Jul 07, 2017

රවී පදිංචියට විසුම්පාය ඉල්ලයි !

විදේශ කටයුතු හා ලොතරැයි අමාත්‍ය රවී කරුණානායක මහතා සිය නිලනිවස ලෙස භාවිත කිරීමට කොළඹ යුනියන් පෙදෙසෙහි පිහිටි ‘ඇක්ලන්ඩ් හවුස්’ (විසුම්පාය) මන්දිරය ඉල්ලා ඇතැයි වාර්තාවේ.

ඒ මහතා විසුම්පායේ නිරීක්ෂණ සංචාරයකද නිරත වී ඇතැයි පැවසේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ක්‍රියාත්මක ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ විසුම්පායේය. ඉමිතියාස් බාකිර් මාකර් මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි.

ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයකු හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා එහි කාර්යභාරය අධීක්ෂණය කරණ බව පැවසේ.

රජයේ තොරතුරු සැපයීම, නව අණපනත් පිළිබඳ මාධ්‍ය සහ ජනතාව දැනුවත් කිරීම, රජය පිළිබඳ වැරදි තොරතුරු පළවීම නිවැරදි කිරීම ඇතුළු කටයුතු මින් සිදුවන අතර මෙය පැය 24 පුරාම ක්‍රියාත්මක බවද පැවසේ.

යටත් විජිත සමයේදී ලංකා රයිෆල් රෙජිමේන්තුවේ නිලධාරින්ගේ භෝජනාගාරයක් වශයෙන් ඉදි කරන ලද දෙමහල් ගොඩනැඟිල්ලක් වන ‘ඇක්ලන්ඩ් හවුස්’ (විසුම්පාය) ගෙඩනැඟිල්ලේ ඇති පෞරාණික වටිනාකම හේතුවෙන් එය නවීකරනය කරනු ලැබුවේ හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතා විසිනි.

අනුරතු හිටියා

වසර 1971 එය රජයට පවරා ගැනීමෙන් පසුව අගමැති දි.මු. ජයරත්න හිටපු අමාත්‍යවරුන් වන අනුරුද්ධ රත්වත්තේ, අනුර බණ්ඩාරනායක වැනි අයද මෙම පරිශ්‍රය ඔවුන්ගේ නිල නිවාස ලෙස භාවිතා කර තිබිණි.

චම්පිකගෙන් හෝටලකට යෝජනාවක්

විසුම්පාය කුඩා හෝටලයක් (Boutique Hotel) ලෙස සංවර්ධනය කර කළමනාකරණය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කලකට පෙර අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර එය සම්මත කරගත් බවටද මාධ්‍ය වාර්තා කර තිබිණි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top