nsb

Nov 12, 2016

ජ’පුර රෝහල දුමින්ද සිල්වා බාරගන්න බෑ කියයි

(UPDATE) - මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ශ්‍රී ජයවර්ධපුර රෝහල තුලදී වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය නොහැකි බව එම රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳ ලියනගේ මහතා දැනුම්දී ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

බරපතල අසාධ්‍ය රෝගී තත්වයකින් පසුවන දුමින්ද සිල්වා ඊයේ (11) රාත්‍රීයේ ජයවර්ධපුර රෝහල වෙත රැගෙන ගියද ඔහුව රෝහලට බාර ගැනීමට නොහැකි බව දැන්වීම නිසා නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහලට ගෙන ගොස් ඇත.

දුමින්ද සිල්වාට කලින් ප්‍රතිකාර කරනු ලැබූ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය විදෙස්ගතව සිටීම නිසා රෝහල එම තීරණය ගෙන තිබේ.

කෙසේවුවද වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය අද පස්වරුවේ දිවයිනට පැමිණ ඇති අතර දුමින්ද සිල්වාගේ රෝගී තත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇයව දැනුවත් කර ඇතැයි පැවසේ.


විදෙස් ගත කිරීමේ සුදානමක් !


මේ අතර ඇතැම් අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන් හා සමාජ ජාලයන්හි දැක්වෙන්නේ දුමින්ද සිල්වා ප්‍රතිකාර සදහා විදෙස් ගත කිරීමේ සුදානමක් ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ එහි සත්‍යතාවයක් නොමැති බවයි.

කෙසේවුවද දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර කල සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ වෛද්‍ය විශේෂඥයින් ඔහුගේ රෝගී තත්වය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඒවා ඇතැයි ද ඔහු කියා සිටියේය.

මේ අවස්ථාවේ දී නිසි ප්‍රතිකාර නොලැබුනහොත් ඔහුගේ ජීවිතය අවධානමක පවතින බව එම වෛද්‍ය වාර්තා මගින් අනතුරු හඟවා ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

 

දුමින්ද සිල්වාට අසාධ්‍යයි : ජ’පුරට යවන්න නිර්දේශ කෙරේ

මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාර රෝහලේ මේ වන විට රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, වහාම ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත මාරු කර යැවීමට බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

'මුල්ලේරියා ගැටුමේදී' හිසට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් මොලයට සිදුවූ හානි හේතුවෙන් වූ ඇතිවූ අතුරු අබාධ තත්වයක් මත දුමින්ද සිල්වා, මේවනවිට බරපතල රෝගී තත්වයකින් පසුවන බවත්, වහාම නිසි ප්‍රතිකාර නොලැබුවහොත් ඔහුගේ ජීවිතය පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බවට වෛද්‍යවරුන් දැනුම්දී ඇති බවත් බන්ධනාගාරයේ ජ්‍යේෂඨ නිලධාරියකු පැවසිය.

එම තත්ත්ව යටතේ ඔහුව ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ගෙනයාමට සුදානම්ව සිටියද ඊට අදාළ විශේෂඥ වෛද්‍යවරයා නොසිටි බැවින් එය කල්දැමීමට සිදුවී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මුල්ලේරියා ගැටුමේදී මරණිය තුවාල ලැබූ දුමින්ද සිල්වා එම අවස්ථාවේදී ඇතුලත් කරනු ලැබුවේද ශ්‍රී ජයවර්ධනපුර රෝහලටය.

ඔහුගේ රෝගී තත්වයට අදාළ වාර්තා එම රෝහලේ ඇති හෙයින් මෙවරද ඔහු එම රෝහලටම ඇතුලත් කිරීමට තීරණය කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top