15976 BM WEB BANNER 01
Nov 13, 2016

භික්ෂුවකගෙන් දෙමළ නිලධාරියාට මරණීය තර්ජන (වීඩියෝ)

සිංහල නොවන ජාතීන්ට අයත් පුද්ගලයන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් නමගිය මඩකලපුව දිස්ත්‍රික්කයේ මුල් පෙලේ බෞද්ධ භික්ෂුවක් විසින් රාජකාරිය සඳහා පැමිණි දෙමළ ග්‍රාම නිලධාරියකුට ජාතිවාදී පරුෂ වචනයෙන් බැන වැදී පොලිසියේ අවහිරයකින් තොරව මරණ තර්ජන කරන ලදී.

අම්පාර මහනුවර මාර්ගය හරස් කරමින් භික්ෂුන් වහන්සේද පෙරටු කොටගෙන විරෝධතාවක් පැවැත්වූ  පිරිසක් හමුවීමට ප්‍රාදේශීය ලේකම් සමග පැමිණි ග්‍රාම නිලධාරි හට උසස් පොලිස් නිලධාරියකු හමුවේ ප්‍රචණ්ඩ ආකාරයෙන් බැන වැදුනේ උද්ඝෝෂණයට නායකත්වය සැපයූ නැගෙනහිර පළාතේ උප ප්‍රධාන සංඝ නායක අම්පිටියේ සුමනරතන හිමියන්ය.

රජය සතු තණබිමක අනවසරයෙන් පදිංචි සිංහල ජනපදිකයන් පිරිසකට එරෙහිව නඩු පැවරීම උද්ඝෝෂකයන්ගේ  විරෝධයට හේතුවී තිබුනි.

එහි පැමිණි ග්‍රාම නිලධාරියාට උප ප්‍රධාන සංඝ නායක ප්‍රචණ්ඩ ලෙස මහ හඬින් බැන වදින අවස්ථාවේ ඒ අසල වැඩි වෙලාවක් නිහඬවම සිටි පොලිස් නිලධාරියා ඉඳහිට මුව විවර කළේ ‘අපේ හාමුදුරුවනේ’ කීමට පමණි.

ප්‍රාදේශීය ලේකම්වරිය පැමිණීමට පෙර පොලිස් නිලධාරියා උද්ඝෝෂකයන්ට පැවසුවේ අම්පිටියේ සුමනරතන හිමි තමන්ගේ යාලුවෙක් බවයි.


අධිකරණයට තර්ජන:


පට්ටිපලෙයි ප්‍රාදේශීය ලේකම් තඩ්චනගෞරි දිනේෂ් සමග පැමිණ සිටි ග්‍රාම නිලධාරී එස් ජීවිතන් ට උග්‍ර ජාතිවාදී අපහාසයෙන් සහ නොසරුප් වචනයෙන් බැන වැදුනු සංඝ නායකයා අධිකරණයත් ‘ඉවරකරන’ බවටද තර්ජනය කළේය.

පොලිස් නිලධාරියා විසින් ආචාර සම්පන්නව එතැනින් උද්ඝෝෂකයන් වෙත ආපසු කැඳවාගෙන යද්දී  නැගෙනහිර පළාතේ උප ප්‍රධාන සංඝ නායකයා තර්ජනය කළේ ‘ගහනවා මේකා මැරෙන්න මම’ යනුවෙනි.

සංඝයා වහන්සේ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙද්දී ඒ සමග පැමිණ අම්පාර මහනුවර මාර්ගය හරස් කර වාඩිලා සිටි කෙවිලියාමඩු ජනපදිකයන් අත වූ එක් පුවරුවක ලියා තිබුනේ ‘තණබිමකට එපා ගන්න, අපේ ඉඩම් අපට දෙන්න’ යනුවෙනි.

සිංහල ජනපදිකයන් විසින් වගාබිමක් බවට අලුතින් පෙරලා ඇති පැරණි තණබිමට කලක් පුරුදු පරිදි තණ කෑමට යන ගවයන් ගෙන් වගාවට හානි පැමිණීම පාරම්පරික ගම්වාසී කිරි ගොවීන්ද, අලුත් පදිංචි කරුවන්ද අතර ගැටුම් වලට තුඩු දී ඇත.

දින දාහතරක් තුල විසඳුමක් දෙන බවට පට්ටිපලෙයි ප්‍රාදේශීය ලේකම් වරියගෙන් ලිඛිත පොරොන්දුවක් ලබාගැනීමෙන් අනතුරුව විරෝධතාකරුවෝ විසිර ගියහ.

ඉකුත් මැයි මාසයේ නාවික හමුදා නිලධාරියකුට බැණ වැදීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින ලෙස කෙරුනු ඉල්ලීමක් නැගෙනහිර මහ ඇමැති වරයා විසින් ප්‍රතික්ෂේප කෙරුණු විටද  අම්පිටියේ සුමනරතන හිමි ‘පරිස්සමින් වැඩ කරන’ ලෙස තර්ජනය කළේය.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top