''බිලියන 3.5 ක දානමය පරිත්‍යාගයක් ..'' ''බිලියන 3.5 ක දානමය පරිත්‍යාගයක් ..''
Jul 16, 2017

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳුදා රජයට

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීම හෙට (17) පෙරවරු 10.00  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (16) පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්විය.

"එම රෝහලේ තක්සේරු වටිනාකම රුපියල් බිලියන 3.5 ක් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමෙන් පසු ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යනවා. ශික්ෂණ රෝහලකට අවශ්‍ය සියළුම අංගෝපාංග එම රෝහල සතුයි.

රෝහල ඉදිකිරීම සදහා ලබාගත් බැංකු ණය සියල්ලම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් අඛණ්ඩව ගෙවනු ලබනවා. මෙය දානමය පරිත්‍යාගයක්.

සයිටම් ගැටළුවක් විසදෙනවා :

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මෙන් විශේෂ මණ්ඩලයක් මගින් නිදහස් රෝහලක් ලෙස එය අගෝස්තු මස 01 සිට ක්‍රියාත්මක කරනවා. සයිටම් වෛද්‍ය පීඨයේ එක් ගැටළුවක් වන රෝහලට රෝගීන් නැතිමේ ප්‍රශ්ණය මෙමගින් විසදන්න පුළුවන්.

නැගෙනහිර කොළඹ ජනතාවට මහරෝහලක අවශ්‍යතාවයක් ද තිබුනා. විශේෂඥ වෛද්‍යවරු 44 ක් මෙහි සේවය කරනවා. තවත් වෛද්‍යවරු 70 කට අධික සංඛ්‍යාවක් මෙහි සේවය කරනවා.

 අඩුපාඩු සකස් කරමින් මහජන සේවාවන් සදහා එය විවෘත කිරිමේ දී විශාල ජනතාවකට සෙත සැළසෙනවා.

බිලියන 132 ක මුදල ඉතිරිකර ගැනීම:

තව ද විදේශීය වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව වැය කරන රුපියල් බිලියන 132 ක මුදල ඉතිරිකර ගැනීමට හැකියාව ලැඛෙනවා. මෙමගින් තවත් ආයෝජන ව්‍යාපෘති ලැඛෙන්න පුළුවන්. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සියයට 100 ක් ම දේශීය ආයෝජනයක් වීම ද වැදගත්.”

මෙම මාධ්‍ය හමුවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය රංග කලංසූරිය මහතා ද එක්ව සිටියහ.

Dr Nevil Fernando Press Ad

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top