‍රතික්ෂේප කර ඇත.

ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, හම්බන්තොට වරායේ ඉඩම් චීන සමාගමට පැවරීමට තීරණය කර ඇති තත්වයක් තුල මේ මොහොතේ එම අමාත්‍යංශය බාර ගතහොත් තමාගේ දේශපාලන අනාගතය අඳුරේ වැටෙන බව පවසමිනි.

අර්ජුනව චීන සංචාරයෙනුත් කපලා !

මේ අතර, චීනයේ බේජිං නුවරදී අද (මැයි 14) ආරම්භ වූ වරාය කටයුතු ආශ්‍රිත 'එකම තීරයක් - එකම මාවතක්' දෙදින සමුළුවට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහභාගිවූ කණ්ඩායමට තමා එක්කර නොගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා බලවත් සේ කනස්සල්ලට පත්ව සිටින බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

'එකම තීරයක් - එකම මාවතක්' යනු චීන දේශසීමා සහ යුරෝපය හරහා වැටී තිබූ ඓතිහාසික සේද මාවත යළි පණ ගැන්වීමේ උත්සාහයක් ලෙස හැඳින්විය හැක.

එම සංකල්පය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ චීන ජනාධිපති ෂී ජින්පින් විසිනි.

2013 වසරේ ප්‍රකාශයට පත් වූ 'එකම තීරයක් - එකම මාවතක්' සංකල්පයට අනුව චීනය ගොඩබිම් සහ මුහුදු මාර්ග ඔස්සේ ආසියාව, යුරෝපය සහ අප්‍රිකානු රටවල් සමග සම්බන්ධ වනු ඇත.

'එකම තීරයක් - එකම මාවතක්' ව්‍යාපෘතිය යටතේ නව වරායන්, තෙල් සැපයුම් නල මාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කෙරෙමින් පවතී.

මෙම සමුළුවට තමා සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින්, 12දා වරායේ ඩිජිටල් තොරණ විවෘත කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි අවස්ථාවට සහභාගී වී නොමැත.

සාකච්ඡා එපා :

ඒ අතර, පවතින ගැටළු විසඳාගන්නා තුරු චීනය සමග හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිදු ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා නොකරන ලෙස ජනපතිවරයා, චීන සංචාරයට යාමට පෙර අගමැතිවරයාට උපදෙස් දී ඇතැයි 'ලංකාදීප' වෙබ් අඩවියේ සඳහන්වේ.

ගිවිසුම් කිහිපයක් සම්බන්ධයෙන් චීන බලධාරීන් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අගමැතිවරයා යෝජනා කර තිබිණි.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන අනුග්‍රහය දැක්වීමේ ගිවිසුමේ පිටපතක් කල්වේලා ඇතිව ජනපතිවරයාට දී තිබුණේ නැති බවද 'ලංකාදීප' වෙබ් අඩවියේ සඳහන්වේ.


සබැඳි පුවත්:

වරායේ ඩිජිටල් තොරණ් රාජයාගේ ඇතුල් කථාවස්තුව

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top