Nov 15, 2016

අමරදේවගේ අවමංගල්‍යයට ආව මාධ්‍යවේදීයා රිමාන්ඩ්

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ගේ අදාහන උත්සවය පැවති දින මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අසළ සැකකටයුතු අන්දමින් හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත්තේ සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවයි.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් සැකකරු මානසික රෝගයකින් පෙළෙන බව ප්‍රකාශ කර ඇත.

 එබැවින් ඔහු සම්බන්ධයෙන් ලිහිල් නියෝගයක් ප්‍රකාශයට පත් කරන ලෙස නීතීඥවරුන් ඉල්ලීමක් කර තිබේ.

ඉදිරිපත් වු කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සැකකරු පිළිබඳව මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස නියම කර ඇත.

 සැකකරු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top