Jun 12, 2017

ලංකාව ශූරයන්ගේ කුසලානයෙන් විසිවෙයි !

Update -  ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ “බී" කාණ්ඩය යටතේ එංගලන්තයේ කාඩිෆ්හි අද (12 වැනිදා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 03 කින් පරාජයට පත් කළ පාකිස්තානු පිල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. 

ඒ අනුව පාකිස්තානය සත්කාරක එංගලන්තය සමඟ සිය අවසන් පූර්වවටයේ තරගයට ලබන බදාදා සහභාගි වේ.

ලකුණු 231 ක ඉලක්කයක් පසුපස හඹාගිය පාකිස්තානු පිල පන්දුවාර 44.2කදී කඩුලු 7ක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.

නායකත්වයේ ඉනිම ක්‍රීඩා කළ සෆ්රාස් අහමඩ් පාකිස්තානු ලකුණු පුවරුවට නොදැවී ලකුණු 61ක් එක්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයාමට සමත් විය. එම ඉනිම ඔහුට තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමටද ඉවහල් විය.

ඊට කදිම සහයක් දුන් ෆාහිම් අශ්රාෆ් පාකිස්තානු ඉනිමට නොදැවී ලකුණු 28ක් එක් කළේය.

ශ්‍රී ලංකා පිලට උඩපන්දු රැකගනිමින් තරගයට පිවිසීමට අවස්ථා කිහිපයක්ම ලැබුණද අසාර්ථක පන්දු රැකීම හමුවේ එම අවස්ථා දුරස්ව ගියේය.

ශ්‍රී ලංකාවේ සුපිරි පන්දු යවන්නා වන ලසිත් මාලිංග සිය නමවැනි පන්දුවාරයේදී පාකිස්තානු පිතිකරුවන් දවා ගැනීමට අවස්ථා දෙකක් උදාකරගත්තද පන්දු රකින්නන්ගෙන් ඊට සහයක් නොලැබීම නිසා එම අවස්ථා ගිලිහී ගියේය.

පාකිස්තානු නායක සෆ්රාස් අහමඩ් තරගය අවසානයේ කියා සිටියේ පාකිස්තානු ජයග්‍රහණයට ශ්‍රී ලංකා පිලේ අසාර්ථක උඩපන්දු රැකීම හේතුවූ බවයි.

ලකුණු පුවරුව 
ශ්‍රී ලංකාව (පන්දුවාර 49.2 කදී) 236
(කුසල් මෙන්ඩිස් 27, ඇන්ජලෝ මැතිවුස් 39, අසේල ගුණරත්න 27, සුරංග ලක්මාල් 26 )

පාකිස්තානය (පන්දුවාර 44.5 කදී) 237/7
(අසාර් අලී 37, එෆ්. සමාන් 50, ෆාහිම් අශ්රාෆ් (නොදැවී) 28, සෆ්රාස් අහමඩ් (නොදැවී) 61, නුවන් ප්‍රදීප් 3/60)

---------------------------------------------------------------

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ “බී" කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කාඩිෆ්හිදී අද (12 වැනිදා) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49.2කදී සියලුදෙනා ලකුණු 236කට දැවීගියේය.

ඉවසිලිවන්ත පිතිහරඹයක් දියත් කළ නිරෝෂන් දික්වැල්ල පන්දු 86කට මුහුණදෙමින් ලකුණු 74ක් රැස් කළේය. ඊට හතරේ පහර 4ක්ද ඇතුළත් විය. එය නිරෝෂන්ගේ සිවුවැනි එක්දින අර්ධ ශතකයද විය.

තෙවැනි කඩුල්ලේ සිට හත්වැනි කඩුල්ල දක්වා මැදපෙළ පිතිකරු ලයිස්තුව ලකුණු 84කට සිමාවීම ශ්‍රී ලංකා පිලට පාකිස්තානය හමුවේ විශාල ඉලක්කයක් තැබීමේ බලාපොරොත්තු ඈත් කළේය.

ජුනයිඩ් ඛාන් හා හසන් අලී කඩුලු තුන බැගින් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු හයක්ම බිඳ හෙළූහ.

-----------------------------------------------------------------------------------------------------------------

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ  ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද (12) කාඩිෆ්හිදි පැවත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සමත්වූයේ පකිස්තානු කණ්ඩායමයි.

ඒ අනුව මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර ඇති අතර පාකිස්තානු කණ්ඩායම පන්දු රැකීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට ප්‍රසාද ලකුණු සටහනේ 03 වන ස්ථානයේ රැඳී සිටින අතර පකිස්ථාන කණ්ඩායම රැඳී  සිටින්නේ සිව් වන ස්ථානයේයි.

විශේෂයෙන් අද(12) දිනයේ ජයග්‍රහණය කරන කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකියාව ලැබේ.

ජායාරූපය - ක්‍රික්ඉන්ෆෝ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top