Nov 09, 2016

ජනාධිපති කාර්යාලය වැටලුවේ හිටපු මේ/ජෙනරාල්වරයෙක් ?

පෙරේදා (නොවැම්බර් 07) ආබාධිත සෙබළුන් පිරිසක් හා භික්ෂුන් වහන්සේලා පිරිසක් ලවා ජනාධිපති කාර්යාලය වැටලීමේ මෙහෙයුම යුධ හමුදාවේ හිටපු මේජර් ජනරාල්වරයකුගේ මෙහෙයවීම මත සිදුකරන ලද්දක් බවට සැකකෙරෙන බව අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පිරිසකට කඳුළු ගෑස් එල්ල කර විසුරුවා හැරීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දී ඇති නියෝගය මත සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී ඔහු එබව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සැකකෙරෙන හිටපු මේජර් ජනරාල්වරයා, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතකු බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.


කුමන්ත්‍රණයක් සඳහා වූ අත්හදා බැලීමක් :


යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුවද දැවැන්ත සිසු උද්ඝෝෂණ රැසක් පැවතිය ද ඒ කිසිඳු පෙළපාලියකට ජනාධිපති කාර්යාලය අසලට හෝ පැමිණීමට පොලිසිය විසින් ඉඩ නොතබන ලද තත්වයක් යටතේ, ජනාධිපතිවරයා රටේ නොමැති තත්වයක් තුල සිදුවූ මෙම මෙහෙයුම බරපතල කුමන්ත්‍රණයක් සඳහා වූ අත්හදා බැලීමක් දැයි සැකමතුවී ඇතැයි ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු පැවසිය.

ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය අසල සිටින පිරිසක් සැලසුම් කරමින් සිටින බවට රාජ්‍ය බුද්ධි සේවා විසින් අදාළ අංශ ප්‍රධානින් දැනුවත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් නොසලකා හැරීමද සැකයට බාජනයවී ඇතැයි ඔහු සඳහන් කළේය.


දේශපාලන හස්තයක් :


ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට දැරූ උත්සාහ සම්බන්ධයෙන් ඊයේ (08) පැවති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගුණ සැමරුම් උළෙල අමතමින් අදහස් පළකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විශ්‍රාමික සේවා වැටුප ලබා දෙන බව දන්වා තිබියදීත් ආබාධිත සෙබළුන් උද්ඝෝෂණයේ යෙදීම පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බව අවධාරණය කර සිටියේය.

තමන් මෙහෙයවනු ලබන්නේ කුමන බලවේගයක් විසින් දැයි යන්න 'අසරණ රණවිරුවන්' නොදන්නා බව ද ජනාධිපතිවරයා එහිදී පැවසිය.

"මේ ව්‍යාපාර පිටුපස වෙනම මෙහෙයවීම් තිබෙනවා. ඒවා දේශපාලන මෙහෙයවීම්. මේ අසරණ රණවිරුවෝ දන්නේ නැහැ ඒ අය මෙහෙයවුවේ කවුද කියලා. ඇතැම්විට ඒ අයගෙන් එක් අයෙක් පමණක් දන්නවා ඇති මෙහෙයවුවේ කවුද කියලා" ජනාධිපතිවරයා සඳහන් කළේය.


දුරකථන ඇමතුමක් ?


පෙරේදා (නොවැම්බර් 07) ආබාධිත සෙබළුන් පිරිස ගාලු මුවදොර පිටියේ රැඳී සිටි අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් එහි ගොස් ඔවුන් හමු වී කරුණු අවබෝධ කර දුන් බව පැවැසූ ජනාධිපතිවරයා, "දැන් ඒ සියල්ල හරි කීවට පස්සෙත්, ඒ ගිය අයෙක් දුරකතනයෙන් කණ්ඩායමකට කතා කරලා පණිවුඩය දුන්නා" යනුවෙන් කියා සිටියේය.

"ඒ දුරකතන පණිවුඩය එක්ක තමයි පාරට බැහැලා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වෙන්න ඒ පිරිස පැමිණියේ. මේ පිටුපස ඉන්න පිරිස මේ වැඩපිළිවෙළට එනකොටත් තීන්දු කරලා ඉවරයි මෙවැනි දෙයක් කරන්න ඕනි කියලා" ජනාධිපතිවරයා සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top