Nov 12, 2016

ආබාධිත සොල්දාදුවන්ට පහර දුන් පොලිස්‌ නිලධාරීන් දොට්‌ට !

ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී ආබාධිත හමුදා සාමාජිකයින්ට පහර දුන් පොලිස්‌ නිලධාරීන් සිටී නම් ඔවුන් ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා) කීවේය.

විශ්‍රාම වැටුප ඉල්ලා උද්ඝෝෂණය කළ ආබාධිත හමුදා සාමාජිකයින් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී පොලිසිය විසින් පහර දුන් බව පවසමින් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ස්‌ථාවර නියෝග යටතේ කළ විශේෂ ප්‍රකාශයට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

ආබාධිත සංඝයා:

''මමත් මේ කාරණාව ගැන සොයා බලනවා. මේ පිළිබඳව සාකච්ඡාව තිබුණේ ආරක්‌ෂක අමාත්‍යාංශයේ. ඒ සාකච්ඡාවේදී ඉල්ලා තිබූ සියලුම ඉල්ලීම් ලබාදුන් පසු කොහොමද මේ සිද්ධිය ඇතිවුණේ කියලා සොයා බලන්න ඕනේ. එතැනට ආබාධිත සංඝයා වහන්සේලා ආවේ කොහොමද කියන එකත් විශාල ප්‍රශ්නයක්‌. ආබාධිත කියන්නේ බුද්ධාගමෙන් ආබාධිත වෙලා.

මෙහෙම රණවිරුවන්ට හිරිහැර කළ පොලිස්‌ නිලධාරීන් ඉන්නවා නම් ඔවුන් ඉවත් කිරීම ගැන අපේ අවධානය යොමු කරනවා.

සරත් ෆොන්සේකා හිරේ දාන වෙලාවේ මේ සංඝයා වහන්සේලා කවුරුවත් හිටියේ නෑ. එහෙම කරනවා නම් සරත් ෆොන්සේකා හිරේ දාපු අයත් අයින් කරන්න ඕනෑ.

දිනේෂ් ගුණවර්ධන මහතා - සරත් ෆොන්සේකා මහත්තයාව බලන්න මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ කී පාරක්‌ ගියාද? මේ ආබාධිතයන්ට ගහපු එක වැරදියි කියලා අගමැතිතුමා පිළිගන්නවාද?

ආබාධිතයන් මුවාවෙන් :

අගමැතිවරයා - ආබාධිතයන්ට ගහන එක වරදක්‌. ආබාධිතයන් උසිගන්වලා ආබාධිතයන් මුවාවෙන් ඇවිත් ප්‍රශ්න ඇතිකරන එකත් වරදක්‌. මම සෝභිත හාමුදුරුවෝ ගැන කිව්වේ නෑ. මම කීවේ මෙතැන හිටපු සංඝයා වහන්සේලා ගැනයි. සෝභිත ස්‌වාමීන් වහන්සේ දළදා මාළිගාව ඉදිරිපිටදී ආගමික උත්සවයක්‌ පැවැත්වුවා. එහිදී මල්වතු පාර්ශ්වය දෙකට කඩන්නත් සමහරු සූදානම් වුණා.

විමල් වීරවංශ මහතා - දුටුගැමුණු මහ රජතුමා එළාර එක්‌ක සටනට යද්දී මහා සංඝරත්නයත් ගියා. අගමැතිතුමා නොදන්න කතා කියන්න එපා. අපේ රණවිරුවන් සමගත් මහා සංඝරත්නය හිටියා. කැපවුණා. ඒක නොදන්නා අගමැති ගැනයි මට ප්‍රශ්නය.

අගමැතිවරයා - දුටුගැමුණු රඡ්ජුරුවෝ කිසි දවසක ප්‍රභාකරන් සමඟ ගිවිසුමක්‌ ගහලා මාගම සිංහාසනය ගත්තේ නෑ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top